kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


14
December
2021

නත්තල් සමයේ කාර්යබහුල එකම පුද්ගලයා නත්තල් සීයා පමණක් නොවේ (Santa isn’t the only busy person this time of year)

නත්තල යනු ආලෝකයේ මංගල්‍යයයි. එය විශ්වීය සංස්කෘතික උත්සවයකි. නත්තල් දිව්‍ය පූජාවන්, නත්තල් සැරසිලි, නත්තල් සීයා, නත්තල් කැරොල්, නත්තල් නාට්‍ය, නත්තල් සුභපැතුම් පත් සහ නත්තල් තෑගි නත්තලේ අසිරිය වඩාත් වඩවයි. විශ්ව තැපැල් සේවයේ කාර්ය බහුලම සාමය මේ නත්තල් සමයයි. නත්තල් සුභපැතුම් පත් හා තෑගි භාණ්ඩ නියමිත තැනට නියමිත දිනට බෙදාහැරිම සඳහා තැපැල් සේවකයින් බොහෝ යුහුසුළුව කටයුතු කරයි.

නත්තල තේමාව කරගත් මුද්දර සිහිවන විට, නිරායාසයෙන්ම මතකයට එන්නේ ජේසු බිලිඳා මෙලොවට ඉපදීමේ මංගල්‍යය සිතුවම් කල මුද්දරයි. රජ තුන් කට්ටුව, ගවලෙන, නත්තල් සංකේත, නත්තල් සීයා නැතිනම් දේවස්ථාන දර්ශන හෝ ඒවායේ කවුළු සඳහා යොදාගෙන ඇති වෛවර්ණ වීදුරු (colored glasses) හා සිතුවම් නත්තල් මුද්දර සඳහා බහුලව භාවිතා කෙරේ.

එනමුදු, බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය 2018 වසරේ සිය නත්තල් මුද්දර සඳහා නැවුම් තේමාවක් යොදා ගනු ලැබිණි. ලෝකයෙන් වැඩිදෙනෙක් නත්තල් නිවාඩුව ගතකරමින් සැහැල්ලුවෙන් ගතකරන අතර බොහෝ තැපැල් සේවකයින් ඉතා වෙහෙසවී සිය රාජකරි කටයුතු ඉටුකිරීම ඒ සියලු දෙනාට මතක් කර දීමට සහ ඔවුනට උපහාර පිණිස මුද්දර 8කින් යුත් මෙම අපූර්ව මුද්දර පෙළ නිකුත් කරන ලදී. නත්තල් සමයේ කාර්යබහුල එකම පුද්ගලයා නත්තල් සීයා නොවන බව (Santa isn’t the only busy person this time of year) බ්‍රිතාන්‍ය වැසියන්ට මතක් කර දෙමින් මේ අගනා සමරු මුද්දර නිකුතුව සිදු කරන ලදී. 2018 නොවැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම නත්තල් මුද්දර නිකුතුව, රාජකීය තැපැල් බෙදා හැරීම නත්තල (Royal Mail Delivering Christmas) ලෙස නම් කර තිබූ අතර, තැපැල් පෙට්ටිය මධ්‍යයේ තබා ගත් එදිනෙදා ජීවිතයේ දර්ශන පෙන්වයි.

විවිධ පාලන සමයන් හයක නාගරික සහ ග්‍රාමීය පසුබිම්වල නමුත් ඒ සියල්ලට සුදුසු ශීත කාලගුණික තත්වයන් යටතේ, පදික, බිත්ති සහ කුළුණු තැපැල් පෙට්ටි පරාසයක් දක්නට මෙහිදී දක්නට ලැබේ. කාලය සංකේත කිරීම සඳහා රාජකීය ලාංජන සහිත තැපැල් පෙට්ටි යොදාගැනීම මේ මුද්දර නිකුතුව "ඉතිහාසය කියවීම" සඳහා යොදාගත් නිර්මාණාත්මක උපක්‍රමයක් බව හැඟේ.

සීයා සහ මිණිබිරිය ඔවුන්ගේ නත්තල් කාඩ්පත් හිමෙන් වැසුණු බිත්තියේ සවි කර ඇති VII වන එඩ්වඩ් රජුගේ (King Edward VII) රාජකීය සලකුණ සහිත තැපැල් පෙට්ටියකට යොමු කරයි.

කාන්තා තැපැල් සේවිකාවක් සවස්වරුවේ දෙවන එලිසබෙත් රැජිනගේ (Queen Elizabeth II ) රාජකීය ලාංජනය සහිත ද්විත්ව විවරය සහිත කුළුණු තැපැල් පෙට්ටියකින් තැපැල් අයිතම ලබාගන්නා අතර, නාගරික ගොඩනැගිලි වලින් පිටත හොඳින් ආලෝකමත් කරන ලද නත්තල් ගස් සහ නගරවැසියන් යුහුසුළුව කටයුතු කරනා අයුරු විදහා දැක්වේ.

පවුම් 1.25ක් වටිනාකම සහිත මුද්දරයෙන් නිරූපනය වන්නේ වැඩිහිටියෙකු සහ ළමයෙකු තැපැල් කිරීම සඳහා ලිපි රැගෙන ගමේ තැපැල් පෙට්ටියක් දෙසට ඇවිදිමින් එන ආකාරයකි. කණුවක සවිකර ඇති හයවන ජෝර්ජ් රජුගේ (King George VI) රාජකීය ලාංජනය සහිත තැපැල් පෙට්ටිය මත හිඳින රොබින් කුරුල්ලෙක්ද දර්ශනය වේ. රොබින් යනු මහා බ්‍රිතාන්‍යායේ දී දක්නට ලැබෙන ඉතා කුඩා පක්ෂි විශේෂයකි. රතු හෝ තැඹිලි පැහැයෙන් වර්ණවත් වන මේ පක්ෂියා නත්තල සහ තැපෑලේ එකමුතුව පෙන්නුම් කරනා තවත් එක් සංකේතයක් වන්නේ වික්ටෝරියානු බ්‍රිතාන්‍යයේ තැපැල්කරුවන් ඔවුනගේ වර්ණවත් නිල ඇඳුම් නිසා “රොබින්” යන අන්වර්ථ නාමයෙන්ම හඳුන්වනු ලැබීමෙනි. නත්තල් මුද්දරයට රොබින් කුරුල්ලා පැමිණියේද නත්තල් කාඩ්පත් බෙදාහරින එම තැපැල්කරුවන් නියෝජනය කිරීමක් ලෙසිනි.

මිනිසෙක් නත්තල් ගසක් සහ නත්තල් තෑගි සහිතව වික්ටෝරියානු යුගයේ (Victorian age) පෙන්ෆෝල්ඩ් කුළුණු තැපැල් පෙට්ටියක් (Penfold pillar box) පසෙක හිම මැදින් ගමන් කරනා අතර, කැරොල් ගායකයින් නගරයේ නිවසක දොරටුව අභියස සිට ගීතිකා ගයනා දර්ශනය සහිත වටිනාකම පවුම් 1.45 ක් මුද්දරයද නත්තලේ අසිරිය දෘශ්‍යමාන කරයි.

වයෝවෘද්ධ කාන්තාවක් තම සුරතල් බල්ලා සමඟින් පැමිණ VIII වන එඩ්වර්ඩ් රජුගේ (King Edward VIII) රාජකීය ලාංජනය සහිත තැපැල් පෙට්ටියකට ලිපියක් යොමු කරන අයුරු විදහාලන මුද්දරයේ වටිනාකම පවුම් 1.55කි. සුරතලා තැපැල් පෙට්ටිය දෙස බලා සිටීමෙන් සතුන්ටද නත්තලේ අසිරිය උවමනා වනු ඇති බව හැඟවෙනු ඇත.

තවත් මුද්දරයක ලිපි කිහිපයක් රැගෙන පූජකයෙක් ගමේ පල්ලියක සිට පස්වන ජෝර්ජ් රජුගේ (King George V) රාජකීය ලාංජනය සහිත තැපැල් පෙට්ටියක් දෙසට පැමිණෙන අයුරු පෙන්නුම් කෙරේ. එහි වටිනාකම පවුම් 2.25කි.

මෙම නිර්මාණය සිදුකරන ලද්දේ ඇන්ඩෘ ඩේවිඩ්සන් (Andrew Davidson) විසිනි. ඔහු මුද්දර සැලසුම් ශිල්පියකු ලෙසින් දිගු කලක සිට බ්‍රිතාන්‍ය තැපැල් සේවය සමඟ එක්ව කටයුතු කරන ප්‍රතිභාපුර්ණ නිර්මාණකරුවෙකි.

තේමාව වඩාත් ඔප්නැවෙන පරිදි, වර්ණ සංයෝජනය සහ සංකේත මඟින් තවදුරටත් කියැවිය හැකි නිර්මාණ බිහිකිරීම සඳහා මුද්දර නිර්මාණකරු සහ තැපැල් සේවය අතර අනොන්‍ය අවබෝධය ඉතා වැදගත්වේ. බ්‍රිතාන්‍ය තැපැල් සේවය සිය නත්තල් මුද්දර 'තවත් එක් මුද්දර නිකුතුවක්' බවට පත් නොකර, තැපෑලේ සහ නත්තලේ ගැලපුම වඩාත් හොඳින් පෙන්වාදීම සඳහා ගනු ලැබූ මේ උත්සාහය ඉතා ප්‍රශංසනීය වේ.

මෙවර අපගේ නත්තල් පැතුමද එවන් දුරදකිනා තැපැල් සේවාවකි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com