kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


22
July
2022

බෝතලේ, හොරගොල්ල, මැදමුලන සහ බොරළුගොඩ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ කේන්ද්‍රීය බලය හුවමාරුව ඉතිහාසයේ ප්‍රථම වතාවට බොරළුගොඩ වලව්ව කරා පැමිණීම ශ්‍රී ලංකාවේ දේශපාලන බල හුවමාරු පිළිබඳ සාකච්ඡාවක දී අමතක කළ නොහැකි මාතෘකාවකි. ශ්‍රී ලංකාවේ එම ප්‍රභූ දේශපාලන පවුල් අතරින් සේනානායක, බණ්ඩාරනායක සහ රාජපක්ෂවරුන් දේශපාලන නිදහසින් අනතුරුව වරින්වර රාජ්‍ය බලය හුවමාරු කර ගනිමින්, දේශපාලන බලවේග මට්ටමින් ක්‍රියාත්මක වෙමින් ඇතත්, නිදහසට පෙර පටන් සක්‍රීය දේශපාලන බලවේගයක් වූ ගුණවර්ධන පවුලට රටේ තීරණාත්මක රාජ්‍ය බලයක් හිමිවුයේ මෙවරය.

ගුණවර්ධන දේශපාලනයේ' සමාරම්භකයා වන දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන (1901-1972) පාරම්පරික ප්‍රාදේශීය ප්‍රභූ ආධිපත්‍යයක් සහිත බොරළුගොඩ පරපුරේ උරුමකරුවකු වූ අතර, ආරම්භයේදීම ඔහු ජාතික මට්ටමින් කීර්තිමත් වූයේ "බොරළුගොඩ සිංහයා" යන දේශපාලන විරුදාවලිය හිමිකර ගනිමිනි.

ලංකාවේ විද්‍යාත්මක සමාජවාදයේ පියා ලෙස හැඳින්වෙන පිලිප් ගුණවර්ධන මහතා 'සූරිය මල් ව්‍යාපාරය' සහ ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය සමාරම්භ කිරීමට මුල පුරමින් අධිරාජ්‍ය විරෝධී සටන අලුත් වටයකින් ආරම්භ කරන ලදී. ඔහු 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවිස්සාවේල්ල ආසනය දිනා ගනිමින් ජාතික මට්ටමින් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සමත් විය.

1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පිලිප් ගුණවර්ධනමහතා පාර්ලිමේන්තුවට පිවිසි අතර, වැඩ වර්ජනය සංවිධානය කිරීමේ වරදට ඔහුට තුන් මසක සිරදඬුවමක් පනවා හත් වසරකට ප්‍රජා අයිතිය අහිමි කෙරිණ. එහිදී හිස් වුණු අවිස්සාවේල්ල අසුනට ඉන් අනතුරුව පැවති අතුරු මැතිවරණයේදී කුසුමා ගුණවර්ධන මැතිනියට නිතරඟයෙන්ම ජයග්‍රහණය හිමි විය. එතුමිය නව අග්‍රාමාත්‍යතුමන්ගේ මව්තුමියයි.

1956 අගමැති බණ්ඩාරනායකගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණේ ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධානතම සැලසුම්කරුවකු වූයේ පිලිප් ගුණවර්ධන මහතාය. ඔහු එම රජයේ ආහාර සහ ගොවිකම් ඇමති ලෙස කටයුතු කළේය.1959දී පිලිප් ගුණවර්ධන මහතා විසින් මහජන එක්සත් පෙරමුණ‍ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීමත් සමඟින් ඔහු නව දේශපාලන ප්‍රවේශයකට යොමු වූයේය. පසුව, 1965 දී එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක මහතා යටතේ එම රජයේ කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා ලෙස ගුණවර්ධන මහතා කටයතු කරන කළේය.

ලාංකික විද්‍යාත්මක සමාජවාදයේ පියා, ලිබරල් ධනේශ්වර දේශපාලන ව්‍යාපාරයක් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස 1965 වසරේ දිවුරුම් දීමෙන් අනතුරුව මුහුණ දුන් සමූහ ඡායාරූපය මෙහි දැක්වේ.

ජයාරුපයේ මැද සිටින එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා වෙනුවට වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකත්වය හොබවයි. වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට යෝජනා කරන ලද්දේ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත් දිනේෂ් ගුණවර්ධන මහතාය. ඔහු තම පියා බිහිකළ මහජන එක්සත් පෙරමුණේ වත්මන් නායකයා වන අතර, 2022 ජූනි 22 වන දින අභිනව රජයේ නව අග්‍රාමාත්‍යතුමන් ලෙසින් ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ලාංකීය මුද්දර ඉතිහාසය පිළිබදව විමර්ශනයේදී "බොරළුගොඩ ගුණවර්ධන " පරම්පරාවට හිමිවන ස්ථානය සුවිශේෂී වේ. මෙරට දේශපාලන පවුල් ඉතිහාසයේ වැඩිම මුද්දර සැමරුම් උරුමවූ පරම්පරාව මෙයයි. පිලිප් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, රොබට් ගුණවර්ධන හා විවියන් ගුණවර්ධන ඊට නිදසුන් වේ.

පිලිප් ගුණවර්ධන නමැති දේශපාලන දැවැන්තයා සිය දේශපාලන ජීවිතය අවසන් කරන ලද්දේ බණ්ඩාරනායක සහ සේනානායක ආණ්ඩුවල ඇමති පදවි සමඟිනි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම කඩඉම පසු කරමින් මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම බොරළුගොඩ පරපුරේ තවත් සන්ධිස්ථානයක් වනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com