kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


07
May
2020

ඇඳිරි නීතියේ අඳුර දුරලන - වෙසක් මුද්දරයේ සහන් එළිය

ඇඳිරි නීතියේ අඳුර දුරලන - වෙසක් මුද්දරයේ සහන් එළිය 

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාති - නිබ්බානං පරමං සුඛං
                        (ධම්ම පදය - සුඛ වග්ග)
උසස්ම ලාභය ලෙඩ නැතිකම යි. උසස් ම ධනය සතුට යි. උසස්ම නෑයා විශ්වාසය යි. උසස් ම සුවය නිවන යි. 
මෙම ගාථාව නිරෝගීකමෙන් පටන් ගෙන අප  නිවන වෙත යොමු කරන්නා සේ ය.  නිවන් අවබෝධ කර ගන්නට නිරෝීගිකම කොතරම් පිටුබල වන්නේදැයි මින් ගම්‍ය වේ. 

කායික, මානසික රෝගයෝ දෙදෙනෙකි. මෙම රෝගවලින්  අවුරුද්දක්, අවුරුදු කිහිපයක්, අඩ සියවසක් හෝ ශතවර්ෂයක් පීඩා නොවිඳින සත්‍වයෙක්  (මිනිසෙක්)  සොයාගත නොහැකි බව බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ. චතුක්ක නිපාතයේ. රෝග සුත්‍රයේ අනුදැන වදරා ඇත. 
ලොව පහළවූ ශ්‍රේෂ්ඨ නායකයන් අතුරෙන් අප තථාගත බුදුපියාණන් වහන්සේ උසස්ම ඝනයේ  මානසික වෛද්‍යවරයාණෝය. වෙදවරු කායිකව වෙදකම් කරන අතර, සිත්වල හටගත් ලෙඩ රෝගවලට නිවැරැදිම  විසඳුම වනුයේ  බුදුන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි.

" ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං" යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී  බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම නිමිත්තෙන් නව සමරු මුද්දර තුනක් සහ සිහිවටන පත්‍රිකාවක් 2020 මැයි 6 වන දින නිකුත් කර ඇත.  මිනිසාගේ කායික සහ මානසික රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන මෙම  සමරු මුද්දරවල වටිනාකම් පිළිවෙලින් රු.10.00, රු.15.00 සහ රු. 45.00 වේ. වෙසක් මුද්දර ත්‍රිත්වය සහ සිහිවටන පත්‍රිකාව ප්‍රවීන මුද්දර නිර්මාණ ශිල්පී පුලස්ති එදිරිවීර මහතා විසින් නිර්මාණය කර ඇත.  

මිට සමගාමිව 2564 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම‍ රාජ මහා විහාරයේ බිතු සිතුවමක් නිරූපනය වන රු.15.00 ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක්ද තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කර ඇත. මෙම මුද්දරය තරුණ නිර්මාණකරුවකු වන ඉසුරු චතුරංග  මහතා  විසින්  නිර්මාණය කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරය, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයකි. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් ආරම්භ වී ඇති වීදියගොඩ සඟ පරපුර, මේ වන විට විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී ක්‍රියාත්මක වන විහාරස්ථාන ගණන සියයකට ආසන්න ය. ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරය ඉන් එකකි.

මෙම විහාරස්ථානයේ බිතු සිතුවමක සිත්තම් කර ඇති තුලාබර දානය මෙම මුද්දරයට පාදක වී තිබේ. වර්ෂ 1055 දී රාජ්‍යත්වයට පත් පළමු වන විජයබාහු රජතුමා විසින් ආරම්භ කල බව පැවසෙන තුලාබර දානය අඹගමුව සෙල්ලිපිය ආදී මූලාශ්රවල සදහන් වන, දිඟු ඉතිහාසයක් සහිත ඉතා දුර්ලභ පිංකමකි. එය ගැබිනි මාතාවන්ට කළ දානමය පුන්‍යකර්මයක් ලෙස සැලකේ. එදා රජු විසින් රජතුමාගේ බරට සරිලන බරින් යුත් පෝෂණ මල්ලක් ගැබිනි මාතාවන්ට පිරිනැමු බවක් එහි සඳහන් වේ. පසු කලෙක එම දානමය පින්කම අදාළ ගැබිනි මාතාවගේ බරට සමාන ලෙස වෙනස්වී රජවරුන් විසින් දීර්ඝ කාලයක් කරගෙන ගොස් තිබූ බවටත් වාර්තා වේ. රටට  සෞභාග්‍යය හා සශ්‍රිකත්වය අත්වේවායි ප්‍රාර්ථනාවෙන් රජ දවස මෙවන් දානමය පිංකම් සිදු කළ බව පැවසේ. 
මෙම මුද්දර නිකුතුව  සැලසුම් කර තිබුණේ රාජ්‍ය වෙසක් උත්සවයේ කටයුතු සංවිධානය කල ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරස්ථානයේ වන නමුත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ එම මුද්දර නිකුතුව අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුම‍ාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි මස 06 වැනි දින අරලියගහ මන්දිරයේදී සිදු කරනා ලදී.

වසංගත සමයේ නිකුත් වන මෙම මුද්දර, බුදුන්ගේ ශ්‍රී සද්ධර්මයේ කාලානුරූපී බව සහ ගෝලීය වශයෙන් ධර්මයේ සරු බව මැනවින් පසක් කරයි. 
පවතින වසංගත වතාවරණය හමුවේ, මෙම  මුද්දර නිකුතුව කොරෝනා වසංගතය මෙරටින් දුරු කිරීමේ ජාතික මෙහෙවරට ආශීර්වාදයක්ම වේවායි කියවන මුද්දර අපගේ පැතුමයි!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com