kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


13
July
2022

ගෝල්ෆේස් අරගලය, නිදහසේ සිත්තම සහ මුද්දර මූලාශ්‍ර

පසුගිය අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද ගෝල්ෆේස් අරගලය ලක් ඉතිහාසයේ වෙනමම පරිච්ඡේදයක් බවට පත්ව හමාරය. ජූනි 9 වැනි දින එහි උත්කර්ෂයට ලඟාවූ අතර, එහිදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ජනසතු විය. ජනාධිපති මන්දිරයේ ප්‍රදර්ශිත සුවිශේෂී සිතුවම් රැසක ජයාරූප සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වූ අතර, එහි වූ එක් අගනා සිතුවමක ඉතිහාස කතාව සැකවින් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

"1948 පෙබරවාරි 10 වැනි දින ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි නිදහස් රැස්වීම් ශාලාවේදී රාජකීය වංශාධිපති ග්ලොස්ටර් හි ආදිපාදතුමා විසින් ශ්‍රී ලංකාවට නිදහස ලැබීම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීම" යන මාතෘකාව පදනම් කරගෙන එච්. ආර්. (හපුගොඩ රන්කොත්ගේ) ප්‍රේමරත්න මහතා විසින් සිතුවම් කරන ලද මෙම ඓතිහාසික සිතුවම ජනාධිපති මන්දිරයේදී සියැසින්ම දැක බලා ගැනීමට අපට හැකිවිය.

ප්‍රථම නිදහසේ ඉතිහාසය විමසීමේදී එච්. ආර්. ප්‍රේමරත්න මහතාගේ දායකත්වය ඉතා සුවිශේෂී වන නමුදු, ඒ ගැන ඇති සමාජ සංවාදය ඉතා අල්ප බැවින් සහ මෙම ඓතිහාසික සිතුවම පිළිබඳ තොරතුරු දුලභ බැවින් ඔහුට උපහාර පිණිස මෙම සටහන "කියවන මුද්දර" අප ගොනු කරමු.

එච්. ආර්. ප්‍රේමරත්න මහතා විසි වන සියවසේ ශ්‍රී ලංකාවේ බිහි වූ විචිත්‍රවත් චරිතයකි. ඔහු විද්‍යා හා කලා ක්‍ෂේත්‍ර දෙකෙහිම කුසලතා පූර්ණ රාජ්‍ය නිලධාරියකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස දශක ගණනක් මෙරටට සේවය කළ විද්වතෙකි.

මහනුවර උපත ලබා ධර්මරාජ හා නාලන්දා විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ ප්‍රේමරත්න මහතා, 1931දී එංගලන්තයේ එඩින්බරෝ සරසවියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. සියරට පැමිණීමෙන් පසු ටික කලක් ලංකා තාක්ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලේජ්) ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ඔහු, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද ඉතා කෙටි කලක් සේවය කරන ලදී. වසර 1935දී රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (Public Works Department -PWD) එක්වූ ඒ මහතා, රජයේ ගොඩනැගිලි ඉඳි කිරීම හා නඩත්තු කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. එම දෙපාර්තමේන්තුවේ වසර 30ක්ම සේවය කළ ප්‍රේමරත්න මහතා, වසර 1957 – 1965 කාලයේ එහි ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. කලක් එම විෂය භාර අමාත්‍යවරයාව පසුව අගමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන් ඇතුළු අමාත්‍යවරුන් ගණනාවක් සමඟම වැඩ කළ ප්‍රේමරත්න මහතා, ඕනෑම අභියෝගයක් භාර දිය හැකි, කාර්යශූර හා නිර්මාණශීලි රාජ්‍ය නිලධාරියකු ලෙස නමක් දිනා සිටියේය.

1948 නිදහස් උළෙලින් පසුව, ඩොමිනියන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය පවත්වන්නට සුදුසු ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති වූ විට, ඉතා කෙටි කලකින් ගුවන් යානා අංගනයක් (airplane hangar) ඉතා පියකරු රැස්වීම් ශාලාවක් බවට පරිවර්තනය කරන්නට ඔහුට හැකි විය. සුදු රෙදි යාර 20,000 ක් පමණත්, පාට කඩදාසි යාර 20,000ක් පමණත්, ගෝනි (ජූට්) රෙදි යාර 9,000ක පමණ තොගයකුත් යොදා ගත් මෙම අපූර්ව නිර්මාණය අති අලංකෘත විය.

උස් වහළ සහිත ගුවන්යානා අංගනය ශාලාව උත්සව ශාලාවක් බවට පත් කිරීම අතිමහත් කාර්යයක් විය. එම උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව මහනුවර මඟුල් මඩුවට අනුව වාස්තු විද්‍යාත්මක ශෛලියකින් නිමවා තිබුණි. එම දොරටුව ආරුක්කු තුනකින් යුක්ත වූ අතර, මකර තොරණකින් සරසා තිබුණි. ශාලාවේ තීරු අතර සම්ප්‍රදායික රැලි පාලම් විය. එම තීරු නෙළුම් හා පංචනාරි ගැටය වැනි සාම්ප්‍රදායික මෝස්තර වලින් සරසා තිබුණි. සාම්ප්‍රදායික සිංහල ධජ, යාපනයේ නන්දි කොඩි සහ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික ආකෘතීන්ද අලංකරණය සඳහා භාවිතා කරන තිබුණි. නිදහස් උළෙලේ කල් පවතින මතකයන්ගෙන් එකක් බවට පත් වූයේ මෙම සැරසිලි පිළිබඳව මෙරට අසහාය පුවත්පත් කතුවරයා වූ ඩී. බී. ධනපාල ශූරීන් සිය ‘Among Those Present’ කෘතියේ මෙසේ සටහන් තබයි.

"බ්‍රිතන්‍ය රාජකීය ගුවන් හමුදාව ටොරින්ටන් චතුරශ්‍රයේ ගොඩනඟා තිබූ අතිවිශාල හා අවලස්සන වූ ගුවන්යානා නිවහනක් (Hanger) එච්. ආර්. ප්‍රේමරත්න විසින් විසිතුරු උත්සව ශාලාවක් බවට හරවා තිබුණා. උඩරට රැළි පාලම් මඟින් දේදුන්නේ වර්ණ ළෙල දුන්නේ මේ දිවයිනේ මෙතෙක් දැක ඇති ඉතා ම චිත්තාකර්ෂණීය වර්ණ සංයෝජනය බවට එය පත් කරමින්. හැම කුළුණකින් ම අපේ සාම්ප්‍රදායික කලා උරුමය පිළිබිඹු කළා. මේ සියල්ල නූතන විශ්වකර්මයකුගේ හපන්කමක් වගෙයි.’’

"ලංකාවේ මුල්ම නිදහස් උළෙල වාර්තාකරණයට දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් හා චිත්‍රපටකරුවන් රැසක් එක්ව සිටියහ. එනමුදු, එවකට භාවිතා වූයේ කළු-සුදු සේයාපට පමණයි. මේ නිසා තමන් නිර්මාණය කළ විචිත්‍ර උත්සව මඩුවේ අසිරිය මතු පරම්පරාවලට දැක ගත හැකි ලෙසින් ප්‍රේමරත්න මහතා විශාල ප්‍රමාණයේ වෛවර්ණ තෙල් සායම් සිතුවමක්ද නිර්මාණය කරන ලදී. දශක ගණනාවකට පසු ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මිලට ගත් මෙම චිත්‍රය දැන් කොළඹ ජනාධිපති මන්දිරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා."

මූලාශ්‍රය: "සිවුමංසල කොලූගැටයා" #103: එච්. ආර්. ප්‍රේමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’ 2013 පෙබරවාරි 01

"නවයුගය" සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙසින් කටයුතු කල පර්සි ජයමාන්න මහතාගේ "මල් කැකුළු" බ්ලොග් අඩවියේ "මුල්ම නිදහස් දා උළෙලේ විසිතුරු සිතුවම් මැවූ විස්කම් සිත්තරා" නමින් සටහනක් ලියා ඇති අතර, එහි සඳහන් ආකාරයට එම සිතුවම ජනාධිපති මන්දිරයෙන් අස්ථාන ගතවී ඇති බවට වාර්තා කර තිබුණි.

"මා 'නවයුගය' ප්‍රධාන සංස්කාරකව සිටිද්දී, එක් වසරක නිදහස් සැමරුම වෙනුවෙන් පළ කළ ‘නවයුගය’ කලාපයේ කවරය සඳහා එදා ප්‍රේමරත්න මහතා සිත්තම් කළ ප්‍රථම නිදහස් උළෙල යොදා ගැනීමට මට අවශ්‍ය වුණා. ප්‍රේමරත්න මහතා විසින් තමන් එදා ඇඳි වර්ණ චිත්‍රය පසු කලෙක ජනාධිපති මන්දිරයේ දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පිරිනමා තිබුණා. එය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර විවෘත කරන ආකාරයත්, ඊට පසු දිනක පුවත්පත්වල පළ වී තිබුණා. මේ මතකය නිසා මම එහි ඡායාරූප පිටපතක් ලබා ගැනීමට අවසර පැතූ ලිපියක් ලියා, ඡායාරූප ශිල්පියකු සමඟ එවකට නවයුගයේ සේවය කළ විශේෂාංග ලේඛකයකු වූ සමන්ත මල්ලවආරච්චි සහෘදයා ජනාධිපති මන්දිරයට පිටත් කර හැරියා. ජනාධිපති මැඳුරේ තැන්පත් කර තිබූ සෑම පින්තූරයක්ම නරඹා පැය කීපයකට පසුව ඒ පින්තූරය එහි නොමැති බව කියමින් ඔහු ආපසු ආවා.

මේ පින්තූරය නැති වීම ගැන නවයුගයේ පළ වූ පසු ඒ පිළිබඳව සොයා බලන්නට එංගලන්තයේ පදිංචිව සිටින ප්‍රේමරත්නයන්ගේ එකම පුත් ලංකාවට ආවා. ඔහු ඒ ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් පවා කළා. එහෙත් ඒ පරීක්ෂණවලින් පලක් වූ බවක් වාර්තා වුණේ නැහැ."

මූලාශ්‍රය: පර්සි ජයමාන්න, මල් කැකුළු බ්ලොග් අඩවිය - http://www.malkakulu.com/2013/02/blog-post_4480.html, 2013 පෙබරවාරි 03

ලාංකීය නිදහස් වංශ කතාවේ සුවිශේෂී දිනයක්, එම විසිතුරු දර්ශන තලය නිමවූ ඉංජිනේරුවරයාගේ අතින්ම උත්සවය පැවති අවස්ථාවේ දී ම චිත්‍රයට නැඟීම ලෝකයේ එතෙක් සිදු නොවූ විස්මිත, දුලබ, විරල දෙයක් ලෙස සැලකිම වරදක් නොවේ. එය එම ඓතිහාසික මොහොත සිහිගන්වන එකම වර්ණ මතක සැමරුමයි.

මේ කටයුත්තට සමාන්තරව යටත්විජිත ලේකම්වරයා භාවිතා කළ අරලියගහ මන්දිරය, අගමැති නිල නිවහන ලෙස පිළිසකර කිරීමත්, පරණ පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගර්භය මුළුමනින්ම අළුත්වැඩියා කිරීමත්, ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව මඟින් කළ තවත් හපන්කම් කීපයකි. ඒ හැම එකකට ම ප්‍රේමරත්න මහතාගේ දායකත්වය හිමි විය. 1957 අගෝස්තුවේ මහ ගංවතුරෙන් වියළි කලාපයේ හානියට පත් මාර්ග පිළිසකර කිරීම සහ වසර 1958 ජනවාර්ගික කෝලාහලවලින් පසුව අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකයන් විසින් නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ ප්‍රේමරත්න මහතා, විපතටපත් ජනයාගේ හදිසි අවශ්‍යතා හා තාවකාලික පහසුකම් සැපයීම භාරව ක්‍රියා කළේය. හෙතෙම 1974-78 කාලයේ බුරුමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද, තායිලන්තය, සිංගප්පූරුව හා ලාඕසයට ද අනුයුක්තවද කටයුතු කර තිබේ.

අස්ථාන ගතවුවායැයි පැවසෙන යථෝක්ත සිතුවම ජනාධිපති මන්දිරයේදී දක්නට ලැබීම සතුටට කරුණකි; එසේම ඒවා මතු පරපුරට දැකගත හැකි ලෙස ප්‍රවේශම් කර ගැනීමද අපගේ යුතුකමකි.

එළැඹෙන 2023 නිදහස් දිනයයේ 75 වන සංවත්සරයට සමගාමීව මෙම අගනා සිතුවම සමරු මුද්දරයක් ලෙසින් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන අතර හපුගොඩ රන්කොත්ගේ ප්‍රේමරත්න මහතා ගේ ජාතික මෙහෙයට අපෙන් පෙරලා ලබාදිය හැකි හොදම උපහාරයක් වනු නිසැකය. එය නිදහසේ සහ අරගලයේ ඉතිහාසය කියවීම සඳහා කදිම මුලාශ්‍රයක් ද වනු නොඅනුමානය.

මුද්දර යනු ජාතියක ස්‌වයං ප්‍රතිරූපය නියෝජනය කිරීමේ සහ ප්‍රතිනිෂ්පාදනයේ කොටසක් (Stamps are a part of the representation and reproduction of a nation’s self-image) ලෙස සැලකීමට අප හුරු විය යුතුය. දේශපාලන අරගලය; සමාජ,සංස්කෘතික අරගලයක් බවට පත් වන්නේ එවන් පසුබිමකදීය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com