kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


22
May
2022

ජනරජයේ පැරණි රෙකෝඩ්

ජයතු ජයතු ශ්‍රී ලංකා ධරණී

විජය භූමි සෞභාග්‍ය ශාලිනී

සදාභිවන්දිත ජනාභිනන්දිත

උදාර වූ ජන රාජ්‍යය ලංකා

ලංකා ලංකා

උදාර වූ ජන රාජ්‍යය ලංකා...

සමනල කන්දේ සිරිපා හෙවණින්

ශ්‍රද්ධා භක්ති ප්‍රවාහ ගලන්නේ

සත් රුවනින් සරසා අප දේශය

සිව් මහ ගංගා ගලා බසින්නේ...

දෙදහස් වසරක අපගේ උරුමය

ජනතා ශක්ති ප්‍රභාව දකින්නේ

ඒ අභිමානය නංවා දස දිග

නිදහස් ලෝකේ පෙරට ඇදෙන්නේ...

ශක්තිය සාමය සමඟිය එක් වී

සකල සම්පතින් දෙරණ පිරේවා

අපගේ දේශය වෙනුවෙන් අප හැම

දේශ භක්තියෙන් අවදි කෙරේවා...

ජයතු ජයතු ශ්‍රී ලංකා ධරණී ගීතය මෙතනින් රස විඳින්න: https://www.youtube.com/watch?v=R6__v-kbACk

මහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන් රචනා කළ, පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතය සපයනු ලැබ ගායනා කළ මෙම ගීතය ජනරජය වෙනුවෙන් නිර්මාණය වූ ගීත අතුරින් විශිෂ්ඨ පද රචනාවකින් සමන්විත ගීතයක් ලෙස සැලකේ. "ජනරජය" යනු කුමක්ද ? ඒ පිළිබඳව මුද්දර මූලාශ්‍රය කරගෙන අළුත් කියවීමක් අරඹමු.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ, ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර, ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර, ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කළේය. 'ලකිසුරු' නමින් ප්‍රකටවූ එම තනතුර හොබවන ලද්දේ සර් ඔලිවර් ගුණතිලකයන්ය.

1948 ලැබුණු ඩොමීනියන් නිදහසට පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. රටේ ප්‍රධාන වාමාංශික පක්ෂ සියල්ලක්ම ලංකාව ජනරජයක් විය යුතු බවට ප්‍රකාශ කර සිටි අතර, 1956 පෙරළියෙන් පසු බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවටද එය ඉටු කිරීමට අවස්ථාවක් නොලැබිණි.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරුනේ 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේය. සිරිමා බණ්ඩාරනායක - ඇන්.ඇම්., ඉංගරත්න, මෛත්‍රීපාල සේනානායක වැනි දුර දකින මිනිසුන්ගේ දායකත්වයෙනි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘ ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පාර්ලිමේන්තුව තුල රැස් වී අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වූ යම් යම් අපහසුතා හේතුවෙන්, එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී එක් රැස් වූහ. එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී.

1972න් පසු, පෙබරවාරි 4 වනදා සමරන නිදහස් දිනයටත් වැඩි උත්සවශ්‍රීයෙන් ජනරජ දිනය සමරන ලද නමුත්; 1977 ආණ්ඩු පෙරළියට පසු එය සැමරීම ඇල් මැරුණු ස්වභාවයක් ගත්තේය. අවාසනාවකට මෙන්, ජනරජ දිනය සඳහා මූලිකත්වය නොගත් දේශපාලන පක්ෂ එය සැලකුවේ, තමන්ට අයත් දිනයක් ලෙස නොවේ. ජනරජ දිනය වෙනුවට එය 'ජාතික වීර දිනය' ලෙස නම් කරනු ලැබුණි.

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙසින් ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය පත් වූ අතර, ගරු විලියම් ගොපල්ලව මැතිතුමා ප්‍රථම ජනාධිපති ලෙසින් දිවුරුම් දුන්නේය.

ජනරජය බිහිවීමත් සමඟ නව රාජ්‍ය ලාංජනයක් හා ජාතික කොඩියට බෝපත් 4ක් එක් වූ අතර, එදින රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්විය. ජනරජ දිනයට ලොකුම අසාධාරණය සිදු කෙරුනේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේම දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවෙනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිවාඩු දින ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ, මුලින්ම ඉවත් කරන ලද නිවාඩු දිනය වූයේ, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනයයි.

2015 පත්වූ නව රජය යටතේ, 2017 මැයි 9 දින ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් අංක 4/2017 දරණ චක්‍රලේඛය යටතේ මැයි 22 ජනරජ දිනය සැමරීම සඳහා අවශ්‍ය උපදෙස් නැවතත් ලබා දෙන ලදී.

ජනරජය නිමිති කරගෙන 1972 මැයි 22 නිකුත් කරන ලද ජනරජ සමරු මුද්දරය මෙරට ඉතිහාසයේ සුවිශේෂීම මුද්දර ලෙස සැලකිය හැකිය. එය ඉතා අගනා දෘශ්‍ය කියවීමක් සහිතය. මුද්දර යනු ජාතියක අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දෘශ්‍යකරණයන් වන අතර ජාතියේ සාමූහික මතකයේ වියමන සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. සත්‍ය වශයෙන්ම, සංස්කෘතික ,දේශපාලනික උරුමයන් පරිපාලනය කිරීමේදී මුද්දරය මතකයේ සහ මතක දේශපාලනයේ වැදගත් ස්ථාන බවට පත්ව ඇත. මුද්දරය ජාතියේ පුරවැසියන්ට තම රට ගැන දැනගත යුතු සහ ආඩම්බර විය යුතු දේ සූක්ෂ්ම ලෙස මතක් කර දෙයි. එදිනෙදා ජීවිතයේ සන්දර්භය තුළ, අපගේ සාමූහික මතකයේ සහ දෘශ්‍ය සංස්කෘතියේ කොටසක් ලෙස මුද්‍රා තබයි.

ශ්‍රී ලංකා ජනරජයේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ මුද්දර යෝජනාව මිට වසරකට පෙර සිටම මුද්දර කාර්යාංශය සහ අදාල සෙසු ආයතන වෙත අප විසින් ඉදිරිපත් කෙරිණ. එමෙන්ම, මෙවර වාර්ෂික මුද්දර නිකුතු අතර ජනරජයේ 50 වන සංවත්සර සමරු මුද්දරයක් නිර්දේශ වී තිබුණු නමුදු, තැපැල් අමාත්‍යංශය භාර අමාත්‍යවරයකු සහ ලේකම්වරයකු නොමැති පසුබිම හමුවේ මෙම මුද්දරය අද දින නිකුත් කිරීම සිදු නොවේ.

නව සමරු මුද්දරයක් නිකුත් නොවුනද, ජනරජයේ 50 වන සංවත්සරය කියවීම සඳහා ජනරජය වෙනුවෙන් රචනා වූ ගීත අපට උපකාරී වනු ඇත. කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින් රචිත,ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනු නිර්මාණය සහ ගායනයෙන් හැඩවූ මෙම ගීතය ජනරජය බිහිවීම නිමිති කරගෙන නිර්මාණය වූ ගීත අතරින් වඩාත්ම ප්‍රකටය.

සිප එන සමනල මුදුනින්

ජනරජ දිනකර කිරණින්

ලංකා රන් තඹර කැකුල

විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී

ඈත තුසීතයෙන් ඉසී

ඉසුරු සුවය විඳිනු රිසී

සුරන් පවා බිමට බසී...

භූ පාලන නව ‍රැල්ලේ

එක ධජයක සෙවනැල්ලේ

නිවහල් රන් ඕවිල්ලේ

ජනජය ගී මංගල්ලේ...

සිප එන සමනල මුදුනින් ගීතය මෙතනින් රස විඳින්න: https://www.youtube.com/watch?v=ejk3Sj6oRwY

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් තනු නිර්මාණය සහ සංගීතය සැපයු පණ්ඩිත් අමරදේවයන් විසින් ගයනා කරනු ලබන "මිහිලිය නළලේ අංජන තිලකේ" තවත් අපූර්ව ජනරජ ගීයකි.

මිහිලිය නළලේ

අංජන තිලකේ

සිරි ලංකා දෙරණේ

තිසරණ සරණින් භූ පාලනා

ජනතා දිනේ දිනේ......

දන - පිනන සතර සඟරා වතින්

සත - සිත ගත සැනසේවා.....!

සඟ - වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්

සිව් දිග සැරසේවා....!

බුජ - බල පල කළ සුරු නර විරු කැළ

යළි - හෙළ බිම ඉපදේවා....!

මුදු - ගුණෙන් සුපුන් සඳ නැණින් ගුරුන් ලෙද

රන්දිව දිලිහේවා .....!

මිහිලිය නළලේ අංජන තිලකේ ගීතය මෙතනින් රස විඳින්න: https://www.youtube.com/watch?v=G85iAk1-mIM

ශ්‍රී ලංකා ජනරජයේ 50 වන සංවත්සර සමරනුවස් සමරු මුද්දරයක් නිකුත් කිරීමට නොහැකි දේශපාලන සංක්‍රාන්තියක අපට ඉතිරිව ඇත්තේ පරණ රෙකෝඩ් පමණි.

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com