01
May
2020
නිහඩ මැයි දිනය
ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1886 මැයි 01 වැනි දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයට එක්වූහ. මෙම වැඩවර්ජනයේ මැයි 4 වන දින දී කම්කරුවන් කිහිප දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය. එකී අරගලයේදී කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට ප්‍රංශයේ පැරිස් නුවරදී ෆෙඩ්රික් එංගල්ස් ගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1889දී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1890 මැයි 01 වැනි දා සිට කම්කරු පංති සහයෝගිතා දිනය ලෙස ප්‍රකාශයට පත්කොට මැයි දින සැමරුම් උත්සව පැවැත්වීමට තීරණය කළේය.
ලංකාවේ ප්‍රථම මැයි රැලියට නායකත්වය දුන්නේ මහනුවර සිට කොළඹට සංක්‍රමණය වී, ජාතික, ආගමික සහ සමාජමය මෙහෙවරට දායක වෙමින් සිටී ඒ. ඊ. ගුණසිංහ නමැති තරුණයෙකි. ඔහු ලංකාවේ කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම, ලංකාවේ මැයි දිනයක් පැවැත්වීමේ පුරෝගාමියා ද විය. මහනුවර දී උපත ලද ඔහු ධර්මරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයක් ලබා ගත්තේය. විදුහලේ බොදු පදනම අභිමුව හමුවේ ජාතික නිදහස පිළිබඳ උසස් හැඟීම් මෙන්ම බෞද්ධ පුනර්ජීවනය, අමද්‍යප ව්‍යාපාරය ගැන ද ඔහු සිත තදින් වෙලිනි.
එකල රට පුරා සංචාරය කරමින් දේශන පවත්වමින් ලක්වැස්සන්ගේ නිද්‍රෝපගත හැඟීම් අවදි කරවමින් ජාතියේ නිදහස සහ එය ලබා ගැනීම සඳහා මූලිකව ක්‍රියා කළ අනගාරික ධර්මපාලතුමාගේ විශිෂ්ට ක්‍රියා කලාපය මෙම තරුණයාගේ දිවියේ පරමාදර්ශය බවට පත් වූ අතර, ගුණසිංහයන් අමද්‍යප ව්‍යාපාරයේද ක්‍රියාකාරිකයෙකු බවට පත් විය.
කොළඹ නගරයේ කම්කරු පන්තිය විඳින දුක් ගැහැට ගැන තරුණ ගුණසිංහයන් තුළ පැවතියේ හොඳ අවබෝධයකි. එතුමන් 1922 සැප්තැම්බර් මාසයේදී 'ලංකා කම්කරු සංගමය' නමැති සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ සංවිධානාත්මකව කටයුතු කිරීමේ අදිටනෙනි. කම්කරු බලය පෙන්වීම සඳහා වැඩ වර්ජන රාශියක් මෙහෙයවීමට ඔහු නායකත්වය දුන්නේය. 1923 දී මහා දුම්රිය වැඩ වර්ජනයක් මෙහෙයවූ ඔහු, එම සටන නිමාවීමටත් පෙර පෞද්ගලික හා රජයේ අංශයේ වැඩ වර්ජනයක් සඳහා නායකත්වය දුන්නේය. එය එතෙක් කොළඹ පැවති විශාලම වැඩ වර්ජනය ලෙස ඉතිහාසයට එක්ව ඇත. 1927 ජනවාරි 23 දින එකල කොළඹ ප්‍රධාන ගමනාගමන මාධ්‍යය වූ ට්‍රෑම් රථ සියල්ල වර්ජනයකට යොමු කිරීමට ගුණසිංහ මහතා සමත් විය.
ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය 1926 වර්ෂයේ මැයි 01දා කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එදින පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානය ද තහනම් කර තිබුණි.
ඒ. ඊ. ගුණසිංහයන් කම්කරු නායකයෙකුව සිට දේශපාල
නයට ප්‍රවිෂ්ඨවීමත් සමඟ කම්කරුවන්ට තව තවත් ප්‍රතිලාභ ලබා දීමට ඔහුට හැකිවිය. 1931 දී පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට කම්කරු පක්ෂයෙන් තේරී පත් වූ ඔහු, 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවටත්, 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත් තේරී පත්විය. එමෙන්ම 1943 දී කොළඹ නගරාධිපතිවරයා වූයේ ද ගුණසිංහයන් ය.
1956 දී බලයට පත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු ඇමැතිවරයා වූ ටී. බී. ඉලංගරත්න මහතාගේ පුරෝගාමීත්වයෙන්, එම වසරේ කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රථම වරට නම් කරන ලදී.
ලංකාවේ කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම මැයි දිනයක් පැවැත්වීමේ පුරෝගාමියා ද වූ ඒ. ඊ. ගුණසිංහ මහතා 1891 මැයි දිනයදාම උපත ලැබීමද දෛවෝපගතය. ඒ අනුව අදට යෙදී තිබෙනුයේ ඒ. ඊ. ගුණසිංහයන්ගේ 129 වන ජන්ම දින ගුණ සමරුවයි.
එමෙන්ම මෙවර සමරණු ලබන්නේ 130 වැනි ජාත්‍යන්තර මැයි දිනය වන අතර, එය කොරෝනා වසංගතය හමුවේ ගෝලීයව නිහඩව සමරන මැයි දිනයක් ලෙස ඉතිහාස ගතවනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com