22
April
2020
කොරෝනාවට බිලිවූ දෙවන එලිසබෙත් මහා රැජිනගේ උපන්දිනය..
ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා හෙවත් කොවිඩ් 19 හමුවේ දෙවන එලිසබෙත් රැජිනගේ ඉල්ලීම පරිදි අප්‍රේල් 21 දිනට යෙදී තුබූ ඇයගේ 94 වන උපන්දින සැමරුම මෙවර (2020) බකිංහැම් මාලිගයේදී නොපවත්වන ලදී. සිය උපන්දිනය වෙනුවෙන් පවත්වන ආචාර වෙඩිමුර අහෝසි කිරීමට මහා රැජින මෙවර තීරණය කර තිබේ. එතුමියගේ 68 වසරක රාජ්‍ය පාලනය තුල මෙවන් ඉල්ලීමක් කල ප්‍රථම අවස්ථව ලෙස මෙය ඉතිහාසගත විය.
ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ කාන්තාව ලෙස වාර්ථා පොතට එක්ව සිටින්නීය.
මහ රැජිනගේ ලංකා සංචාර මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාය. මුද්දර මුලාශ්‍ර කරගෙන ඒ ඉතිහාසය මෙසේ කියවමු.
බ්‍රිතාන්‍ය අධිරාජයේ රජු යනු ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනීමක් තිබිණි. සිය යටත්විජිත සියල්ල පාලනය කිරීමේ අධිකාරිය සතු බ්‍රිතාන්‍ය රජු ලෙස කටයුතු කළ හයවැනි ජෝර්ජ් රජු වර්ෂ 1952 පෙබරවාරි 06 වැනි දින මියයාම හේතුවෙන්, එතුමාගේ දියණිය වූ දෙවන එලිසබෙත් රැජින රාජ්‍යත්වයට පත්වූවාය.
මහ රැජිනගේ මෞලි මංගල්‍යය වර්ෂ 1953 ජූනි 02 වැනිදා අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි. ඉක්බිතිව එතුමිය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සංචාරයක් ආරම්භ කලාය. ශ්‍රී ලංකාව ද මෙම සංචාරයේ එක් නැවතුමක් වූ බැවින්, එම රාජකීය සංචාරයේ මතකයන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් අතරට ගැනේ.
මහ බ්‍රිතාන්‍යෙයේ කිරුල පැලදි රාජ්‍ය නායකයෙකු දිගු කලකට පසුව ලංකාවේ සිදු කරනු ලබන මෙම සංචාරය අපට ලබාදුන් ගෞරවයක් වශයෙන් සලකා එය ඉතාමත් උතකර්ශවත් අයුරින් සැමරීමට ලක් රජයද කටයුතු කලේය. වර්ෂ 1954 අප්‍රේල් 10 වෙනිදා 'ගොතික්' නම් නෞකාවෙන් රාජකීයයන් කොළඹට සම්ප්‍රාප්ත විය. එතුමිය පිලිගැනීම සඳහා එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු ජෝන් කොතලාවල, අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි, රැජිනගේ ලංකා සංචාරයේ කටයුතු භාර අමාත්‍යවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් ද විශේෂ ආරාධිතයින් රැසක් ද සහභාගී විය.
අප්‍රේල් 11 වැනිදා රාජකීය යුවල වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් සහ රාජකීය භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි. රාජකීය සංචාරයේ වැදගත්ම සිදුවීම යෙදී තිබුනේ අප්‍රේල් 12 වැනිදාටයි. ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම එදිනට යෙදී තිබුනු අතර එය සිදුවූයේ නිදහස් චතුරශ්‍රයේදී ය. එංගලන්තයේ රැජින ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරයක් විවෘත කිරිම සඳහා පෞද්ගලිකවම පෙනී සිටි මුල්ම අවස්ථාව මෙය විය.
1954 අප්‍රේල් මස 12 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රය සිංහල බෞද්ධ රාජ සභාවක් මෙන් සරසා එහි පාර්ලිමේන්තුව රැස්විය. දෙවැනි එලිසබෙත් මහ රැජන ඔටුනු පැලඳ එම අවස්ථාවට සහභාගීව සිංහාසනාරූඪව සිටි අතර රටේ නායිකාව ලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ රාජාසන දේශනය ද පැවැත්වූවාය. අනතුරුව ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් එලිසබෙත් රැජින මෙතැන් පටන් සිංහල රාජාවලියට ඇතුළත් කරගන්නා බවත්, අපේම ස්වෛරී සිංහල රැජනක් ලෙස පිළිගන්නා බවත් මහ රැජිනට දන්වා සිටියේය. ඉක්බිතිව රජය වෙනුවෙන් ස්තුති කථාව සිදු කිරීම සභානායක, ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් සිදුකරන ලදී.
අප්‍රේල් 15 වැනිදා විශේෂයෙන් සරසන ලද දුම්රියකින් රැජින පොලොන්නරුවේ සංචාරයක නිරත වූවාය. එදින පෙරවරුවේ එතුමිය ඇතුළු රාජකීයයන් ඓතිහාසික සීගිරිය නැරඹීමට පැමිණි අතර සීගිරියේ බටහිර කඳු බෑවුමෙහි වූ මුරගල මුදුනේ සිට ඇය දුරදක්නයක් ආධාරයෙන් බිතු සිතුවම් නිරීක්ෂණය කලාය. මේ අවස්ථාවට පුරාවිද්‍යා ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහභාගි වූ අතර, සීගිරිය පිළිබඳව හා සිතුවම් පිලිබඳව එතුමන්ගේ පැහැදිලි කිරිම රැජින ඉතාමත් සාවධානව අසා සිටි බැව් වාර්ථා වල සඳහන් වේ.
අප්‍රේල් 19 වැනිදා රැජින මහනුවර බලා පිටත් වූවාය. එහිදී ඇයට චාරිත්‍රානුකූලව උපහාර පිදීම සිදු කරනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ භූමියේදීය. ඉක්බිතිව එතුමිය ඓතිහාසික මඟුල් මඩුවේදී නුවර ප්‍රධානීන්ගේ පිළිගැනීමට ලක්විය. දළදා මාලිගාවට පැමිණි එතුමිය ඉතාමත් භක්තිමක්ව දළදා වහන්සේට ගෞරව කළාය. එදින රාත්‍රියේදි එතුමිය වෙනුවෙන් විශේෂිත පෙරහැරක් සංවිධානය කර තිබිණි.
අප්‍රේල් 20 වැනිදා පේරාදෙණිය රාජකීය උද්‍යානයේ 'ගොටුනුග' පැලයක් රෝපණය කර විශ්ව විද්‍යාලයේ විවෘත කිරීමටද සහභාගී වී සවස නැවතත් කොලඹට සැපත් විය. රැජිනගේ 28 වන උපන් දිනය සමරනු ලැබුවේද ලංකා මාතාවගේ ස්නේහෙබර උණුසුම ලබමිනි. සංචාරය අතරතුර යෙදී තුබූ මහා සිකුරාදා දිනයේදී නුවරඑළියේ 'හෝල් ට්‍රිනිටි' දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයකටද සහභාගී වූවාය.
අප්‍රේල් 21 වැනිදා ලංකාවට තවත් විශේෂිත දිනයක් විය. මෙතෙක් ලංකාවේ ආණ්ඩුකාර ධූරය හෙබවු සෝල්බරි සාමිගේ නිල කාලය අවසන් වන බැවින් වර්ෂ 1954 ජූලි 17 වැනිදා සිට නව ආණ්ඩුකාර වශයෙන් සිංහල ජාතිකයෙකු පත් කිරීම එම විශේෂත්වයයි. ඒ ඔලිවර් ගුණතිලක මැතිඳුන්ය. එලිසබෙත් රැජිනගේ දින දොළහක ලංකා සංචාරය නිමවා එදින රාත්‍රියේදී ලංකාවෙන් නික්ම ගියාය.
දෙවන එලිසබෙත් මහ රැජන 1972 මැයි මස 22 වැනි දින ජනරජ ව්‍යවස්ථාව ගෙන එනතුරු මෙරට සිටි අවසන් රැජිනයි.
1971 දී ජනතා විමුක්ති පෙරමුණ පවතින රාජාණ්ඩුව පෙරලා ජනරජයක් පිහිටුවීම සඳහා සන්නද්ධ කුමන්ත්‍රණයක් දියත් කලද එය අසාර්ථක විය. ඊට එරෙහිව මහා රැජිනගේ රාජාණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන්ට නඩු පවරා සිරගතකරන ලදී.
1972 මැයි 21 දින දක්වා දෙවන එළිසබෙත් මහා රැජින ලංකා රාජධානියේ රජකම හෙබැවීය. 1972 මැයි 22 දින සිරිමාවෝ බණ්ඩාරනායක රජය ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කල අතර, රැජිනගේ ජනරජයේ නාමමාත්‍රික නායකත්වය ජනාධිපති නමින් අළුතින් ඇති කල තනතුරට පත්වූ විලියම් ගොපල්ලව මැතිදුන් වෙත පවරන ලදී. එතුමන් ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයාය.
1981 ඔක්තෝබර් 21 සිට 25 දක්වා දෙවන එලිසබෙත් රැජිනගේ ලංකාවේ දෙවන සංචාරය සිදුවිය. සර්වජන චන්ද බලයේ 50 වන සංවත්සර සැමරුමේ (1931 - 1981) විශේෂ උත්සවයට එතුමිය සහභාගී විය. එවකට ශ්‍රී ලංකාවේ නායකත්වය හොබවන ලද්දේ එතුමියගේ ප්‍රථම ලංකා ගමනේ ක්‍රියාකාරී වගකීම දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතාය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com