kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


04
January
2022

ලුවී බ්‍රේල් "ඇස්වල භාෂාවෙන් ඇඟිලිවලට කතා කිරීම"

දෘශ්‍ය රහිත කියවීම සඳහා ක්‍රියා කළ හැකි උපාය මාර්ගයක් ලෙස බ්‍රේල් ක්‍රමය (Braille) ලොවට හඳුන්වා දී දෑස් නොපෙනෙන්නන්ගේ ජීවිතය එළිකල ලුවි බ්‍රේල් ( Louis Braille)ගේ උපන් දිනය යෙදෙන 1809 ජනවාරි 04 වැනිදා ලෝක බ්‍රේල් දිනය (World Braille Day) වශයෙන් නම් කර තිබේ.

ප්‍ර‍ංශයේ උපත ලද ලුවී බ්‍රේල් දෘෂ්‍යාබාධිත භාවයට පත් වූයේ ලාබාල වියේදීමය. 19 වැනි වියේදී ඔහු ලෝකයේ දෘෂ්‍යාබාධිත දරුවන් සඳහා වූ පළමු පාසල වන Royal Institute for Blind Youth ආයතනයට ඇතුළත් විය. ඔහුගේ බුද්ධිය සහ කඩිසරකම නිසාම ඔහු විදුහලේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විණි.

බ්‍රේල් ඉතිහාසය වසර 1800 ගණන්වල මුල් භාගය දක්වා දිව යයි. නැපෝලියන් බොනපාට්ගේ ප්‍රංශ හමුදාවේ සේවය කළ චාල්ස් බාර්බියර් (Charles Barbier) නම් නිලධාරියා රාත්‍රියේදී සොල්දාදුවන්ට ආරක්ෂිතව සන්නිවේදනය කළ හැකි “රාත්‍රී ලිවීම” ( night writing) ලෙස හැඳින්වෙන සංකේත පද්ධතියක් නිර්මාණය කළේය. ඒ සඳහා යොදා ගනු ලැබුයේ ඩොට් දොළහේ (12) සංඥා ක්‍ර‍මයක් වන අතර, එය ඩොට් හයට (6) අඩු කර, වත්මනෙහි භාවිතයට ගනු ලබන ක්‍ර‍මය හඳුන්වා දුන්නේ ලුවි බ්‍රේල් විසිනි.

වසර 1852 ජනවාරි 6 වැනිදා ලුවී බ්‍රේල් ක්ෂය රෝගය හේතුවෙන් මරණයට පත් වූ අතර, ඔහුගේ බ්‍රේල් ක්‍ර‍මය ප්‍ර‍ංශය තුළ පිළිගැනීමට ලක්වූයේ ඉන් වසර දෙකකට පසුවය.

එක්සත් ජාතීන්ගේ දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් "ලෝක බ්‍රේල් දිනය", ලුවී බ්‍රේල්ගේ උපන්දිනය සැමරීම සඳහා වසර 2019 සිට සෑම වසරකම ජනවාරි 4 වැනිදා ලෙස ජාත්‍යන්තරව සමරනු ලබයි. දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා මානව හිමිකම් පූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා සන්නිවේදන මාධ්‍යයක් ලෙස බ්‍රේල් හි වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට මෙම දවස වෙන් කෙරේ.

ලුවී බ්‍රේල් දෑස් නොපෙනේන්නන්ගේ ජීවිතය ආලෝකමත් කලේය. අධ්‍යාපනික සහ විනෝදාත්මක කියවීම, මූල්‍ය ප්‍රකාශන සහ අවන්හල් ආහාර විස්තර පත්‍ර (Menu), කොන්ත්‍රාත්තු, රෙගුලාසි, රක්‍ෂණ ප්‍රතිපත්ති, නාමාවලි සහ දිනපතා වැඩිහිටි ජීවිතයේ කොටසක් වන ඉවුම් පිහුම් පොත්පත් ආදී අනේක විධ දෑ මේ මඟින් දැන් කියවිය හැක. බ්‍රේල් හරහා දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට සංගීත ලකුණු, ගීතිකා, කාඩ්පත් සහ පුවරු ක්‍රීඩා ද්‍රව්‍ය සමඟ විනෝදාංශ සහ සංස්කෘතික ක්‍රියාකාරකම් ඇතුළු පුළුල් පරාසයක කියවීම් ද්‍රව්‍ය වෙතද ප්‍රවේශය ලබා දෙයි. ලෝක බ්‍රේල් භාවිතයේ තුන්වන සංස්කරණයට අනුව භාෂා 133කින් බ්‍රේල් කේත පරිවර්තනය කර ඇත.

ලුවි බ්‍රේල් ගේ ජන්ම සියවස් සමරුව නිමිත්තෙන් 2009 ජනවාරි 4 වැනිදා වටිනාකම රු 5.00ක නව තැපැල් මුද්දරයක් නිකුත් කර තිබේ. එමෙන්ම රත්මලාන අඳ බිහිරි පාසලේ (The Ceylon School for the Deaf & Blind) සියවස් සමරුව නිමිත්තෙන් 2012 ජුනි 17 වැනිදා වටිනාකම රු 5.00 ක නව මුද්දරයක් නිකුත් කර තිබේ. මෙම මුද්දරයේ විශේෂත්වය වනුයේ I Love You යන සටහන බ්‍රේල් සංඥා මඟින් සලකුණු කර තිබිමයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com