05
January
2022
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියා වශයෙන්ද ශ්‍රී ලාංකීය ගුවන් විදුලි සංස්කෘතියේ පෙරගමන්කරු වශයෙන්ද ජාතික ගුවන් විදුලිය මහජන සේවයේ නිරතව සිටියි. බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් වූ දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර පළමු වරට ගුවන් විදුලි සේවයක් ආරම්භ කළ රට වන්නේ ශ්‍රී ලංකාවයි. 1925 දෙසැම්බර් 16 වන දින කොළඹ රේඩියෝ (Colombo Radio) වශයෙන් ආරම්භ වූ මෙරට ගුවන් විදුලිය, සිය ශ්රාවකයින් අධ්‍යාපනයෙන් හා දැනුමෙන් පෝෂණය කරමින්, විනෝදාශ්වාදය සලසමින්, 97 වසරක් පුරා විශාල මෙහෙවරක නිරතව සිටියි.
රේඩියෝ සිලෝන් (Radio Ceylon) නමින් ජනප්‍රිය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1949 වසරේදීය. 1950 ජනවාරි 01 දින සිට ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි නව ගුවන් විදුලි මධ්‍යස්ථානය ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සම්ප්‍රදායට අනුව යමින්, ගුවන් විදුලි දෙපාර්තමේන්තුව 1966 අංක 37 දරණ පනත යටතේ, 1967 ජනවාරි 5 වන දින ඩඩ්ලි සේනානායක රජය යටතේ රාජ්‍ය සංස්ථාවක් ලෙස 'ලංකා ගුවන් විදුලි සංස්ථාව' (Ceylon Broadcasting Corporation) ලෙසින් පරිවර්තනය වූයේය . නෙවිල් ඩී. ජයවිර මහතා ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සභාපති හා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීය. 1972 මැයි 22 වන දින ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ, සිලෝන් (Ceylon) නාමය 'ශ්‍රී ලංකා' (Sri Lanka) බවට පත්වීම නිසා ගුවන්විදුලියටද ශ්‍රී ලංකා යන්න එක්විය.
2017 ජනවාරි 5 දිනට යෙදුන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 50 වන සංවත්සරය (1967-2017) නිමිතිකොට ගෙන වටිනාකම රුපියල් 10.00ක නව සමරු මුද්දරයක් නිකුත් කෙරිණි. මෙම මුද්දරය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීන මුද්දර නිර්මාණ ශිල්පී පුලස්ති එදිරිවීර මහතා විසිනි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com