09
May
2020
මුද්දර මුලාශ්‍ර ඇසුරින් සම්බුදු තෙමඟුල දින වකවානු සහිතව ...
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකල ක්ලේශ්‍යන් ප‍්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය, ශ්‍රේෂ්ඨතම, අනුස්මරණීය පුණ්‍යෝත්සව දිනයයි. කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා දරුණු වසංගත තත්වය පදනම් කොටගෙන හුදෙක් තම තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා වෙමින්, සමාජ දුරස්ථ භාවය සහිතව සමරනු ලැබූ මෙවර වෙසක් පුණ්‍යෝත්සවය, මෙරට වෙසක් පුරණයට තවත් අමතක නොවන අත්දැකීමක් එකතු කළේය.
අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුලේ දින සටහන්, තැපැල් මුද්දර ඇසුරින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙන් වසර 2600 ක් ගතවෙන තැන යෙදුනු 1976 (මැයි -ජුනි) වෙසක් නිමිත්තෙන් මැයි 7 වන දින සුවිශේෂී මුද්දර 6 ක් නිකුත් කරන ලදී. මාතලේ දිස්ත්‍රික්කයට අයත් වහකෝට්ටේ පිහිටි දඹෑව රාජමහා විහාරයේ බිතු සිතුවම් ඇසුරින් නිර්මිත මෙම මුද්දර, ලක්දිව වෙසක් මුද්දර ඉතිහාසයේ අගනා මඟ සලකුණකි. මධ්‍යකාලීන නුවර යුගයට අයත් මෙම අගනා සිතුවම් කිර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ (1748-1782)දී කරන ලද බව සඳහන්ය. මෙම මුද්දර මුලාශ්‍රය පදනම් කරගෙන 2020 සමරන ලද්දේ සිදුහත් කුමරෝප්පත්තියේ 2644 වන වෙසක් උළෙලයි.
තථාගතයන් වන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයට නැතහොත් බුද්ධත්වයට පත්වී වසර 2600 ක් ගතවීම, වසර 2011 වෙසක් පොහොයට සමගාමීව සමරන ලදී. ශ්‍රී සම්බුද්ධත්ව වෙසක් මංගල්‍යය නිමිතිකොට ගෙන 2011 අප්‍රේල් 29 දින සහ 2011 මැයි 14 දිනයන්හී මුද්දර කාණ්ඩ 2ක් නිකුත් කර තිබේ. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පුර්ණය නිමිත්තෙන්ද නව සමරු මුද්දරයක් 2012 මැයි 3 දා නිකුත් කළේය. මෙම මුද්දර මුලාශ්‍රය පදනම් කරගෙන, මෙවර සමරන ලද්දේ 2609 වැනි ශ්‍රී සම්බුද්ධත්වයයි.
සමස්ථ ලෝකයම එකම බුද්ධ මංගල්‍යකින් ඇළලී ගිය වෙසක් පොහොය දිනක් 1956 දී උදාවිය. එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් ගතවන බුද්ධ ජයන්ති වෙසක් සැමරුමයි. මේ සඳහා විශේෂිතව ප්‍රථම වරට ආධාර මුද්දර යුගලක් එම වසරේ මැයි 10 දින නිකුත් කරන ලදී. 2006 වසරේදී 2550 වන බුද්ධ ජයන්තිය සමරන ලදී. මේ අරභයාද මුද්දර ඉතිහාසයේ නොමැකෙන සටහනක් රටට දායාද විය. එම වසරේ මැයි 5 දින ප්‍රථම වරට මුද්දර 50 ක සැලසුමක් රටටත්,ලෝකයත් උරුම විය. මෙම මුද්දර මුලාශ්‍රය සැලකීමේදී, මෙවර සමරන ලැබුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2564 ක් ගතවන වෙසක් මංගල්‍යයයි. බුද්ධ වර්ෂ ගණනය කරනු ලබන්නේ සම්බුද්ධ පරිනිර්වාණයේ සිට බැවින්, මෙම වසර ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ලෙස සැලකේ.
සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මෙන විට ඔහුගේ වයස අවුරුදු 29 කි .සිදුහත් තවුසන් දුෂ්කරක් ක්‍රියා කල සමය අවුරුදු 6 කි. මහා පරිනිබ්‍රාණ සූත්‍රයට අනුව, 80 වැනි වියේදී බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළහ.
යථෝක්ත කරුණු අනුව, අප ස්වයංනිරෝධනයට ලක්වූ මෙවර 2020 වෙසක් පොහොය දින උළෙල, බුද්ධෝත්පත්තියෙන් 2644 වසරද, ශ්‍රී සම්බුද්ධත්වයෙන් 2609 වන වසරද, බුද්ධ පරිනිර්වාණයෙන් 2564 වසරද ලෙස සැලකේ.
මුද්දර විශේෂ අත්දැකීම් නිර්මාණය කරයි. එදෙස අලුත් ඇසකින් බලන්න, වෙනස් විධියකට පෙනේවි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com