kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


09
April
2021

ඕස්ට්‍රේලියානු රොටරි සමාජයේ ශත සංවත්සර සැමරුම, ටයිපෝග්‍රැෆි සහ කැලිග්‍රැෆි මුද්දර සිතුවම්

ඕස්ට්‍රේලියානු රොටරි සමාජයේ  ශත සංවත්සර සැමරුම, ටයිපෝග්‍රැෆි සහ කැලිග්‍රැෆි මුද්දර සිතුවම්

ඕස්ට්‍රේලියානු රොටරි  සමාජයේ ශත සංවත්සරය නිමිත්තෙන්  2021 අප්‍රේල් 06 දින නව සමරු මුද්දරයක් එළි දක්වන ලදී. එය  සිතුවමකින් සරසා නොතිබුණු අතර, දෘශ්‍යමය වශයෙන් ප්‍රේක්ෂකයාට  ආකර්ෂණය වන අයුරින්, අකුරු සහ පෙළ පෙළගැස්වීම මගින් සැලසුම අලංකෘත කර තිබුණි. 
මෙම සමරු මුද්දර සැලසුම ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජයේ  දර්ශන හා අභිප්‍රේරණයන් සන්නිවේදනය කිරීම සඳහා  මුද්‍රණාක්ෂර විද්‍යා ප්‍රවේශයක් යොදා ගෙන, අකුරු හරඹයකින්  ඕස්ට්‍රේලියාවේ සිතියමක් ලෙස සකස් කර ඇත.
අකුරු  වල ශෛලිය, පෙනුම සහ ව්‍යුහය ගැලපීම මගින්  හැඟීම් ඉස්මතු කර නිශ්චිත පණිවිඩ යැවීම අරමුණු කරමින් සිදු කෙරෙන මෙම කලාව, මුද්‍රණාක්ෂර විද්‍යාව (ඉංග්‍රීසි බසින් ටයිපෝග්‍රැෆි - Typography) ලෙසින් හැදින්වේ.  

ඉංග්‍රීසි බසින් කැලිග්‍රැෆි (Calligraphy) යනු කලාත්මක  අත් අකුරු කලාවයි. නැතිනම්  ලිවීමට අදාළ දෘශ්‍ය කලාවයි. එය අකුරුවලට අලුත් අරුත් ගෙන දෙන කලාවකි. මංගල ආරාධනා සහ උත්සව ආරාධනා, අකුරු නිර්මාණය සහ මුද්‍රණ ශිල්පය, මුල් අතින් ලියන ලද ලාංඡනය නිර්මාණය, ආගමික කලාව, නිවේදන, ග්‍රැෆික් නිර්මාණය  සහ අනුස්මරණ ලියකියවිලි වලද  උප්පැන්න හා මරණ සහතික, සිතියම් සහ වෙනත් ලිඛිත කෘති සඳහාද  මේ කලාව භාවිතා කරයි. තැපැල් මුද්දරය සදහා මේ ආකෘතිය යොදාගත් ආසන්නතම  සාක්ෂිය ස්විස්ටර්ලන්තය වීසින් 2019 අගෝස්තු 29 දින නිකුත් කරන ලද කැලිග්‍රැෆි (Calligraphy) මුද්දරයයි. මිනිසුන් ලිවීමට පෙළඹවීම අරමුණු කරගෙන භාෂා පහකින් “වටිනා පණිවිඩ” යන වදන මෙම මුද්දරයෙහි අන්තර්ගතය.
මුද්දර නිර්මාණය සදහා මෙවැනි අපූර්ව උපක්‍රම භාවිතය, මුද්දර එකතු කිරීමේ විනෝදයට තවත්  උත්තේජනයක් ලබාදෙයි. මුද්දර වලට අපූර්ව හැඩයක් ලබාදෙයි. එය මුද්දර එකතු කිරීම සහ මුද්දර කියවීම විනෝදජනක කරමින් නිර්මාණශීලී මනස් පුබුදුවාලයි.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසය පිරික්සිමේදී ද  මේ අයුරින් හැඩගැන්වූ  සමරු මුද්දර දක්නට ලැබේ. මක්කම සිට මෙදීනා නුවරට නබිතුමාගේ සංක්‍රමණයේ 1500 වැනි සංවත්සරය (1500th Anniversary of Hegira) සිහිගන්වනු වස් 1979 නොවැම්බර් 29 දින නිකුත් කරන ලද මුද්දර මේ අතුරින් කැපී පෙනෙයි. මෙම  අක්ෂර කලාව ඉස්ලාම් දහම සමඟ සමීපව බැදී ඇති අතර, ඉස්ලාමීය ග්‍රන්ථවල  පින්තූර සිමා කර ඇති බැවින්, පුරාණ ලෝකයේ කලාකරුවන් බොහෝ විට මෙම තහනම මඟ හරවා ගනුයේ  අක්ෂර සහ රේඛා නිර්මාණාත්මකව හැඩගැස්විමෙනි.

මුද්දරය තමන්ගේම ආකාරයකින් තොරතුරු විදහා දක්වන සහ තොරතුරු සඳහා පටිගත කිරීමේ මාධ්‍යයක් ලෙස සේවය කරයි. ඉතිහාසය කියවීම සඳහා  තැපැල් මුද්දරය මුලාශ්‍රයක් ලෙස සැලකිය යුත්තේ එබැවිනි. යථෝක්ත කියවීමේදී අපට ඔස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය වැනි සංවර්ධිත රටවල දැක්මට සමගාමීව ලංකාවේ ඊට බොහෝ කලකට පෙර මෙවැනි අලුත් අත්හදාබැලීම් සිදුකර ඇති බව පැහැදිලිය. 
ඉතිහාසය, නූතන යුගය සමඟ  ගලපා ගැනීමට සහ ඒ ගැන හැදෑරීමට මෙම  මුද්දර නිදසුන් අපට මඟ පෙන්වයි.  

 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com