kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
March
2022

ජාතියේ ස්ත්‍රී පුරුෂ භාවය - Gendering the nation

"ඇය, රටකි, දැයකි,ලොවකි" - එවන් ඇගේ නමට මුද්දරයක්

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන වැඩිපුර කතා කරලියට පැමිණෙන්නේ කරන්නේ කාන්තා දිනයට සමගාමීවය. ඉන් බැහැරව අපි කාන්තාවන් ගැන කතා නොකරන තරම්ය. රටක්, ජාතියක්, සමාජයක් ලෙස ගත් කල පැහැදිලිව පෙන්නුම් කරන මේ අසමතුලිත බව සමකාලින සමාජයේ පවතින සැබෑවයි. මුද්දරය යනු සමකාලින සමාජයේ පිළිබිබුවකි (Stamp is reflection of contemporary society). මුද්දරය රටක, සමාජයක; සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, ඓතිහාසික, කලාත්මක හා පාරිසරිකමය වශයෙන් තමන්ගේ අනන්‍යතාවය විදහා දක්වන ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. එම සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආදී විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් නිරූපිත සමරු මුද්දරවල කාන්තා නිරූපණය දක්නට ලැබෙන්නේ එකී ක්ෂේත්‍ර තුල කාන්තා නියෝජනය ඉතා වැදගත් සාධකයක් වන බැවිනි.

ජාතියක දෘශ්‍ය නිරුපනයේ හරස්කඩක් ලෙසින් සැලකෙන සමරු මුද්දර පිළිබඳව විශ්ලේෂනාත්මකව පිරික්සීමේදී ද, ශ්‍රී ලංකාවේ මුද්දර මත කාන්තාවන්ගේ නිරූපණයේ අසමතුලිත බව හොඳින්ම වටහාගත හැක. එසේ වන්නේ, ලංකාව් මුද්දර ඉතිහාසය තුල "ජාතික වීරයින් සහ විශිෂ්ඨ පෞර්ෂය" යන තේමාවන් යටතේ නිකුත් කර ඇති සමරු මුද්දර වලින් 99%ක්ම පුරුෂ කේන්ද්‍රීය මුද්දර වීම හේතුවෙනි. ලංකා ඉතිහාසය තුල කාන්තා වීරවරියන් ඉස්මතු නොකිරීම නිසාවෙන්, වර්තමානයේද සමාජය තුල ද වීරවරියන් ගැන සාකච්ජා කිරීම පසුගාමී මට්ටමක පවතී. එහෙයින්ම, පිරිමින් සමාජයේ වඩාත් කැපී පෙනෙන ස්ථානයක් දරන බව මෙරට මුද්දර විශ්ලේෂනාත්මකව අධ්‍යයනය කරන විට ගම්‍ය වේ.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ ප්‍රථම මුද්දරයේ නිරූපිත වික්ටෝරියා රැජිනගේ සමරු මුද්දරයේ සිට ලංකාවේ මුද්දර රැසක් සැරසුනේ එතුමියගේ ශිර්ෂ රුවිනි. රාජකීයත්වය නිසා ලාංකීය මුද්දර ලෝකය ජය ගැනීමට වික්ටෝරියා සහ එලිසබෙත් රාජිණියන්ට හැකිවුවද, සෙසු කාන්තාවන්ට එය වලංගු නොවේ. මව, ගෘහණිය, ගෙවිලිය, තේ දළු නෙලන්නිය, රබර් කිරි කපන්නිය, කම්හල් සේවිකාව, ගුරුවරිය, හෙදිය, දේශපාලඥවරිය, උපාධිධාරිනිය, බාලිකාව, බාලදක්ෂිකාව සහ සාමාන්‍ය කාන්තා නිරූපනය ලංකා මුද්දර ගොනුවේ දක්නට ලැබෙන නමුදු, ඉන් බහුතරය මුද්දරයක් ඇයට උපහාර පිණිස නිකුත් කල සමරු මුද්දර නොවේ. ඇය ප්‍රස්තුත කර මුද්දර ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි.

ලාංකීය මුද්දර ඉතිහාසය තුල වසර 1983 මාර්තු 8 වන දින ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාතික කාන්තා දිනය (International Women's Day) සමරනුවස් සමරු මුද්දර නිකුතුවක් සිදු කර තිබේ. ඉන් ඉක්බිතිව වර්තමානය දක්වා කාන්තා දිනය සැමරීම උදෙසා මුද්දර නිකුතුවක් සිදු වී නොමැත. මෙරට මුද්දර ඉතිහාසය තුල දැනට නිකුත් කර ඇති අවසන් කාන්තා සමරු මුද්දරය වනුයේ වසර 2016 අප්‍රේල් 7 දින නිකුත් කර ඇති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම ශත සංවත්සර මුද්දරයයි. එතැන් සිට අද දක්වා දේශීය තේමාවකට අදාලව කිසිදු කාන්තා සමරු මුද්දරයක් එළි දක්වා නැත.

2023 වසර සඳහා "කියවන මුද්දර" අප කාන්තා දින සමරු මුද්දර 10 ක් යෝජනා කිරීමට සැලසුම් කර තිබේ. හෙලේනා විජේවර්ධන, මාරි මියුසියස් හිගින්ස්, ජෙරමියස් දියෙස් මැතිනිය වන සෙලෙස්තිනා රොද්‍රිගු, දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන, කලා කීර්ති මොනිකා රුවන්පතිරණ, සිබිල් වෙත්තසිංහ, එවරස්ට් කන්ද තරණය කල ජයන්ති කුරු උතුම්පාල, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, ලංකාවේ ප්‍රථම කාන්තා ඉංජිනේරුවරිය වන ආචාර්ය ප්‍රෙමිලා සිවප්‍රකසම්පිල්ලේ සිවසේකරම් හා ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙස පුහුණුව ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන මිනට් ද සිල්වා යන කාන්තා විරු චරිත එම යෝජනාවන්ට ඇතුලත්ය.

මාර්තු 8 වූ ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර එහි තේමාව “තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය" යි (“Gender equality today for a sustainable tomorrow). මෙවර ප්‍රචාරක තේමාව: "පක්ෂග්රාහීත්වය බිඳ දමන්න" (#BreakTheBias) යන්නයි. 'රටකි, දැයකි, ලොවකි, ඇය' යන්න දේශීය වශයෙන් තෝරාගත් තේමාව වන අතර මෙම ලිපිය ඊට පසුවදනකි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com