kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


28
June
2022

අල්ලක් වපුරා, මල්ලක් ගෙට ගමු .. ඉතිහාසය කියවා ගැනීම සඳහා තැපැල් මුද්දර මූලාශ්‍ර කර ගැනීම

අතීතයේ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට පත්ව ඉතිහාසය නැවත නැවත සිදුවීමේ ප්‍රවණතාවක් ඇත. මෙය ඉතිහාසයේ චක්‍රීය ස්වභාවය නිසා සිදුවන බවයි ඉතිහාසඥන්ගේ මතයයි. ඉතිහාසය පුනරාවර්තනය වන අතර, පරම්පරාවන් මත පදනම්ව ගලා යයි (History repeats itself and flows based on the generations) යනුවෙන් කියමනක්ද ඇත්තේ ඒ නිසා විය යුතුය.

නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි ආහාර අර්බුදය හමුවේ සෑම බිම් අඟලක්ම වගා කිරීමේ වැදගත්කම මේ දිනවල නිරතුරුව අසන්නන්ට ලැබේ. රජයේ කාර්යාල, වැඩබිම්, ගොවිපලවල්, පාසල් හා බන්ධනාගාර ඇතුළු ආයතන රැසක ආහාර බෝග වගා කිරීම සහ ගෙවතු වගා වැඩසටහන් සැලසුම් කරමින් පවතී. වත්මන් ඩිජිටල් පරම්පරාව ඇතුළුව රටේ බහුතරයක් ජනතාව මෙම තත්වය ලාංකීය නූතන ඉතිහාසය තුල කිහිපවරක්ම අත්විඳින්නට සිදුවූ සමාජීය ගැටළු බව නොදනිති. ඩඩ්ලි සේනානායක මහතාගේ රජය යටතේ ගොවි හමුදාව ප්‍රමුඛ කොට ගත් කෘෂිකාර්මික සංවර්ධනයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ වගා සංග්‍රාමයත් ඊට හොඳම නිදසුන්වේ. එසේම වත්මනෙහිද අප ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගෙවතු වගාවට හුරු වෙමින් සිටින්නෙමු. ඉතිහාසය පුනරාවර්තනය පිළිබඳව පිරික්සීමේදී මේ තත්වය තවත් හොඳින් අවබෝධ වෙන්නේය.

ඉතිහාසය හොඳින් කියවා ගැනීමෙන් පසුගිය රජයන් මඟින් අප රටේ සම්පත් සහ කාලය වැයකරමින් සිදුකරන ලද ආහාර සුරක්ෂිත කිරීමේ වැඩසටහන් වල ප්‍රගතිය සහ අඩුලුහුඩුකම් මැනවින් හඳුනාගෙන, වර්තමානයේදී ප්‍රශස්තව කටයුතු කිරීමට මඟ විවර වනු ඇත.

එසේ ඉතිහාසය සංශික්ප්ත කරනා සිතුවමක් ලෙසින් සැලකෙන තැපැල් මුද්දරය, තොරතුරු මූලාශ්‍රයක් ලෙස සහ පොත් නොවන කියවීමක් ලෙස පරිශීලනය කරන්නන් කුළුගන්වන ලංකා තැපැල් ඉතිහාසයේ තවත් අපූර්ව මුද්දරයක් අප මෙසේ ඔබ වෙත ගෙන හැර දක්වමු.

1969 අගෝස්තු 15 වන දින වටිනාකම රුපියල් 5.00 ක් ලෙස සටහන් කල ගොයම් පැල සිටුවීමේ යෙදෙනා පාඨශාලා සිසුවියන් පිරිසකගේ රුව සහිත සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. රටේ නාමය සහ වටිනාකම හැරුන විට මුද්දරයේ වෙනත් සඳහනක් නොමැති බැවින් එහි දෘශ්‍ය රූපය කියවා ගැනීම සඳහා වෙහෙස විය යුතුය. ශ්‍රී ලංකා මුද්දර නාමාවලිය (Catalog Sri Lanka - CSL) යටතේ 454 ලෙසත්, ස්ටැන්ලි ගිබන්ස් නාමාවලිය (Stanley Gibbons Catalogue - SG) යටතේ 499 ලෙසත් සඳහන් මෙම මුද්දරය "Transplanting paddy" ලෙස දක්වා තිබේ.

මුද්දරයේ මතුපිට මෙම නිකුතුවේ ප්‍රස්තුතය පිළිබඳ කිසියම් තොරතුරක් සටහන් නොවන කල, මුද්දරය කියවා ගන්නේ කෙසේද? යන ගැටලුව ඔබට මතුවනු ඇත. ඒ සඳහා ඉතිරි වී ඇති එකම තොරතුර මුද්දරය නිකුත් කල දිනයයි. මුද්දරය නිකුත් කල දින වකවානුව පිළිබඳ සැලකීමෙන් අපට කිසියම් නිශ්චිත තොරතුරක් මතු කරගත හැක.

1965 -1970 පරිජේදය වූ කල්හි ඩඩ්ලි සේනානායක මැතිදුන් හතර වැනි වරටත් අගමැති ධූරයට පත්වූ යුගයේදී මෙම මුද්දරය නිකුත් කර තිබේ. කෘෂිකාර්මික අංශයට ඉහල ප්‍රමුඛතාවයක් ලැබුණු මෙම අවධියේදී, එකී වැඩසටහන් අගමැති කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේම ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම, පාසල් සිසුන් මෙම වැඩසටහන් සඳහා යොදවා ගනු ලැබූ අතර, ඊට පාසල් විෂය මාලාවේද ප්‍රමුඛස්ථානයක් දෙනු ලැබීය.

එකල්හි පැවති රජයේ අධ්‍යාපන සහ සංස්කෘතික ආමාත්‍යවරයා වූයේ ගරු ඊරියගොල්ල මැතිතුමා ය. "වැඩහුරුව"එම නව රජයේ අධ්‍යාපනය පිළිබඳ නවතම අදහසක් වූ අතර, එමඟින් සිසුන්ට අධ්‍යාපනය ආරම්භයේ සිට අවසානය දක්වාම සජීව ක්‍රියාකාරී අත්දැකීම් සහිත පරිසරයක් නිර්මාණය කල යුතුය යන දැක්ම මූලික විය.

වසර 1965 සැප්තැම්බර් 3 දින පාඨශාලීය සිසුන්ලවා වල් නෙලීමේ ව්‍යාපාරය ඉඹුල්ගොඩදී උත්සවාකාරයෙන් ආරම්භ කර, සමස්ත ලංකා ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සංකේතාත්මකව ඉදිරිපත් කෙරිණි. "ලෝකෙන් උතුම් රට ලංකාවයි" වැඩ හුරුවීමේ ගීතය මෙම වැඩසටහනට සමගාමීව ගුවන් විදුලියෙන් නිතිපතා ප්‍රචාරණය වූ අතර, එය අධ්‍යාපන ඇමැතිතුමන්ගේම පද රචනයකි. සෑම උදෑසනකම පාසල් සිසුන් එම වැඩ ගීතය ගයමින් ක්‍රියාකාරකම්වල යෙදවීමට ගුරු භවතුන්ට උපදෙස්‌ ලබාදී තිබුණි .

ඉහතකී යථෝක්ත මුද්දරයෙන් දෘශ්‍යමාන වන්නේ එම සිදුවීමේ සංශිප්තයයි. මතුපිටින් බැලූ කල එවැනි කියවීමක් එකවර හඳුනා ගැනීමට නොහැකි වුවද, විශ්ලේෂණාත්මක කියවීමකදී මෙම කරුණු ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැක.

සවිස්තරාත්මකව තොරතුරු සොයාගැනීම සදහා වෙනත් මූලාශ්‍ර විමසුමටද අවැසි ය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවා වසර සියයක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද කාණ්ඩ තුනකින් සමන්විත "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" සියවස් ප්‍රකාශනය මේ සඳහා ඇති හොදම සම්පතකි. 1969 මාර්තු මාසයේදී ප්‍රකාශිත මෙම කෘතිය පාදක කරගනිමින් පැල සිටුවීමේ මුද්දරය නිර්මාණය කෙරී ඇති බවට ඉතා පැහැදිලි සාක්ෂි පවතී. එම තහවුරුව වෙනුවෙන් එම කෘතියේ තුන්වන කොටසේ වන අදාල ජයාරූප සහිත මූලාශ්‍රය මේ සටහන සමඟින් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ඉතිහාසය නිර්මාණාත්මකව ගවේශණය සඳහා අපූර්ව මැදිහත්කාර ප්‍රවේශයක් ලෙස තැපැල් මුද්දරය ඉතා ප්‍රශස්ත ඉගෙනුම් මෙවලමකි. පාසල්, විශ්ව විද්‍යාල, ගුරු අභ්‍යාස ආයතන සහ පුස්තකාල සඳහා මෙවැනි විමර්ශනාත්මක කියවීම් සහ තොරතුරු මූලාශ්‍ර ගවේෂණය ඉතා වැදගත් වනු ඇත. මුද්දර කියවීම ඔබට ඒ සඳහා කදිම මඟ පෙන්වීමක් සිදු කරයි.

සාම්ප්‍රදායික කියවීමෙන් බැහැරව වඩාත් විචක්ෂණශිලීව කියවීම සඳහා මෙවැනි අලුත් අත්හදාබැලීම් සඳහා මෙය හොඳම කාලය වන අතර ,කියැවීමට තිබෙන්නේ පොත් විතරක් නොවන බව වටහා ගැනීමද ඉතා වැදගත් ය.

History repeats itself and flows based on the generations.

මූලාශ්‍ර:

Postage stamps of Sri Lanka, volume 11,Department of post sri lanka

ලංකාවේ අධ්‍යාපනය, සියවස ප්‍රකාශනය - 111 වන කාණ්ඩය,අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව



© kiyawanamuddara 2020 | Solution by 4meli.com