kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


02
July
2022

තණබිම: හරිතප්‍රද වර්ණක වලින් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම මුද්දරය Meadow: First stamp ever printed with chlorophyll pigments

ස්විස් රජය සතු සමාගම් විසින් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා දායක විය යුතු බවට වන නියමයන් වසර 1887දී ෆෙඩරල් ආඥාව මගින් සහතික කරන ලද අතර, අදටත් එම සම්ප්‍රදායට ඉතා ඉහලින් ගරු කරන ස්විස්ටර්ලන්ත තැපැල් සේවය, එය තමන්ගේ සමාජ වගකීම ලෙසින්ම සිතා කටයුතු කරයි. මෙම ඓතිහාසික හේතූන් මත ඔවුන් ස්විට්සර්ලන්ත කලාකරුවන්ට සහය දැක්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ දීර්ඝකාලීන සම්ප්‍රදායන් එකමුතුවෙන් මුද්දර ලෝකයට අපූර්ව නිමැවුම් දායාද කරයි.

ස්විස්ටර්ලන්ත තැපැල් සේවය (Swiss Post) තම විෂය නව්‍යකරණය සහ ජාත්‍යන්තර ආකර්ෂණය වෙනුවෙන් තම මෙහෙවර නොපිරිහෙලා ඉටුකරන ලොව විශිෂ්ඨ තැපැල් සේවයකි. ජාතික පරිකල්පනයන් නිර්මාණය කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක නිෂ්පාදන ලෙස තැපැල් මුද්දරවල දෘෂ්ථිවාදී පණිවිඩ පැහැදිලි කිරීම සඳහා ස්විස් තැපැල් අධිකාරිය නව්‍ය අත්හදාබැලීම් සදහා නිරතුරු සහාය ලබාදෙයි. ස්විට්සර්ලන්ත තැපැල් ක්ෂේත්‍රයේ සන්දර්භය තුළ මෙවැනි නිර්මාණාත්මක අත්හදාබැලීම් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, එයින් තැපැල් සේවයේ සහ මුද්දර එකතුවේ ගුණාත්මකභාවය වඩාත් ප්‍රශස්ත කරවයි.

ඒ අනුව යමින්, ස්විස් පෝස්ට් හි නව කලා උපාය මාර්ගය වන "පරිධියේ කලාව" (Art in the periphery) යන තේමාව යටතේ නිකුත් කරන ලද මුද්දර එකතුවක වන හරිතප්‍රද/ක්ලෝරෝෆිල් වර්ණක (chlorophyll pigments) වලින් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම මුද්දරය නැතහොත් සජීවී මුද්දරය (living stamp) 2022 මැයි 05 වන දින ෆ්‍රෑන්ක් 1.10ක වටිනාකමින් යුතුව ස්විස්ටර්ලන්ත තැපැල් සේවය මඟින් එළිදක්වන ලදී.

"පරිධියේ කලාව" යනු නාගරික කේන්ද්‍රස්ථානයෙන් පිටත පවත්වනු ලබන තාවකාලික, සංරක්ෂිත කලා සිදුවීම් මාලාවකි. මෙහිදී භූ දර්ශන නැවත අර්ථකථනය කරමින් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර, අදාළ ස්ථාන සමඟ සම්බන්ධවීමට කලාකරුවන්ටද ආරාධනා කෙරේ.

හරිතප්‍රද යනු ශාකවල ඇති හරිත වර්ණකයයි. ආලෝකයේ බලපෑම අනුව කාලයත් සමඟ කොළ පැහැය වෙනස්වීම මූලික කරගෙන මෙම මුද්දර සම්පූර්ණයෙන්ම සජීවී සහ ජීවමාන (completely natural and living) ලෙස ඔවුන් හඳුන්වා තුබුණි. හරිත වර්ණ තණබිමක් (Meadow) නියෝජනය කරන මෝස්තරයක් සහිත මෙම සැලසුම, සංරක්ෂණය පිළිබඳ සමාජ සංවාදය උත්තේජනය කිරීම සඳහා නව ආරේ සන්නිවේදන ආකාරයක් ගවේෂණය කරයි.

මෙම විශේෂ මුද්දරයේ නිර්මාතෘ මොනිකා උර්සිනා ජෙගර් (Monica Ursina Jäger) නම් කලාකාරිනිය නිශ්චිත ස්ථානයක් තෝරා නොගෙන තණබිම් කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම නිර්මාණය ස්වභාවික වාසස්ථාන සහ සංස්කෘතික ජයග්‍රහණ අතර අතිච්ඡාදනය (overlap) මනාව නිරූපණය කරන බව ඇය විශ්වාස කරන්නීය.

මොනිකා, ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් විද්‍යා ආයතනයේ පර්යේෂණ සහකාරියක් සහ කථිකාචාර්යවරියකි. ඇගේ කලාත්මක පරිචය දිග හැරෙන්නේ ස්වාභාවික හා ගොඩනඟන ලද පරිසරය අතර ඇති සම්බන්ධය විමර්ශනය කරන අවකාශය, භූ දර්ශනය සහ ගෘහ නිර්මාණ ශිල්පය යන සංකල්ප පිළිබඳ බහුවිධ පරාවර්තනයක් හරහාය. ඇය වර්තමාන විද්‍යාත්මක දැනුම මත පදනම්ව අනාගතය සඳහා වන අවස්ථා කලාත්මක මාධ්‍යයන් මගින් සන්නිවේදනය කිරීම වෙනුවෙන් බොහෝ වෙහෙසෙන ශිල්පිනියකි. භූ දර්ශන සංවර්ධනය විද්‍යාව, සැලසුම් කිරීම, ඉංජිනේරු විද්‍යාව සහ දේශපාලනය මඟින් තීරණාත්මක ලෙස පාලනය වන සමාජයක තිරසාර සංවර්ධනය සඳහා නව්‍ය ආකාරයේ සංවාදයක් අවශ්‍ය බව ඇයගේ අදහසයි.

මෙම විශේෂිත වර්ණ සහිත මුද්දරය නිර්මාණය කිරීමට වඩා වැඩි වෙහෙසක් ගෙන එහි සැබෑ සජීවී ගුණය සුරැකෙන පරිදි විශේෂ වර්ණ හා හරිතප්‍රද සහිතව මෙම මුද්දරය මුද්‍රණය කල යුතු විය. එහිදී, මුද්දර නිෂ්පාදනය සඳහා ලොව ප්‍රමුඛ සමාගමක් වන ස්විස්ටර්ලන්තයේ Gutenberg AG ආයතනය මෙම නිර්මාණය ඉහළම ගුණාත්මක ප්‍රමිතිය සහතික කරමින් නිම කරන ලදී.

මෙවන් අපූර්ව නිර්මාණාත්මක අත්හදාබැලීම් සඳහා ස්විස් තැපැල් සේවය නිරතුරුව මඟ විවර කරන්නේ මුද්දරය ඔවුන්ගේ ප්‍රමුඛ මහජන සන්නිවේදන මෙවලමක් බව විශ්වාස කරන බැවිනි. නිර්මාණ සංකල්පය, සැලසුම් කිරීම, පර්යේෂණය සහ නව අත්හදාබැලීම් නවීන තැපැල් සේවයක ලක්ෂණ වේ. එවැනි පර්යේෂණ වල සාර්ථක ප්‍රතිඑල සහ සැලසුම්කරණයේ පියවර, කලා හිතකාමී පොදු ජනතාව වෙතට සම්ප්‍රේෂණය කිරීමට ඔවුහු මැලි නොවෙති.

නිර්මාණකරුවාගේ වෙහෙස නොපෙනෙනතාක් චිත්‍ර ඇඳීමට හැකි සැමදෙනාට මුද්දර නිර්මාණය කිරීමට හැකිය යන මිත්‍යවෙන් ගැලවීමට නිර්මාණ ශිල්පීන්ට සහ තැපැල් බලධාරීන්ට නොහැකි වන බව අවබෝධ කරගත යුතු සත්‍යයකි.

මුද්දරය, හදවතේ ඇති කලාව ඔබට සොයාගත හැකි ස්ථානය බවට පත් වන්නේ එවැනි පසුබිමකදීය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com