09
October
2021
එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සෑම වසරකම ඔක්තෝබර් 09 වැනිදා ලෝක තැපැල් දිනය (World Post Day) වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ලොව සෑම රටක්ම පාහේ ලෝක තැපැල් දිනය උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන අතර ශ්‍රී ලංකාවේ මෙවර සමරනු ලබන්නේ එහි 147 වැනි සැමරුමයි.
ජාත්‍යන්තර තැපැල් කටයුතු ව්‍යාප්තවීමත් සමඟින්, පොදුවේ පිළිගනු ලබන එකඟතාවයන් නීතිරීති වල අවශ්‍යතාවය මතුවීම නිසා, ජාත්‍යන්තරව පිළිගත හැකි සම්මුතීන් වලට එළඹීමේ අවශ්‍යතාවය මතුවිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෝස්ට් මාස්ටර් ජනරාල් ධූරය හෙබවූ මොන්ටිගෝමරි බ්ලෙයාර් (Montgomery Blair) මහතාගේ මැදිහත්වීමෙන්, වසර 1863 මැයි 11 වැනිදා ඇමරිකාව සහ යුරෝපීය රටවල් 15 ක නියෝජිතයන් ප්‍රංශයේ පැරිස් නුවරට රැස් වී ජාත්‍යන්තර තැපැල් කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය එකඟතාවයන් සඳහා පොදු නීති මාලාවක් ඇති කරගනු ලැබිණි. මෙම පසුබිම තුළ වඩාත් ප්‍රායෝගිකව සහ පුළුල්ව තැපැල් කටයුතු ජාත්‍යන්තරකරණය සඳහා අදහසක් උතුරු ජර්මානු තැපැල් සේවයේ නිලධාරියෙකුව සිටි හෙන්රිච් වොන් ස්ටෙෆාන් (Heinrich von Stephan) විසින්ද ඉදිරිපත් කළේය. ස්විස්ටර්ලන්තයේ බර්න් (Bern) නගරයේදී රටවල් 22ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 1874 සැප්තැම්බර් 15 වැනිදා ඇරඹි සමුළුවේ දී ගනු ලබන තීරණයකට අනුව, ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ජෙනරල් පෝස්ට් යූනියන් (General Postal Union) නමින් නව සංවිධානයක් ආරම්භ කරන ලදී. වර්ෂ 1878 දී මෙම සංවිධානයේ නාමය විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට පරිවර්තනය විය. වසර 1969 දී ටෝකියෝ නගරයේ පැවැති ලෝක සමුළුවේ දි බර්න් ගිවිසුම අත්සන් කළ ඔක්තෝබර් 09 වැනිදා "විශ්ව තැපැල් දිනය" වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
විශ්ව තැපැල් සංගමයේ දෙවරක් සමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාස ගත වී තිබේ. වසර 1877 අප්‍රේල් 01 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් සාමාජිකත්වය හිමි කර ගත් ශ්‍රී ලංකාව (එවකට සිලෝන්), වසර 1949 ජුලි 13 වැනිදා නිදහස් රාජ්‍යයක් වශයෙන් නැවතත් එහි සමාජිකත්වය හිමි කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය සහ මුද්දර ඉතිහාසය ලෝක තැපැල් ඉතිහාසය තුල සුවිශේෂී සලකුණු සනිටුහන් කර තිබේ. ලන්දේසීන් විසින් වසර 1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත් වල තැපැල් සේවාව පවත්වාගෙන ගිය අතර, වසර 1798 දී ෆෙඩ්රික් නොර්ත් (Lord Frederick North) ආණ්ඩුකාරවරයා ලංකාවේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව, කොළඹ කොටුවේ ප්‍රථම තැපැල් කාර්යාලය පිහිටුවමින් තැපෑලට ශක්තිමත් පදනමක් ලබා දුනි. මෙරට මුද්දර ඉතිහාසය සමාරම්භ වන්නේ වසර 1840 දී ය. එබැවින්, මෙරට මුද්දර ඉතිහාසය වසර 181 ක් පැරණි අතර, මෙරට තැපැල් සේවයේ ඉතිහාසය වසර 223 කට ආසන්නය.
තැපැල් සේවයත්, මුද්දරයත් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. තැපෑලට මුද්දරයත්, මුද්දරයට තැපෑලත් ගහට පොත්ත මෙනි. තැපැල් සේවයේ ප්‍රගතිය මුද්දරය මඟින් වේගවත් කල අතර, මුද්දරය තැපෑලට පමණක් සීමා නොවී සන්නිවේදන මෙවලමක් සහ ඉගෙනුම් ආධාරකයක් ලෙසින් පැතිකඩ කිහිපයක් පෙන්නුම් කරයි. මුද්දරය, තැපැල් සේවාවේ සන්නිවේදනය සඳහා පමණක් නොව, එය ජාතියේ දෘශ්‍ය අර්ථ සංසරණය, කළමනාකරණය සහ හැඩතල ගැන්වීමේ කේන්ද්‍රීය ආයතනයක් ලෙසද ක්‍රියාත්මක වේ.
කොවිඩ්-19 සමඟ ගෙවුණු පසුගිය දෙවසර කට අසන්න කාලය මුළු ලෝකයටම අලුත් අත්දැකීමකි. එයම ඓතිහාසික කතන්දරයකි.
මෙවර ලෝක තැපැල් දිනයේ තේමාව නවෝත්පාදනය තුලින් ප්‍රතිසාධනය (Innovate to recover) යන්නයි. පවතින නව සාමාන්‍යකරණය යටතේ, අලුත් අලුත් කතන්දර කියා දිය යුතු බව ලෝක තැපැල් සංවිධානය අපට කියාදෙයි.
මුද්දරය, ලෝකයම එක යායට කියවන තැනයි. මුද්දර වල ඇති පණිවිඩ වලින් එවකට කීමට තිබුණු වටිනාම කතාව කියැවේ (The messages on the stamps were the most valuable story to tell at the time). සැබවින්ම, මුද්දරය යනු කියන්නට තිබුණු සහ කියන්න තිබෙන හොඳම කතන්දරයයි.
ඔබත් මේ අපූර්ව කියැවීම සමඟ එක්වන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com