kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


27
April
2020

කොරෝනා මැඩලීමේ මානුෂීය මෙහෙවරට තැපැල් මුද්දරයේ දායකත්වය

කොරෝනා මැඩලීමේ මානුෂීය මෙහෙවරට තැපැල් මුද්දරයේ දායකත්වය

වසංගතයක් ලෙසින් පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ්  - 19 වෛරසයට එරෙහිව සටන් වදිනා විරුවන් දිරි ගැන්වීම සඳහාත්, පොදු දැනුවත් කිරීම සඳහාත් නන් අයුරින් ප්‍රවර්ධන වැඩසටන් ක්‍රියාත්මක වී ඇත. ලොව පුරා තැපැල් බල මුළුද මෙම සටනට අවතීර්ණ වී වසංගතය මැඩලීම  පිළිබඳ ගෝලීය ක්‍රියාකාරකම් සඳහා තම දායකත්වය ලබා දෙමින් පවතී. 
ඉරාන තැපැල් අධිකාරිය ලොව ප්‍රථම වරට කොවිඩ්  -19 ට එරෙහිව සටන් වඳින්නන් ගේ ධෛර්ය්‍ය ඉහළ නැංවීම සහ සියළු දෙනාගේ සේවාවන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබා දීම සඳහා සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. 
තොරතුරු, දැනුම සහ මහජන අරමුදල් රැස් කිරීමේ මෙවළමක් ලෙස තැපැල් මුද්දරය භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ 'කියවන මුද්දර' අපගේ අදහස ගරු ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලදී. එහි පිටපත් ගරු කැබිනට් අමාත්‍ය සහ තැපැල්පතිතුමන් වෙත යොමු කළෙමු. මෙමගින් කොරෝනාවට එරෙහි සටන දිරි ගැන්වීමත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් පුළුල් ජන සහභාගිත්වයක් සහිතව එක් රැස් කර ගැනීමත් අපේක්‍ෂිතය.
ස්විස් ආධාර මුද්දරය 
ස්විස්ටර්ලන්තය 2020 අප්‍රේල් 10 වැනිදා කොරෝනාවට එරෙහි සටන අළුත් වටයකින් අරඹන ලදී. ඔවුන් ප්‍රථම වරට ආධාර / අර්ධ මුද්දරයක් (charity / semi-postal stamp ) මුද්දරයක් නිකුත් කිරීම මඟින් කොරෝනා වසංගතයෙන් පිඩාවට පත් වූවන්ට ආධාර උපකාර ලබාදීම වෙනුවෙන් අරමුදල් රැස් කරනු ලබයි. 
ආධාර මුද්දර /අර්ධ මුද්දර යනු මුද්දරයේ මුහුණතේ සදහන්කර ඇති තැපැල් ගාස්තුවට අතිරේකව සදහන් කර ඇති මුදලද වැයකර මිලදී ගැනීමට අවැසි මුද්දරයි .
කොවිඩ්-19 සහයෝගීතාවය (COVID-19 Solidarity) නමින් හැඳින්වෙන මෙම මුද්දරයේ මූණත වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් 6කි. එනමුදු මෙහි වටිනාකම මුද්දරයේ නිරූපනය කරනු ලබන්නේ ස්විස් ෆ්‍රෑන්ක් ශත වලිනි (ස්විස් ෆ්‍රෑන්ක් ශත  100 + 500).  මෙහි තැපැල් ගාස්තුව ෆ්‍රෑන්ක් 1ක් වන අතර, අධාරය ෆ්‍රෑන්ක් 5කි. මෙම මුද්දර 10ක් සහිත පත්‍රිකා ලෙසින් අලෙවි කරන අතර එහි මුළු වටිනාකම ෆ්‍රෑන්ක් 60 උවද අයකරගනු ලබන්නේ ෆ්‍රෑන්ක් 50 කි. මෙමඟින් එක් රැස් කරනා අරමුදල   ස්විස්  රතු කුරුස සේවය (Swiss Red Cross) හා ස්විස්  සහයෝගීතාවය  (Swiss Solidarity) අතර  සමානව බෙදා හැරීමට කටයුතු සැළසුම් කර ඇත.
වර්ෂ 1946දී අරඹන ලද ස්විස් සහයෝගිතාවය යනු අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකි. එහි නිළ වර්තා අනුව ස්විස්ටර්ලන්තයේ සහ විදේශයන්හි ව්‍යසනයන් හා අර්බුදයන්ගෙන් පීඩාවට පත්වූවන්ගේ අවශ්‍යතා සපුරාලන මානුෂීය සහ සමාජ ව්‍යපෘති සඳහා ආධාර කිරීමට මෙම අරමුදල් භාවිතා කරන බව පෙන්වාදී තිබේ. මෙම ආධාර මුද්දර පත්‍රිකාව මිලදී ගන්නා ගැනුමිකරු ස්විස්  රතු කුරුස සේවයට සහ ස්විස්  සහයෝගීතාවයට ෆ්‍රෑන්ක් 50 ලබාදෙන අතර ස්විස් තැපැල් අධිකාරිය ඔවුනට මුද්දර 10ක් ලබාදෙන බව එහි වැඩිදුරත් සඳහන්ය.
මේ සටහන තබන වෙලාව වනවිට කොවිඩ්-19 සහයෝගීතා අරමුදලට මේ වනවිට එකතු වී ඇති  මුදල ෆ්‍රෑන්ක් 973,150 කි. එය ලංකාවේ මුදලින් රුපියල් 192,518,264.00 කට ආසන්නය. ඔවුන් විසින් අරමුදලේ වටිනාකම  ස්වයංක්‍රියව  යාවත්කාලින වන පද්ධතියක් මඟින් ඕනෑම කෙනෙකුට බලාගැනීමට ඉඩ සලසා ඇත. 
ස්විස් මුද්දරයේ හෙල්විටියා පුරා වෘත්තය 
යථෝක්ත ආධාර මුද්දරයේ නිකුත් කරන ලද රට ලෙස සටහන්ව තිබෙන්නේ හෙල්විටියා (HELVETIA) ලෙසිනි.
ස්විස්ටර්ලන්තය බහු භාෂිත, බහු සංස්කෘතික රාජ්‍යයක් වන අතර එහි ආරම්භය වර්ෂ 1291 දක්වා ඈතට දිවයයි. ජර්මානු, ප්‍රංශ, ඉතාලි භාෂා බහුලව එහි භාවිතා වේ. මේ එක්  එක් බසින් රට හැදින්වීමේදී පවතින වෙනස් ව්‍යවහාරය  නිසා ඔවුහු පොදු නාමයකට එකඟ වූහ. එම පොදු නාමය 'හෙල්විටියා'යි. එය ස්විස් දේශයට ලතින් බසින් හැඳින්වෙන නමයි.  1848දී හෙල්වෙටික් ජනරජයට උප කොටස් එකතුවී තනි රටක් බවට පත් විය. එම නව රට "කොන්ෆෙඩරේෂියෝ හෙල්වෙටිකා" ලෙස නම් කරන ලදී. ජාත්‍යන්තරව ස්විස් කේතය CH වන අතර එහි අරුත "කොන්ෆෙඩරේෂියෝ හෙල්වෙටිකා" හෝ "හෙල්වෙටිකන් කොන්ෆෙඩරේෂන්" ("Confederatio Helvetica" or the "Helvetican Confederation") යන්නයි. 

ස්විස්ටර්ලන්තය යනු ලොව ඉතා ධනවත් රාජ්‍යකි. එහි ඒක පුද්ගල අදායම 2018 වර්ෂයට අනුව  ඇමරිකානු ඩොලර් 83580කි. එවන් සංවර්ධිත රටක් කොවිඩ්-19 සහයෝගීතා අරමුදලට මහජනතාවගෙන් මුදල් එක්රැස් කිරීම කොතරම් සාධාරණ දැයි කෙනෙකුට හැඟුනද සැබවින්ම එය මෙවැනි ගෝලීය විපතකදී තම තමන්ගේ කුඩා දායකත්‍වය පවා ඉතා වැදගත් යැයි ජනතාවට  ඒත්තු  ගන්වන සමාජ සන්නිවේදන උපක්‍රමයකි. මුද්දරය එම සබදතාවය ශක්තිමත් කරනා මෙවලමයි.  මෙය නූතන මහජන සබදතා සඳහා සාම්ප්‍රදායික මුද්දරයේ භාවිතය  පිළිබඳ කදිම නිදසුනකි.
ඉතා උසස් තාක්‍ෂණයක් ඇසුරු කළද මෙය තැපැල් මුද්දරයේ සජීවී බව ලොවට පහදා දුන් ක්‍රියාමාර්ගය යාවත්කාලීන වීමකි. තැපෑල සහ තැපැල් මුද්දරය පිලිබඳව අප වැනි දියුණු වෙමින් පවතින රටවල පවතින පසුගාමී මතවාදය බැහැර කිරීම සඳහා කදිම දිරිගැන්වීමකි.
කොරෝනා වසංගතය මුද්දරය දෙස අළුත් මානයකින් බැලීමට ඔබට ආරාධනා කරයි. මුද්දරය මුද්දරයක් පමණක් නොවන බව වටහා ගැනීමට මෙය හොඳම කාලයයි. ශ්‍රී ලංකාවත් කොරෝනා වසංගතයට එරෙහි ගෝලීය තැපැල් සටනට  දායකත්වය ලබා දෙනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com