kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


06
May
2020

කළුවා පැන්සයට සුබ උපන් දිනයක් ! Happy Birthday, Penny Black !

කළුවා පැන්සයට සුබ උපන් දිනයක් ! Happy Birthday, Penny Black !
මුද්දරය බිහි වීමට පෙර සිට තැපෑල ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක වූ බවට ඉතිහාසයේ සාක්ෂි රැසකි. එවකට තැපෑලේ ප්‍රතිලාභ, වරප්‍රසාදලාභීන්ට පමණක් සීමා වුවද; එම සීමාවන් බිඳ වැටෙමින් ක්‍රමිකව පොදු ජනතාව අතරට මෙම සේවය ගලා ගියේය. නමුත් ඉහල තැපැල් ගාස්තුව නිසා මෙම සේවය  සීමා සහිත විය. පණිවුඩයේ පිටු ගණන සහ බර, රැගෙන ආ දුර යනාදී සීමාවන් මත තැපැල් ගාස්තුව වෙනස් විය. එවකට ලිපි සඳහා තැපැල් ගාස්තුව බාරගන්නා තැනැත්තන්ගෙන් අය කර ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක විය. තැපැල් ගාස්තුව ඉහළ යන බොහෝ අවස්ථාවලදී අදාළ පණිවුඩයේ හිමිකරුවන් ලිපි බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය. තැපැල් ගාස්තුව ගෙවීම සඳහා මුදල් නොමැති බව දන්වමින් ලිපි බාර නොගෙන සිටියේය.  රජයට අනුබද්ධ වූ පෞද්ගලික තැපැල් සේවාවන්වලට මූල්‍යමය වශයෙන් විශාල අලාභහානි සිදු විය. මෙවන් පසුබිමක් යටතේ බ්‍රිතාන්‍යය තැපැල් සේවයේ පැවැති ව්‍යාකූලත්වය එරට රජයට මහත් හිසරදයක් විය. 


පවතින තැපැල් සේවය ප්‍රතිසංවිධාන ගත කළ යුතු යැයි යන අදහස බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කිරීමට මූලික වූයේ ජනහිතකාමියෙකු වූ ශ්‍රීමත් රෝලන්ඞ් හීල් (Sir Roalnd Hill) ය. එතුමන් තැපැල් සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කළේය. මෙම අධ්‍යයනයේදී ලිපි රැගෙන යන දුර නොසලකා එහි බර මත නිශ්චිත ගාස්තුවක් අය කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ මූලික අදහසක් ඉදිරිපත් කර තිබුණි. මීට සමගාමී අදහස් ඉදිරිපත් කළ ජේම්ස් චාම්ස්, හෙන්රි කෝල් රෝන්ස්, කෝසීයර් වැනි සමකාලීනයන්ගේද අදහස්වල සම්මිශ්‍රණය කොට තැපැල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ශ්‍රීමත් රෝලන්ඞ් හීල් ඉදිරිපත් කළේය. Post Office Reform; It's Importance and Practicability (තැපැල් සේවාවේ ප්‍රතිසංස්කරණ; එහි වැදගත්කම සහ ප්‍රායෝගික බව) නම් වූ මෙම යෝජනා පත්‍රය වර්ෂ 1837 ජනවාරි හිදී ප්‍රකාශයට පත් කළ අතර වර්ෂ 1838 දී එය බ්‍රිතාන්‍ය රජයේ අවධානයට යොමු විය. 


පැන්සයක තැපැල් ගාස්තුවට අවුන්ස 1/2 කට නොවැඩි ලිපියක් බ්‍රිතාන්‍යයේ ඕනෑම තැනකට තැපැල් කිරීමට ඇති හැකියාව පිළිබඳ යෝජනාවලිය, එරට පාර්ලිමේන්තුව තුළ පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේය. මෙම යාන්ත්‍රණය මගින් ජනතාව වැඩි වශයෙන් තැපැල් සේවය භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවින්, රජයට ඉහළ ආදායමක් සහ තැපැල් කටයුතු සඳහා වන පිරිවැය අවම කර ගත හැකි බවටත් රෝලන්ඞ් හිල් මහතා කරුණු ඉදිරිපත් කළ ද ඊට එරෙහි වූවෝද සිටියහ. 
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව 6 වන විලියම් රජුගෙන් පසු 1837 රාජ්‍යත්වයට පත් වූ වික්ටෝරියා රැජිණගේ අභිනව පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කළේය. එවකට අග්‍රාමාත්‍ය ධුරන්දර මෙල්බෝන් සාමිවරයා විසින් යෝජනා කරන ලද නව පනත පිළිබඳ පූර්ණ විමර්ශනයකින් අනතුරුව, වර්ෂ 1839 අගෝස්තු 17 වන දින රැජිණගේ අනුමැතිය හිමි විය. යෝජනාවට අදාළව අවශ්‍ය ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් අයවැයට ඉදිරිපත් කොට ක්‍රියාත්මක කිරීම වර්ෂ 1840 ජනවාරි මසට නියම කරන ලදී.  


නව තැපැල් ගාස්තු ක්‍රමය යටතේ වර්ෂ 1839 දෙසැම්බර් 5 වනදා සිට අවුන්ස 1/2 ක් සඳහා පැන්ස 4 ක තැපැල් ගාස්තුවක් යෝජනා කෙරුණ ද ඊට එරෙහිව නැගුණ මහජන විරෝධය හමුවේ වර්ෂ 1840 ජනවාරි 10 වන දින එම ගාස්තුව වෙනුවට පැන්සයේ ගාස්තු ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මේ වන විටත් තැපැල් ගාස්තුව සඳහා භාවිතා කිරීමට යෝජිත ලේබලය මුද්‍රණය කොට නොතිබූ අතර ඒ වෙනුවට බාරගත් ලිපි සඳහා තැපැල් ගාස්තුව ගෙවූ බවට සහතික කරන (Penny Paid) යන පාඨය සහිත මුද්‍රාවකින් මුද්‍රා තබන ලදී. 
ප්‍රකට මූර්ති ශිල්පියෙකු හා කැටයම්කරුවෙකු වූ විලියම් යොන් (William Wyon ) ගේ  අද්විතීය නිර්මාණයක් වූ ගිල්ඩ්හෝල් මෙඩල් (Guildhall Medal )  නම් පදක්කමේ කැටයම් කල මහ රැජිණගේ ශීර්ෂ රුව ප්‍රථම මුද්දරය සඳහා භාවිතා කරන ලදි.  මෙම පදක්කම පෙනි බ්ලැක් තැපැල් මුද්දරය සඳහා නියමිත ආලේඛ්‍ය චිත්‍රයේ පළමු පෙනුමයි.  මෙහි පදක්කම නිමවන ලද්දේ වසර 1837 නොවැම්බර් හිදී සිදු කරන ලද මහ රැජිණගේ මංගල ලන්ඩන් නගර සංචාරය සිහිගැන්වීම වෙනුවෙනි. එය වඩාත් නිර්මාණාත්මකව සැලසුම් කිරීමට භාර දෙනු ලැබුවේ එවකට කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු වූ හෙන්රි කබෝල්ඩ් (Henry Corbould) ටය. චාල්ස් සහ ෆෙඞ්රික් හීත් (Charles &  Frederick Heath) පිය පුතු දෙපළ අතින් රැජිණගේ සිතුවම මුද්‍රණ තහඩුව මත කැටයම් කෙරිණි. ඔවුහු  පරම්පරා තුනක ඉතා දක්ෂ කැටයම්කරුවන්ගෙන් යුත් පවුලකින් පැවත එන්නෝ වුහ.


තැපැල් මුද්දරයේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළේ ලන්ඩනයේ කීර්තිමත් මුද්‍රණ සමාගමක් වූ පාර්කින්ස් බැකන් (Perkins Bacon)  සමාගමයි. බැංකු නෝට්ටු මුද්‍රණ තාක්‍ෂණය සහිත මෙම සමාගම ආරක්ෂිත මුද්‍රණ කටයුතු සඳහා එවකට ප්‍රමුඛයෝය. වසර 1840 ජනවාරි 10 වැනිදා පැන්සයේ නව තැපැල් ගාස්තු ක්‍රමය හඳුන්වා දුන්නද අපේක්ෂිත පරිදි තැපැල් මුද්දරය සහ ලිපි කවර මුද්‍රණ කටයුතු නිමා නොවිණි. සෑම මුද්දරයක් මධ්‍යයේම කුඩා ඔටුන්නක ආකාරයේ දිය සලකුණක් පිහිටුවීම, මුද්දර පත්‍රිකාවල මැලියම් ආලේපනය වැනි කටයුතු වෙනුවෙන් අධික කාලයක් මෙන්ම ශ්‍රමයක්ද වැය විය. 
ප්‍රථම මුද්දර තොගයට මුද්දර 240 බැගින් වූ පත්‍රිකා 286,700ක් මුද්‍රණය කෙරිණි. පත්‍රිකාවක මුද්දර 20 X 12 බැගින් සැලසුම් කෙරුණේ මුද්දර 12 හේ තීරුවක් සිලිමකට අලෙවි කිරීමටයි. පැන්සය බැගින් වූ මුද්දර 240 ක වටිනාකම පවුමකි. මෙම මුද්‍රණ කටයුත්ත මගින් මුද්දර 68,808,000 ක් මුද්‍රණය කරන ලදී.
අවසානයේදී වසර 1840 මැයි 6 වැනිදා බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රථම වරට තැපැල් මුද්දරයක් නිකුත් කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය. පෙනි බ්ලැක් (Penny Black) මුද්දරය එකිනෙක වෙන් කිරීම සිදු කරන ලද්දේ, කතුරින් කැපීමෙනි. මුද්දර එකිනෙක වෙන් කරනා සිදුරු හෙවත් විදමන් (Perforation) භාවිතයට  පැමිණියේ මීට බොහෝ කලකට පසුය. සෑම මුද්දරයකම ඉහළ කෙළවර තරු සලකුණු ද පැවැතුණි. මුද්දරය මත Postage - One Penny (තැපෑල - එක් පැන්සයක් )  යන වදන් පමණක් සටහන් වූ අතර, නිකුත් කරන ලද රටේ නාමය සඳහන් නොවිණි. 


පසුකාලීනව ලොව සෙසු රටවල්ද තැපැල් මුද්දර නිකුත් කිරීමට යාමේදී ඒවා වෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා අදාළ රටේ නාමය සඳහන් කෙරිණ. එහෙත් තවදුරටත් රටේ නාමය සඳහන් නොකරමින් තැපැල් මුද්දර නිකුත් කිරීමේ පූර්ණ බලය බ්‍රිතාන්‍යයට පමණක් හිමිව තිබෙනුයේ, ප්‍රථම තැපැල් මුද්දරය ලොවට දායාද කිරීමේ ගෞරවයට උපහාර වශයෙනි.  
ලෝක ඉතිහාසයේ විවිධ යුග  පසුකර සිය ගමන නොනවත්වා ඉදිරියට ගිය  කළුවා පැන්සය හෙවත් පෙනී බ්ලැක්   ඉතිහාසය වෙනස් කළ අපූර්ව නිර්මාණයකි. 2020 මැයි 6 දිනට  මෙම ලෝකය වෙනස් කල අපූර්ව නිර්මාණය  180 වන ජන්ම දිනය සමරයි. 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com