24
April
2022
යුක්රේනය 1991 දෙසැම්බර් 01 වන දින ජනමත විචාරණයකින් අනුමත කරන ලද තීරණයක් මත සෝවියට් සංගමයෙන් වෙන්ව ස්වාධීනත්වය ප්‍රකාශ කරන ලද රජ්‍යයකි. 2022 පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කල අතර, රුසියානු ආධිපත්‍යය හමුවේ, යුක්රේනය පහසුවෙන් පසුබසිනු ඇති බව බහුතර මතය වුවද, දෙපාර්ශවයේ ගැටුම් තවමත් නිමවී නැත.
තම රටේ හමුදාව යුද්ධය සඳහා සක්‍රීයව දායක වී ඇති මේ මොහොතේ, යුක්රේන තැපැල් අධිකාරිය (Ukrposhta) ඔවුනට ශක්තියක් වන්නට අපූර්ව කටයුත්තක් සැලසුම් කළහ. එනම්, ඔවුහු සිය මාතෘභූමිය ආරක්ෂා කිරීමට යුක්රේනියානුවන්ගේ අධිෂ්ඨානය නිදර්ශනය කිරීම සඳහා සමරු මුද්දරයක් නිකුත් කිරීමට සැලසුම් කිරීමයි. එකී සැලසුම සඳහා නිර්මාණ යෝජනා එවන ලෙස ඔවුහු මහජනතාව ගෙන් ඉල්ලා සිටියහ. මේ අතුරින් යුක්රේන තැපැල් අධිකාරිය නිර්මාණ 20ක් තෝරා ගන්නා ලද අතර, එම තෝරා ගත් නිර්මාණ 2022 මාර්තු 8 සිට මාර්තු 11 දක්වා මහජන ඡන්දය සඳහා ඉදිරිපත් කෙරිණ. ඉන් ඉක්බිති ඔවුහු ඉන් වැඩිම ප්‍රසාදය හිමිවූ නිර්මාණය මුද්දරයක් ලෙස 2022 අප්‍රේල් 12 දින නිකුත් කළහ.
කළු මුහුදේ පිහිටි සර්ප දූපත (Snake Island) ලෙසද හැඳින්වෙන යුක්රේන භූමිය, රුසියානු ආක්රමණයේ පළමු දින වූ 2022 පෙබරවාරි 24 වන දින රුසියානු නාවික හමුදාව විසින් පහර දී අල්ලා ගැනීමට විරෝධය දැක්වෙන යුක්රේන හමුදා සෙබළකුගේ නොහොබිනා ප්‍රතිචාරයක් වූ “Russian warship go f--- yourself” යන්න නිර්මාණාත්මකව ඉදිරිපත් කල බොරිස් ග්‍රෝ (Boris Groh)ගේ සිතුවම මුද්දරයක් ලෙස මෙහිදී එළිදැක්විණි.
යුද්ධය හේතුවෙන් යුක්රේනයේ ජන ජීවිතය සිතාගත නොහැකි ලෙස කඩාවැටීම නිසා, මෙම මුද්දර නිර්මාණ තරගය බොහෝ දෙනෙකුට සැබෑ කලා ප්‍රතිකාරයක් වූ බව පවසන යුක්රේන තැපැල් අධිකාරිය, මෙම නිර්මාණය ඔවුනගේ ධෛර්යයේ සහ ස්ථීරභාවයේ සංකේතයක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කළහ. “මිනිස්සු මුද්දරයට ආදරය කරනවා. එය රුසියාව කෙරෙහි ලොව පුරා මනෝභාවය පිළිබිඹු කරයි” යනුවෙන් යුක්රේන තැපැල් සේවයේ අධ්යක්ෂ ජනරාල් ඊගෝර් ස්මලියන්ස්කි (Igor Smelyansky) පැවසීය.
යුක්රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) මුද්දරය සහ කවරය සමඟින් පෙනී සිටිමින් Instagram හි සටහනක් තබමින් තම පුරවැසියන්ට පැවසුවේ “සෑම කෙනෙකුම එය ලබා ගත යුතුයි” යන්නයි.
මෙම මුද්දරය මිලියනයක් මුද්‍රණය කෙරිණි. යුක්රේනය පුරා ඉන් මුද්දර ලක්ෂ හතක් විකිණීමටත්, ක්රිමියාව ඇතුළු දැනට රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන සිටින භූමි ප්‍රදේශ සඳහා මුද්දර ලක්ෂ දෙකකුත්, තවත් මුද්දර ලක්ෂයක් අන්තර්ජාලය හරහාත් විකුණනු ලබන බවත් තැපැල් අධිකාරිය පවසයි.
මුද්දරය මිලදීගැනීම සඳහා යුක්රේන වැසියන් යුද ගැටුම් අතරතුර සිය ජිවිත අවදානමද නොසලකා පැය ගණනාවක් දිගු පෝලිම් වල රැඳී සිටියහ.
යුක්රේන ජාතික නටාලි ටකචෙන්කෝ (Natalii Tkachenko) පැවසුවේ මුද්දර මුදා හරින ලද පළමු දිනයේම මුද්දර මිලදී ගැනීමට ඇය සමත් වූ බවයි. "එය සංකේතයක්, පණිවිඩයක්. එයින් අපේ අභ්‍යන්තර දේශප්‍රේමය පිළිබිඹු වෙනවා." ("It’s a symbol, a message. It reflects our inner patriotism.") “මම ඉපදුණේ මෙහි. මම මේ රටේ ජීවත් වෙනවා. එයාලට ඕන අපිව විනාශ කරන්න. මම යටත් වෙන්න යන්නේ නැහැ. මෙම විනාශකාරී යුද්ධයක් ආරම්භ කිරීම වැළැක්වීමට රාජ්‍ය තාන්ත්‍රිකභාවය අසමත් වූ බැවින්, මුද්දරයේ වර්ණවත් පණිවිඩය සුදුසු බව" ඇය වැඩිදුරටත් පැවසුවාය. “මුද්දරය කඩදාසි ටිකක්. නමුත් පෝලිම දෙස බලන්න. එය කුඩා විය හැකි නමුත් එය බලවත්ය. යුක්රේනය වගේ.” ඒ, මුද්දරය ජාතික සංස්කෘතියක් බවට පත්ව ඇති රටක සාමාන්‍ය පුරවැසියෙකුගේ අදහසයි.
මුද්දරය යනු සමකාලින සමාජයේ පිළිබිබුවකි (Stamp is a reflection of contemporary society). එහි අන්තර්ගතය කියවා, මුද්දරය දේශපාලන සහ මතවාදී අන්තර්ගතයේ වාහකයන් ලෙස (stamps as carriers of political and ideological contents) දකින්න.
ඔබත් පෙරට එන්න.....
© kiyawanamuddara 2020 | Solution by 4meli.com