kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


11
February
2022

කවීන් සහ දාර්ශනිකයින්ගේ දෙපතුල ලඟටම ගිය ලාංකීය තැපැල් සේවය

දේශයේ අභිමානය ඔදවත් කල කවීන් සහ දර්ශනිකයින්ට උපහාර පිණිස 1971 ඔක්තෝම්බර් 29 දින ලාංකීය මුද්දර වංශයට නව සමරු මුද්දර 5ක් එක්විය. පුජ්‍ය එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා මැතිඳුන්, ආරුමුග නාවලර් මැතිඳුන්, කුමාරතුංග මුනිදාස මැතිඳුන් හා ආනන්ද කුමාරස්වාමි මැතිඳුන් සිහිපත්කර මෙම සමරු මුද්දර නිර්මාණය කෙරිණ. යථෝක්ත කවීන් සහ දාර්ශනිකයින්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික ජීවිතයේ පොහොසත් බව කියවා ගැනීම සඳහා මෙම අගනා සමරු මුද්දර නිකුතුවට අදාල දෘශ්‍ය නිරූපනය ආධාරකයක් වූ බව නිසැකය. පූජ්‍ය එස්. මහින්ද හිමියන්ගේ සහ ආනන්ද රාජකරුණා මැතිඳුන්ගේ සිතුවම් ඇල්බට් ධර්මසිරි සිත්තරා විසින්ද, අරුමුග නාවලර්තුමන්ගේ සිතුවම එල්. ඩී. පී. ජයවර්ධන සිත්තරා විසින්ද, කුමාරතුංග මුනිදාසයන්ගේ සහ ආනන්ද කුමාරස්වාමි මැතිඳුන්ගේ සිතුවම් පී ඒ. මිත්තපාල සිත්තරා විසින්ද සැලසුම් කර තිබිණි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම නිකුතුවට සමගාමීව යථෝක්ත කවීන් සහ දාර්ශනිකයින්ගේ දිවිය සහ සබැඳුනු ස්ථාන 5ක දින මුද්‍රාද සහිතව මෙම මුද්දර නිකුත් කර තිබීමද ඇත්තෙන්ම අපූර්ව සිදුවීමකි. මුල්දින මුද්‍රාව යනු කිසියම් මුද්දර නිකුතුවක් සිදුකිරීමේදී දිනය සහ ස්ථානය සදහන් කර නිර්මාණය කරන ලද මුද්දර අවලංගු කිරීමේ නිල මුද්‍රාවයි. ප්‍රථම දින, විශේෂ, සාමාන්‍ය, ගුවන් තැපැල්, ලියාපදිංචි තැපැල්, ජංගම තැපැල් කාර්යාල හා කඳවුරු තැපැල් කාර්යාල ආදී නොයෙක් වර්ගයේ දින මුද්‍රා පවතී. දින මුද්‍රා එකතු කිරීමද මුද්දර විනෝදයේ සුවිශේෂී අංගයකි.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සමරු මුද්දරයේ දින මුද්‍රාවේ නිකුත් කල ස්ථනය ලෙස සඳහන් වන්නේ මහබෙල්ලන (MAHABELLANA ) යි. පානදුර මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම (වීරගහ) විහාරස්ථානය මහින්ද හිමිපාණන් විහාරාධිපති ධූරය දරණ ලද විහාරස්ථානය වන අතර, උන් වහන්සේ අවසන් හුස්ම හෙළුවේද මෙම පුද බිමේදීය.

ආනන්ද රාජකරුණා මහතාගේ සමරු මුද්දරයේ දින මුද්‍රාවේ නිකුත් කල ස්ථානය ලෙස සඳහන් වන්නේ මාදම්පාගම (MADAMPAGAMA) යි. දකුණු පළාතේ අම්බලන්ගොඩ සමීපයේ පිහිටි මහදම්පේ නැමති ග්‍රාමය ආනන්ද රාජකරුණා මහතාගේ ජන්ම භූමියයි.

නිකුත් කරන ලද ස්ථනය ලෙස දික්වැල්ල (DIKWELLA) සඳහන්වූ දින මුද්‍රාවෙන් අවලංගු වී තිබුනේ කුමාරතුංග මුනිදාස මහතාගේ සමරු නිකුතුවයි. දික්වැල්ල, කුමාරතුංගයන්ගේ උපන් බිමයි.

ආනන්ද කුමාරස්වාමි මහතාගේ සමරු මුද්දරය අවලංගු කර ඇති දින මුද්‍රාවේ සඳහන් වන්නේ මනිපායි (MANIPAY) ලෙසිනි. පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල ප්‍රධාන වශයෙන් යාපනයේ මනිපායි ප්‍රදේශයට අයත් වූවෝ වෙති.

ආරුමුග නාවලර් මැතිඳුන්ගේ සමරු මුද්දරය සහිත මුල්දින කවරය අවලංගු කර තිබෙන්නේ ඔහුගේ ජන්ම භූමිය වූ නල්ලූර් (Nallur) හිදීය. එම දින මුද්‍රාව සඳහා සිංහල හා දෙමළ භාෂා දෙකම භාවිතා කිරීමද විශේෂිතය. මෙම මුල්දින මුද්‍රාවේ භාෂා භාවිතයෙන් පෙන්නුම් කරන ලද සැලකිල්ල ජාතික එකමුතුවේ නිහඩ සාක්ෂියකි. ජාතිකත්වය, ජනවාර්ගිකත්වය පිළිබඳව එවක වූ සැබෑ සමාජ තත්වය හඳුනාගැනීම සඳහා වූ කදිම නිදසුනකි.

මේ උපහාරය සැබවින්ම ඓතිහාසික වන්නේ තැපෑල විසින් මෙම කවීන් සහ දාර්ශනිකයින් ගේ දෙපතුල ලඟටම ගොස් මුද්දර උපහාරය දැක්වීමය හේතුවෙනි. තමන් උපන් භෝ දිවි ගෙවූ බිමට ගොස් පුදන ලද මේ මුද්දර උපහාරය ලංකාවේ මෙතෙක් සිදුවී ඇති එකම සහ උසස්ම මුද්දර සැලකිල්ලක් ලෙස සැලකිය හැකිය.

එසේම, වසර 2001 වෙසක් සමරුව නිමිත්තෙන්ද මෙවන් ආකාරයෙන් ස්ථාන 4ක (නාගදීපය, මුතියංගනය, මහියංගනය හා දළදා මැදුර) දී සමරු මුද්දර නිකුත් කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.

මුද්දරය යනු ජනතාව දැනුවත් කිරීමට සහ සමාජ දැනුවත්භාවයට බලපෑම් කිරීමට රජයන්ට ඇති එක් නාලිකාවකි. එයට පුළුල්, මතුපිටින් නොපෙනෙන සංස්කෘතික බලයන් සහ අර්ථයන් හෙළිදරව් කිරීමේ හැකියාව ඇති බව පැහැදිලිය. ඉතිහාසයේ විවිධ පරිජේද තුල ක්‍රියාත්මක මුද්දර බල අධිකාරීන් මෙම ගුණය පදනම් කරගෙන විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති අතර, 70 දශකය එවන් සුවිශේෂී මතකයන් සහිත පූර්වාදර්ශි යුගයකි. මෙහිදී ජාතික වීරයින්ට සැබෑ උපාහාරය ලබාදීම උදෙසා තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ලංකා මුද්දර කාර්යාංශය වෙහෙසවී කටයුතු කර ඇති ආකාරය ප්‍රසංසනීය වේ. ඒවා එවක තැපැල් සේවයේ විශිෂ්ඨත්වය ගැනද අපට තවත් අලුත් පාඩම් කියා දෙයි.

මුද්දරයකට රටක්, ජාතියක් නියෝජනය කිරීමේ වරම හිමිවේ. එමෙන්ම, මුද්දරයක් මත සිතුවම් වන්නේ සුවිශේෂී චරිතය. එවන් සුවිශේෂී සැලසුම් සහගත මුද්දර නිර්මාණ, තවත් විශේෂිත සමරුවක් වන අතරම මුද්දර එකතු කිරීමේ විනෝදයේ අවකාශය තවත් පුළුල් කර එය විවිධාංගීකරණයටද ලක් කරයි. එය මුද්දර විනෝදාංශයේ යෙදෙන්නන් හටද අලුත් අත්දැකීමකි. තම එකතුවට අලුත් අමුත්තෙකි. මෙවැනි විවිධත්ව මුද්දර කාර්යාංශයේ අදායම ඉහල නංවා ගැනීම සඳහාද සිදුකළහැකි උපායමාර්ගික විසඳුම් වේ.
ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයයේ සැලසුම්සහගත බව ප්‍රායෝගිකවම පෙන්වාදී ඇති මෙම නිදර්ශන, මුද්දරයේ හෙට දවස යහපත් කරගැනීම සඳහා ඓතිහාසික සාක්ෂියක්ම වේවායි අපි පතමු.

විශේෂ ස්තුතිය: ගාමිණී සිල්වා මහතාට



© kiyawanamuddara 2020 | Solution by 4meli.com