04
December
2021
තෙල්දෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ නගරයකි. දුම්බර මිටියාවතේ ඉතා සශ්‍රීක භූමි භාගයක පිහිටා තිබූ මෙම නගරය, 1982 ඇරඹි වික්ටෝරියා ව්‍යාපාර ජලාශයේ මහා ජල කඳට යටව අවසන්ය. එහි විසූ ජනතාව මහවැලි B, C හා H කලාප වල නැවත පදිංචි කරනු ලැබිණි. තෙල්දෙණිය නගරය වෙනුවට දිගන, කුණ්ඩසාලේ හා කරල්ලියද්ද යන නව නගර වික්ටෝරියා ව්‍යාපෘතිය යටතේ ඉඳි කරන ලදී. තෙල්දෙණියේ පෙර පැවති රාජ්‍ය ආයතන හා පාලනය සහිතව කරල්ලියද්ද නව නගරය වික්ටෝරියා ජලාශය ඉස්මත්තේ ඉදිකර තිබේ. තෙල්දෙණිය යනු හුදෙක් මනඃකල්පිත නාමයක් වුවද, අද වන විට එම නාමය මහවැලි ජනපදයන් තුලත්, ජලාශය ඉස්මත්තේ ඇති පෙර පැවති නගරය ආශ්‍රිතව තිබූ ගම්මාන හැඳිවීමටත් භාවිතා වනු දැකිය හැක. ජලාශයේ ජල මට්ටම පහළ බසින කාලයට පැරණි නගරයේ නටඹුන් අදටත් ඉස්මතුවන්නේය.
තෙල්දෙණිය මතකය අවදි වුයේ Collectors Club - Ceylon STAMPS - සිලෝන් මුද්දර ෆේස්බුක් පිටුවෙන් Duminda Amila සහෝදරයා විසින් පලකරන ලද තෙල්දෙණිය තැපැල් මුද්‍රාව සහිත බණ්ඩාරනායක මහතාගේ මුද්දරය හේතුවෙනි. මුද්දර විශේෂඥයන් එහි ඇති සුවිශේෂී බව පිළිබඳව මත පළකිරීමත් සමඟින් මෙහි තැපැල් මුද්‍රාව ගැන වැඩි අවදානයක් යොමුවිය. තෙල්දෙණිය පැරණි තැපැල් කාර්යාලය මේ වනවිට මහවැලි ඉතිහාසයේ කොටසක් වන බැවින්, පැරණි මතකයන් අලුත් කිරීමට මෙය කදිම ප්‍රස්තුතයක් විය.
අදාල මුද්දරය නිකුත් කල 1963 සැප්තැම්බර් 26 දිනයේදීම, මහනුවර තෙල්දෙණිය තැපැල් කාර්යාලයෙන් එය මිලදී ගැනීමට ඇති හැකියාව වර්තමානයේදී වුව අපව පුදුමයට පත්කරයි. නිකුතුව සිදුකල දිනයේදීම, මහනුවර, තෙල්දෙණිය තැපැල් කාර්යාලයෙන් අදාල මුද්දරය මිලදී ගැනීමට හැකිව තිබීම කෙතරම් සතුටුදායක කරුණක්ද? බොහෝ විටෙක මෙන් මෙම අතීතාවර්ජනය අපව සතුටට පත් කලද, මෙම පහසුව වර්තමානයේදී නම් නැත.
ස්විස්ටර්ලන්තයේ "courvoisier" මුද්‍රණ සමාගම වෙතින් මුද්‍රණය කරගෙන ලංකාවට ගෙනවිත් නියමිත දිනයයට පෙර අදාල තැපැල් කාර්යාල වලට බෙදාදීම ගැන වර්තමානයේදී අප බැලිය යුත්තේ කෙලෙසකද? ලංකාවේ පැවති තැපැල් සේවයේ විධිමත්බව, එහි සිටි බලධාරීන්ගේ කාර්යක්ෂමතාවය, මුද්දරයට ඇති ගරුත්වය සහ මුද්දර එකතුකරන්නාට ලබාදෙන ප්‍රමුඛතාව මේ නිදසුන අපට මොනවට පසක් කරයි.
වික්ටෝරිය ව්‍යාපාරයේ සමාරම්භය සනිටුහන් කරමින් 1985 අප්‍රේල් 12 දින නව සමරු මුද්දරයක් නිකුත් විය. ඊට සමගාමීව වික්ටෝරියා වේල්ලේ සිතුවමක් සහිත තැපැල් පතක් ගරු ගාමිණී දිසානායක මහතාගේ සටහනක් සහිතව නිකුත් වී ඇති බව අප දැනුවත් වුයේ විතාන සමීර (යසන්ත) - (#Withana Sameera -Yasantha) සොහොයුරාගේ ෆේස්බුක් පිටුවෙනි. "අපහසුයැයි සිතු දේ අපි පහසුවෙන් ඉටු කලෙමු. කළ නොහැකියි කී දේ ඉටුකිරීමට මදක් කල් ගත්තා පමණි." යනුවෙන් එහි සඳහන් කර තිබේ. මහවැලි ඉතිහාසය පිළිබඳව මුද්දරයෙන් විමසන අපට මේ තැපැල්පත සුවිශේෂී මූලාශ්‍රයක් වන අතර, තැපැල්පත සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කර ඇති අයුරු ප්‍රශංසනීයය.ඉඳුනිල් මනෝහර (#Indunil Manohara) මහතා විසින් Collectors Club - Ceylon STAMPS ෆේස්බුක් පිටුවට 2021 නොවැම්බර් 28 දින යොමු කරන ලද තෙල්දෙණිය තැපැල් මුද්‍රාව සහිත සම්පුර්ණ කවර අපට අලුත් වටයකින් තෙල්දෙණිය පිලිබඳ කතාව දිඟු කිරීමට ඉවහල් විය.
මුද්දර එකතු කිරීමේ විනෝදයේදී ලිපි කවර වලින් මුද්දර ගලවා ගැනීම පිළිබඳව සාකච්ජා කෙරේ. මෙවැනි ඓතිහාසික තැපැල් මුද්‍රාවක් සහිත මුද්දරයක් එහි කවරය සමඟ ඇති වටිනාකම ඉතා ඉහලය. මුල්දින කවරය, සිහිවටන පත්‍රිකාව වැනි සම්ප්‍රදායික එකතු කිරීමේ අයිතම පමණක් නොව, තැපැල්පත්, තැපැල් සලකුණු යනාදිය එකතුවක අගය වැඩිකරන අතර, ඒවා ඓතිහාසික මූලාශ්‍ර බවට පත්වේ.
විවිධත්වයක් සහිත එකතුවක් යනු අගනා කියවීමකි. මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ සංවර්ධනය උදෙසා මුද්දර සාහිත්‍යය සහ පර්යේෂණ සුවිසල් කාර්යභාරයක් ඉටුකරයි. සමාජ මාධ්‍ය වේදිකාවෙන් මෙවැනි අගනා තොරතුරු ප්‍රචලිතවීම සහ ඒ ගැන විමසිලිවත්වීම ඉතා වැදගත් කරුණකි. විවිධත්වයේ විචිත්‍රත්වය අපට පසක් කරදෙන තෙල්දෙණිය තැපැල් මුද්‍රාව මෙරට සැබෑ තැපැල් ඉතිහාසයේ කතන්දරයයි. මෙවැනි අගනා සිහිවටනයක් එහි ඇති අධ්‍යයන වටිනාකම සලකා අප වෙත වෙත තිළිණ කල දුමින්ද අමිල (#Duminda Amila) සොයුරාට ස්තුතිවන්ත වෙමින් මේ සටහන් නිමාකරන්නේ පර්යේෂණ වර්තාවක උපුටනක් සමඟිනි.
"තැපැල් මුද්දර මත ප්‍රකාශ කරන පණිවිඩ පෙළ, අංක සහ රූපවල එකතුවේ ප්‍රතිඵලයකි. විවිධ ආකාරවලින් පෙළ සහ රූපය ඒකාබද්ධ කිරීම පුළුල් පරාසයක අර්ථයන් ඇති කළ හැකිය. එම අර්ථයන් රූපයක් සමඟ ඒකාබද්ධ වූ පසු භාවිතා කරන පෙළ ලබා ගන්නා කාර්යයන් මත රඳා පවතී.(The messages conveyed on postage stamps are the result of the combination of text, numbers and images. To combine text and image in different ways may result in a wide range of meanings. Those meanings could depend on the functions that the text used will acquire once combined with an image.) - The design of the Spanish Postage Stamp under Franco, 1936-1975. The National iconographic Scheme.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com