kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
July
2022

ජුලි 7යි !! .... පුරාවිද්‍යාව, චොකලට් සහ එච්. ආර්. ජෝතිපාල ,නොගැලපීම් අතර ගැලපීම් හඳුනා ගනිමු ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ බ්‍රිතාන්‍ය ජාතික එච්. සී. පී.බෙල් මහතා 1890 දී රජයෙන් මුදල් වෙන්කර ගෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර නටඹුන් වෙත ගිය ජූලි 07 වන දිනය ජාතික පුරාවිද්‍යා දිනය ලෙස නම් කෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත්තේද මෙවන් දිනෙක බැවින් එදිනෙන් ශතවර්ෂයක් (1890 -1990) ගතවුණු දින සිට මෙම දිනය උත්සවාකාරයෙන් සමරනු ලැබේ. මෙවර සමරනු ලැබුවේ 132 වැනි ජාතික පුරාවිද්‍යා දිනයයි.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 125ක් සපිරීම නිමිති කොට ගෙන වසර 2015දී සමරු මුද්දරයක් නිකුත් කල අතර, එහි එච්. සී. පී. බෙල් මහතාගේ රුව සිතුවම් කර ඇත.

2009 සිට සෑම වසරකම ජූලි 7 වන දින ලෝක චොකලට් දිනය (World Chocolate Day) ඉතා රසවත්ව සිහිපත් කරනා අපූර්ව දිනයකි. චොකලට් නාමය සමඟ ස්විට්සර්ලන්තයට ඇත්තේ ඉතා කිට්ටු සහ රසවත් බැඳීමකි. එය ස්විස්ටර්ලන්තයේ වැදගත් සංකේතයකි. ඇස්ටෙක් යන වදන (xocóatl) චොකලට් යන වචනයේ ආරම්භය ලෙස සලකන අතර, එහි අරුත "තිත්ත වතුර" (bitter water) යන්නයි.

කොකෝවා ඵලයේ සිට දිව පිනා යන අපූර්ව චොකලට් රසය සිහිගැන්වෙන සමරු මුද්දර නිකුතුවක් වසර 2021 සැප්තැම්බර් 09 දින ස්විස් තැපැල් සේවය නිකුත් කර තිබේ.

ජනප‍්‍රියම ගායකයෙකු ලෙස සුවහසක් රසික ආකර්ෂණය ලබන එච්. ආර්. ජෝතිපාලයන් 1987 ජුලි මස 7 වන දින ලක්බිමම කම්පනය කරමින් හදිසියේ වියෝ විය. ඔහු අදටත් සුවිශේෂී චරිතයක් වනුයේ, මියගොස් වසර 36 කට ආසන්න කාලයක් ගත වුනිද ඔහුගේ ජනප‍්‍රියත්වයට අභියෝග කළ හැකි ගායකයකු අදටත් ලංකාවේ බිහිව නොසිටීම නිසාය.

1936 පෙබරවාරි 12 වන දින උපන් ජෝතිපාලයන් සැමරීම උදෙසා 2016 පෙබරවාරි 12 දින සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.

පුරා විද්‍යාව, චොකලට් සහ ජෝතිපාල එකිනෙක නොගැලපෙන මාතෘකාවන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එනමුදු, නොගැලපීම් අතර එවන් ගැලපීම් හඳුනාගැනීමට උත්සාහ කිරීමෙන් වත්මන් අභියෝග ජය ගැනීම උදෙසා යහපත් විසඳුමකට මඟ පෙන්වීමක් වනු ඇති අතර, පොදු ජනතාවගේ ජනසමාජීය ජීවිතයට මෙන්ම දේශපාලනයටද නව යුගයක් නිර්මාණය කර ගත හැකි වනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com