kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
April
2021

ඉන්සියුලින් මුද්දර කැඩපත

ඉන්සියුලින් මුද්දර කැඩපත

අදින් අවුරුදු සියයකට පසු එළැඹෙන 2121 වසර ගැන සිතන්න. එවිට, මානව වර්ගයාගේ පැවැත්ම කෙසේ වේවිද? අනාගතයේ ලෝකය කෙසේ පවතීද? යනාදී ගැටළු ඔබ හමුවේ පැන නගිවී. විශේෂයෙන් අප මේ ගෙවන පූර්ව පශ්චාත් කොවිඩ්සමය, නැතිනම් නව සාමාන්‍යකරණසමය ලෝක වාසීන්ගේ සෞඛ්‍යය ප්‍රබල අවදානමකට ලක් කර ඇති බැවින්, මේ කාලය අතිශයින් වැදගත්ය. තවත් සිය වසකින් පසු ඉතිහාසය ගැන විමසීමේදී, එය හැදෑරීම සඳහා අපට මුද්දර මුලාශ්‍රයක් පැවතුනහොත් කෙතරම් අගනේද?

ජාතියක අභිමානය, ලොකාභිමානයක් බවට පත්වූ ඓතිහාසික සිදුවීමක් තැපැල් මුද්දරය මතින් නිරුපනය කිරීමේ ඉතා ආසන්නතම උදාහරණය කැනඩා තැපැල් සේවයෙන් (Canada Post) අපට වාර්තා වේ.

ලෝකයේ වැදගත්ම වෛද්‍ය සොයා ගැනීම් වලින් එකක් සියවස සමරනු ලබන 1921 වර්ෂයේදී ලෝකයට අගනා ඉතිහාස මූලයක් ලබා දීමට කැනඩා තැපැල් සේවය සමත්ව තිබේ. ඔවුහු 2021 අප්‍රේල් 15 වැනිදා දියවැඩියාව පාලනය සඳහා වන ඉන්සියුලින් සොයාගැනීමේ 100 වන සංවත්සරය වෙනුවෙන් සුවිශේෂී සමරු මුද්දරයක් ලෝකයට දායාද කළහ. එහි දෘශ්‍ය ගුණය අපව අවුරුදු 100ක් පසුපසට ගෙනයන අපූරුව, අප මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

මුද්දර, "ස්වකීය පුරවැසියන් සහ එහි සීමාවෙන් ඔබ්බට ගියවුන් දැකීමට කැමති ආකාරය නිරූපණය කෙරෙනා රාජ්‍යයේ නිමැවුමක් නැතහොත් විවර කරගත හැකි 'කවුළුය' " යනුවෙන් අර්ථ ගන්වා තිබේ (Stamps are products or `windows' of the state that illustrate how it wishes to be seen by its own citizens and those beyond its boundaries. - Stanley D. Brunn, Stamps as Iconography, Geo Journal volume 52).

තවදුරටත්, “මුද්දරයක් යනු බාහිර ලෝකයට ඔබව පෙන්නුම් කරනා එක්තරා ආකාරයක මාධ්‍යයක්" (A stamp is a kind of means to show yourself to the outside world) ලෙසින්ද විවිධ පර්යේෂණ වාර්තා පෙන්නුම් කර ඇත.

මේ අනුව, ඉතා සරලව "මුද්දරය" යනු රටක අනන්‍යතාව පිළිබිඹු කරනා ජාතික සංකේතයක් ලෙස හඳුන්වා දිය හැක. ප්‍රමාණය කෙතරම් කුඩා වුවද, තැපැල් මුද්දරය සතු සන්නිවේදන ශක්තිය සහ මහජන සම්බන්ධතා සවිමත් කිරීමේ ගුණය ලෝකය විසින් ඉතා හොඳින් හඳුනා ගෙන තිබේ.

ලෝක ඉතිහාසය වෙනස් කල විද්‍යාත්මක පර්යේෂණයක ශත සංවත්සර සැමරුම මෙම වසරට (2021) දී යෙදි තිබේ. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ (University of Toronto) ආචාර්ය ෆෙඩ්රික් බැන්ටිං (Frederick Banting), චාල්ස් බෙස්ට් (Charles Best), ජේම්ස් කොලිප් (James Collip) සහ ජෝන් මැක්ලියෝඩ් (John Macleod) විසින් දියවැඩියා රෝග පාලනය සඳහා වසර 1921දී 'ඉන්සියුලින්' සොයා ගැනීම මෙම අඟනා ප්‍රතිකර්මයයි.

ඉන්සියුලින් යනු අග්නාෂ්‍යය විසින් නිර්මාණය කරන ලද හෝමෝනයකි. එය ඕනෑම මොහොතක ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරයි. එය ඔබේ අක්මාව, මේදය හා මාංශ පේශී වල ග්ලූකෝස් ගබඩා කිරීමට උපකාරී වේ. අවසාන වශයෙන්, එය ඔබේ ශරීරයේ කාබෝහයිධ්‍රේට්, මේදය හා ප්‍රෝටීන වල රසායනික ක්‍රියාවලීන් නියාමනය කරයි.

ඉන්සියුලින් ලෝකයේ වැදගත්ම වෛද්‍ය සොයා ගැනීම් සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර වලින් එකක් ලෙස සැලකෙන අතර, වෛද්‍ය පර්යේෂණ සඳහා කැනඩාවේ විශාලතම දායකත්වය මෙම සොයා ගැනීමයි. අද වන විට දියවැඩියාවෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවට මෙම ප්‍රතිකර්මය තම ජීවිතාරක්ෂක පැවැත්මයි.

දියවැඩියාව පාලනය සදහා උපකාරීවන මෙම අසහාය මෙහෙවර උදෙසා බැන්ටිං සහ මැක්ලියෝඩ් දෙදෙනාට වර්ශ 1923 දී වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රධානය කරන ලදී. ඒ සඳහා හිමිවූ ත්‍යාග මුදල ඔවුන් බෙස්ට් සහ කොලිප් සමඟ බෙදා ගැනීමට ගනිමින් සිය කණ්ඩායම් හැඟීම ලොවටම විදහාලූහ.

ඉන්සියුලින් සොයා ගැනීමට හිමිවූ නොබෙල් ත්‍යාගයේ, ඊට හේතු සාධක සාරාංශ කර තිබුනේ මෙසේය:
“Diabetes is the body’s inability to metabolize sugar correctly. Doctors realized that diabetes is caused by a lack of insulin, which is formed in parts of the pancreas, but could not prove it. Frederick Banting suspected that another substance formed in the pancreas, trypsin, broke down the insulin. In John Mac-Leod’s laboratory in 1921, Frederick Banting and Charles Best treated dogs so that they no longer produced trypsin. Insulin could then be extracted and used to treat diabetes.” (දියවැඩියාව යනු සීනි නිවැරදිව පරිවෘත්තීය කිරීමට ශරීරයට ඇති නොහැකියාවයි. අග්න්‍යාශයේ සමහර කොටස් වල ඇති වන ඉන්සියුලින් නොමැතිකම නිසා දියවැඩියාව ඇති බව වෛද්‍යවරු වටහා ගත් නමුත් එය ඔප්පු කිරීමට නොහැකි විය. අග්න්‍යාශයේ ඇති තවත් ද්‍රව්‍යයක් වන ට්‍රිප්සින් ඉන්සියුලින් බිඳ දැමූ බවට ෆ්‍රෙඩ්රික් බැන්ටිං සැක කළේය. 1921 දී ජෝන් මැක්-ලියෝඩ්ගේ රසායනාගාරයේදී, ෆ්‍රෙඩ්රික් බැන්ටිං සහ චාල්ස් ප්‍රතිකාර කළ සුනඛයින් සුවපත් වූ අතර ඔවුන් තවදුරටත් ට්‍රිප්සින් නිපදවන්නේ නැත. ඉන්සියුලින් නිස්සාරණය කර දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකිය).

ඉන්සියුලින් සොයාගැනීමේ 100 වන සංවත්සරය සමරනුවස්, ඉන්සියුලින් කුප්පියක් සහ ආචාර්ය ෆ්රෙඩ්රික් බැන්ටිංගේ සටහන් වල නියැදියක් සහිත සමරු මුද්දරයක්, මුද්දර පොත් පිංචක් (booklet) සහ මුල් දින කවරය 2021 අප්‍රේල් මස 15 දින කැනඩා තැපැල් සේවය නිකුත් කරන ලදී. මෙම මුල් දින කවරයේ විශේෂත්වය වන්නේ එය ආචාර්ය බැන්ටිං වෙත යවන ලද කෘතවේදී සටහන් එකතුවක් පදනම් කරගෙන නිර්මාණය කර තිබීමයි.

කැනඩාව සිය ජාතිකාභිමානය, ලෝකාභිමානය දක්වා ගෙන යන "ඉන්සියුලින් "නිකුතුව අපට කියා දෙන්නේ මුද්දරයේ දෘශ්‍ය නිරූපණය (visual representation) සමකාලීන සමාජයේ “කැඩපතක්” (“mirror” of contemporary society) ලෙස හඳුනා ගන්නා බවයි.

ලෝකය අලුත් විදිහකට දකින්න; මුද්දරයට කවුළු පියන්පත් විවර කරන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com