kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
May
2022

පෝලන්ත පුරාවෘත්තය, වාවල් මකරා සහ ගෝල්ෆේස් අරගලය

පෝලන්ත තැපැල් අධිකාරිය විසින් 2022 අප්‍රේල් 21 පෝලන්ත පුරාවෘත්ත සහ සුරංගනා කතා (Polish legends and fairy tales) තේමාව පදනම් කරගෙන මනරම් සමරු මුද්දර නිකුතුවක් සිදුකරන ලදී. ක්‍රැක්ගේ පුරාවෘත්තය සහ වාවල් මකරා( The legend of Krak and the Wawel dragon) නමින් මෙම නිකුතුව සිදුකර තිබේ.

පුරාවෘත්තය විසංයෝජනය කිරීමේ ක්‍රියාවලිය මගින් ඉගෙනීම කෙරෙහි නිර්මාණාත්මක ආකල්ප කුළුගන්වයි. පරිකල්පනය සහ නිර්මාණාත්මක ප්‍රකාශනය අවදි කරයි. ඔවුන්ගේ දක්ෂතා සහ ආශාව සොයා ගැනීමට සහ වෙනත් රටවල සංස්කෘතීන් සමඟ බැඳීම් සොයා ගැනීමට උපකාරී වේ. ඔවුන්ගේ කියවීම, විශ්ලේෂණය සහ විවේචනාත්මක කුසලතා මෙන්ම, පර්යේෂණ සහ තොරතුරු සම්පාදනය සඳහා තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කරනු ඇත.

මෙම අපූර්ව උපදේශාත්මක පුරාවෘත්තයේ සංෂික්පතය මෙසේය:

පෙර එක දවසක පෝලන්තයේ, ක්‍රැක් (Krak) නම් ත්‍යාගශීලී සහ කාරුණික රජ කෙනෙක් තම දියණිය වැන්ඩා (Wanda) සමඟ වාවල් (Wawel) කඳුකරයේ මාලිගාවේ වාසය කළේය. ජනහිතකාමී රජුට සහ වැන්ඩාට පොදු ජනතාව බොහෝ සෙයින් ආදරය කළහ. දැවැන්ත මකරෙකු වාවල් කන්ද යට ගල් ගුහාව තම නිවස බවට පත් කිරීමට තීරණය කල දා සිට, වසර ගණනාවක් පුරා නගරයේ පැවති සාමය සහ සමෘද්ධිය පහව ගියේය. කෝපයෙන් නිරතුරුව මුඛයෙන් ගිනි පිට කරන මකරාගේ ආහාරය වුයේ මිනිසුන්, ගවයන් සහ බැටළුවන් ආදී සතුන්ය. එනමුදු, මකරා වඩාත් ප්‍රිය කලේ කන්‍යාවන්ගේ මාංශ යි.

ක්‍රකෝව් (Krakow) නගරයේ දිළින්දාගේ සිට රජකම් කල ක්‍රැක් රජු දක්වා සෑම දෙනෙකුගේම ජීවිතය රඳා පැවතුනේ වවල් මකරාගේ භීතිය යටතේය. මකරාගේ ඝෝෂාව මුළු නගරයම තැති ගැන්වූ අතර, අවිනිශ්චිත බවේ බියකරු සිතුවිල්ල සමඟින් ජන ජීවිතය ඉතා දුකසේ ගෙවී ගියේය. මෙම මකරාගේ භීතිය නැතිකිරීමට සමතෙක් පුරවරයේ නොසිටියේය. කිසිම ආයුධයකින් මකරාව මෙල්ල කිරීමට නොහැකි නගරයේ බව සියලු රණ ශූරයින් පිළිගත් බැවින්, මකරාට එරෙහිව සටන් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවිනි.

නගරයේ සතුන් සහ කන්‍යාවන් සියල්ලම පාහේ මකරාට ආහාරය බවට පත්ව ඇති දිනෙක, රාජධානියේ ඉතිරිව සිටි එකම කන්‍යාව වූ වන්ඩා කුමරියගේ ජීවිතය මකරාට බිලිදීම නොවැලක්විය හැකි විය. රජුට තම දියණිය මකරාගේ ගොදුරු බවට පත්කිරීමට අවශ්‍ය නොවීය. එබැවින්, ඔහු මකරා සමඟ සටන් කිරීමට නිර්භීත නයිට්වරයෙකු සොයන බව නිවේදනය කල අතර, ඒ සඳහා ත්‍යාගයක් ලෙස ඔහු සිය දියණිය විවාහ කරදී රාජ්‍යත්වය ලබාදෙන බව ප්‍රසිද්ධ කළේය. වෙනත් නගර වලින් සහ විදෙස් රටවලින් පැමිණි බොහෝ රණ ශූරයින් මකරා සමඟ සටනට එලෙඹුනද, පලිහක මෙන් සවිමත් උගේ කොරපොතු සිරුර පසාරු කිරීමට ඔවුන්ගේ කඩු හා ඊතල වලට නොහැකිවිය. එහෙයින්, මකරා විනාශ කිරීමට හෝ පලවාහැරීමේ අභියෝගය කිසිවෙකුටත් ජයගත නොහැකිවිය. කාලය කෙමෙන් ගෙවී ගිය අතර, මකරා ක්‍රකෝව් භූමියම විනාශ කළේය.

මේ අතර, එක්තරා දිනෙක ඩ්‍රැටෙව්කා (Dratewka) නම් තරුණයෙක් නගරයට පැමිණියේය. ඔහු සපත්තු සාදන්නෙකි. ඔහු යුද ශිල්ප සහ ආයුධ හරඹ නොදත්තේය. ඉඳිකටුවක්, නූල් සහ ශක්තිමත් මනස ඔහුගේ එකම ආයුධය විය. මකරා පරාද කිරීමට නිරායුධව පැමිණි මෙම තරුණයාගේ නිර්භීතකම කෙරෙහි යම් විශ්වාසයක් තැබීමට රජු තීරණය කරන කර, ඔහුගේ සැලසුමට අනුව කටයුතු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන්නේය. තරුණයාට අවශ්‍ය වූයේ බැටළු සමක් සහ ගෙන්දගම්ය. ඔහු බැටළු සම හොදින් මසා, ඒ තුලට ගෙන්දගම් පුරවන ලදී. ගෙන්දගම් පිරවූ බැටළු සම සැබෑ බටලුවකු සේ දිස්විණි. ඔහු එය රාත්‍රියේදී මකරාගේ ගුහාව ඉදිරිපිටට රැගෙන ගොස් ඇමක් ලෙස තබා උදෑසන වනතෙක් බලා සිටියේය. උදෑසන අවදි වූ මකරා තම දෙපාමුල සිටි බැටළු පැටවෙකු දැක කිසිදු ප්‍රමාදයකින් තොරව මහත් ගිජු කමින් ගිල දැම්මේය.

බැටළු සමේ පුරවා තිබුණු ගෙන්දගම් මකරාගේ බඩට නිරාවරණ වීම නිසා ඌට මහත් වේදනාවක් හටගත්තේය. බඩේ ගින්නක් හට ගැනුනි. මකරා විස්ටුලා (Vistula) නදියට බැස එහි ජලය සම්පූර්ණයෙන්ම පානය කල නමුදු, බඩේ ගින්දර නිවාගැනීමට නොහැකි විය. කෝපයෙන් සහ වේදනාවෙන් වියරු වැටුණු මකරා ගින්දර පිඹීමට උත්සහ කලද, පානය කර තිබූ ජලය නිසා ගින්දර පිට වුනේ නැත. අවසානයේදී මකරා ගින්නෙන් ම විනාශයට පත්විය.

සපත්තු සාදන තරුණයාගේ සැලසුම සාර්ථක විය.රජු තම පොරොන්දුව ඉටු කළ අතර, තරුණයා වැන්ඩා කුමරිය සමඟ විවාහ වී දිඟු කලක් සතුටින් රාජ්‍ය පාලනය කළේය.

උපදේශාත්මක අදාළත්වය:

දේශීය සම්ප්‍රදායන්, විශ්වාසයන්, ඓතිහාසික සහ සංස්කෘතික කතාන්දර කීමේ කලාවේ වැදගත්කම මෙවැනි පුරාවෘත්ත වලින් අවබෝධ කර ගන්න. එපමණක් නොව, ධනය, බලය සහ ආයුධ වලට වඩා බුද්ධිමත් බව සදාචාරාත්මකය; ප්‍රතිඑල දායකය.

එදා මකරාට එරෙහිව උපක්‍රමිකව මුහුණ දුන් තරුණයාත්, අද වත්මන් පාලනයට එරෙහි අරගලයට උරදී සිටිනා අපේ තරුණයනුත් අතර වෙනසක් නැත. එවිට පෝලන්ත පුරාවෘත්තය අපිට අපේ කරගෙන කියවිය හැක.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com