kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


27
April
2021

ජාතික එකමුතුව මැද්දෙන් පිහිනීම

ජාතික එකමුතුව  මැද්දෙන් පිහිනීම 

වසර 50 ක් පැරණි වාර්තාවක් අලුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර  ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට රැගෙන යමින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් හා  ආසියානු වාර්තාවක්ද  පිහිටුවන ලදී.  ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා නොනවත්වා පිහිනා  ආපසු පැමිණීම එම වාර්තාවයි. කිලෝමීටර් 59.3ක් ගෙවමින් ධනුෂ්කෝඩි දක්වා පිහිනා 2021 අප්‍රේල් 11දා ආපසු පැමිණීමට රොෂාන්ට  පැය 28යි විනාඩි 19යි තප්පර 43ක් ගතවිය. තලෛමන්නාරමේ  සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනීමේ දක්ෂතාවය අගයමින් රොෂාන් අබේසුන්දර කෝප්‍රල් නිලයට උසස් කරන ලදී. රොෂාන් විසින් අලුත් කරනු ලැබුවේ කුමාර් ආනන්දන් මහතා  විසින්  1971 වසරේදී  පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැය 51ක්  පිහිනා  තබන ලද පනස් වසරක් පැරණි වාර්තාවකි.  
රොෂාන් අබේසුන්දර විසින් පිහිටුවන ලද  ලද මෙම නව  වාර්තාවන්  සමඟ බිදහෙලන ලද  වාර්තාවේ පූර්ව හිමිකරු කුමාර් ආනන්දන් මහතා   පිළිබඳවද  සමාජයේ කතා බහට ලක්විය. මේ කුමාර් ආනන්දන් කවුද?
වසර 1944දී  යාපනයේ වැල්වැටිතුරේදී   උපන් විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන් හෙවත් කුමාර් ආනන්දන් මෙරට වැඩිහිටි පරපුරට කිසි දිනෙක අමතක නොවන්නේමය. ඒ, ශ්‍රී ලාංකේය නාමය  ගිනස් වාර්තා පොතට  රැගෙන ගිය පළමු ශ්‍රී ලංකිකයා ඔහු වීම නිසාය.
පේදුරුතුඩුව හාට්ලි  විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව   ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන්  අධ්‍යාපනය ලැබීමට ඔහුට  වරම් හිමි වුයේ සිය පියාගේ රාජකාරි මාරුවීම හමුවේ පාසැල්  මාරු කිරීමට සිදුවූ බැවිනි. අනතුරුව ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එල්. එල්. බී. උපාධිය ලබා කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව  නීතීඥයකු ලෙස සමත්ව  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය. ඉනික්බිති, ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් විද්‍යාව පිළිබඳව උපාධියක්ද ලබා ගත් ආනන්දන් නීතිඥවරයා, අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතුවල නිරත වූ මුත්,වාර්තා පොත් අතර සිය නම සඳහන් කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙලුණි.  
ආනන්දන්ට ගිනස් වාර්තා පිළිබඳ  පන්නරය ලැබුණේ 1954 වසරේදී ඔහුගේ  ඥාති මාමා කෙනෙකු වූ  මුරුගපිල්ලෙයි නවරත්නසාමි මහතා  විසින් වැල්වැටිතුරේ සිට දකුණු ඉන්දියාවේ කැලිමියර් තුඩුව වෙත පිහිනා යමින් පෙන්වූ අසහාය දස්කම නිසායි. එම දස්කම අගයනුවස්, නවරත්නසාමිට එවකට ලංකාවේ අගමැති ජෝන් කොතලාවල මහතා පමණක් නොව ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු මහතාද පමණක් නොව එංගලන්තයේ දෙවන එළිසබෙත් මහා රැජිනද  සුභ පැතුම් එක් කළහ. මෙම ප්‍රමෝදය  නිසා ළදරු  ආනන්දන්ටද සිය මාමා මෙන් වීරයෙකුවීමට අවශ්‍ය විය.


කුමාර් ආනන්දන්ගේ ජීවිතයේ අමතක නොවන වසර 1971 වසරයි. ඒ, එම වසරේදී ඔහු මුල්ම වරට ගිනස් වාර්තාවක් තැබීමට සමත්වීම හේතුවෙනි.  තලෛමන්නාරමේ  සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා නොනවත්වා පිහිනා ගොස් ආපසු තලෛමන්නාරම බලා පැමිණීමෙන් ඔහු  සිය නම  ගිනස් වාර්තා පොතට 
පළමු වරට ඇතුලත් කරන ලදී. එවකට ඔහුගේ වයස අවුරුදු 27කි. එතැනින් තවත්   වාර්තා  තැබීමේ පුදුමාකාර පිපාසයක්ද ඔහු තුල  හට ගත්තේය.
ඔහුගේ දෙවන  ගිනස් ලෝක වාර්තාව  වසර 1975දී කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේදී 8X 8 කොටුවක  එක දිගට පැය 61ක් පිහිනමින් පිහිටුවන ලද අතර,  තෙවැන්න    තනි කකුලෙන් පැය 12යි විනාඩි 47ක් එක දිගට සිට ගෙන සිටීමෙන් පිහිටුවන  ලදී. එමතුද නොව, වසර  1979 ජනවාරි 1වැනිදා  එක දිගට පැය 128ක් නර්තනයේ යෙදෙමින් ඔහු තවත් ලෝක වාර්තාවක්  තම නමින්  සටහන් කර ගත්තේය. ගෝල්ෆේස්  හෝටල් පරිශ්‍රයේ  පැවති මෙම රංගනය නැරඹීම සඳහා එවකට ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද පැමිණ ඔහු දිරිමත් කරමින් සුභ  පැතුම් එක කල අතර,  ගෝල්ෆේස් හෝටලයේ සභාපති  වශයෙන්  කටයුතු කල සිරිල් ගාඩිනර් මහතා විසින්  කුමාර් ආනන්දන්හට  රුපියල් 10,000ක ත්‍යාගයක්ද ලබා දෙන  ලදී.   කුමාර් ආනන්දන් විසින්  ඔහුගේ මානුෂිය ගුණ පෙන්වමින්    එම මොහොතේම එම සම්පුර්ණ  ත්‍යාග මුදලම  ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අතට ලබා දෙමින් ඉල්ලා සිටියේ  එවකට නැඟෙනහිර පළාතේ ගංවතුරින්  හා සුළි සුළඟින් අනාථ වූ පුද්ගලයන්ට පරිත්‍යාග පිණිස එම මුදල ලබා දෙන ලෙසයි.  


මේ ක්‍රීඩාශීලී යෞවනයා තවත්  ගිනස් වාර්තා රැසක් තම නාමය ඉදිරියේ සටහන් කර ගනිමින් "ලංකාවේ ගිනස් වාර්තා රජු" බවට පත්විය.  ඔහු පිහිටවූ වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තා කිහිපයකි: 1979 මැයි මාසයේදී සැතපුම් 1487 ක දුරක් පැය 187 ක් නොනවතින පාපැදි පැදීම, 1979 මැයි මාසයේදී එක් පාදයකින් පැය 33 ක් හිටගෙන සිටිම, 1979 දෙසැම්බරයේ පැය 136 ක් බෝල විදීම, 1980 මැයි මාසයේදි මිනිත්තු දෙකකින් 165 වාරයක් වාඩි වී නැගිටීම, 1980 දෙසැම්බරයේදී  9100 වතාවක් හයි කික්ස් ගැසීම, 1981 අගෝස්තු මාසයේදී පැය 159 ක් තුල සැතපුම් 296 ක දුරක් නොනවත්වා ඇවිදීම, 1981 අගෝස්තු මාසයේදී පැය 80 ක් මදුරාසියේ  ඇනා පිහිනුම් තටාකයේ දී  ජලයේ කිමිදීම යනාදිය ඇතුළත්ය. 


කුමාර් ආනන්දන්ගේ අවසන් ගිනස් ලෝක වාර්තා  උත්සාහය වූයේ   එංගලන්තය හා ප්‍රංශය අතර පිහිටි මුහුදු සීමාව වූ ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමයි. එහෙත්  වසර  1984 අගෝස්තු 06 වන දින එම උත්සාහය අතර මැදදී  ඇතිවූ  ආබාධයකින්   අවාසනාවන්ත ලෙස ඔහු  මුහුද මැදදීම සිය  ජීවිතයෙන් සමු ගත්තේය.  එවකට ඔහුගේ වයස යාන්තම්   අවුරුදු 40 ක් වුවා පමණි. අකාලයේ මිලින නොවුයේ නම්  ඔහුගේ  සුරුවිරුකම්  ශ්‍රී ලංකා නාමය ඉදිරියේ එක පෙලට ලියවෙන්නට තිබුණි.
කුමාර් ආනන්දන් යාපනයේ උපන් දමිළ ජාතික  හින්දු භක්තිකයෙකු වූ  අතර  ඔහුගේ බිරිය සිරිලක දකුණුදිග මාතර උපන් සිංහල බෞද්ධ කාන්තාවක්  වන හිටපු අමාත්‍ය  මහානාම සමරවීර මහතාගේ නැගණිය හා හිටපු අමාත්‍ය  මංගල සමරවීර මහතාගේ නැන්දනිය වන   මානෙල් සමරවීරයි.  ආනන්දන් - මානෙල් යුවලගේ ආදර අන්දරය ලක්දිව  උතුර දකුණ යා කල තවත් එක් ස්නේහයේ  තරණයකි.  ඔවුනගේ පුතුහූ   රාජන්  හා රාජේශ්  වන අතර, රාජන් ආනන්දන් අට වසරක් ගූගල් සමාගමේ ගිනිකොණදිග ආසියාවේ සහ ඉන්දියාවේ උප සභාපති ලෙසද  කටයුතු කරන ලදී.


1999 දෙසැම්බර් මස 30 දින තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු  මුද්දරයක් නිකුත් කරමින් කුමාර් ආනන්දන්ගේ නාමය ඉතිහාස මූලාශ්‍රයක් බවට පත් කළේය. 
උතුරේ උපන් කුමාර් ආනන්දන්ගේ පිහිනුම් වාර්තාව වසර 50කට පසුව බිඳ හෙලනු ලැබුවේ  දකුණේ මාතර විරුවෙකු විසිනි. ඔහුගේ ගීනස් වාර්තා සඳහා වැඩිපුරම  ඔල්වරසන් නැඟුනේ   දකුණේ සිංහල ජනතාව ගෙනි. ඒ ඔහුගේ  ක්‍රීඩාශීලීත්වයට  ජාතිභේදයක් නොවූ නිසාවෙනි. සහජීවනය, ජාතික එකමුතුව, සංහිඳියාව ගැන කතා කිරීමේදී  කුමාර් ආනන්දන්ගේ නම මුලින්ම කියැවේ. ගිනස් වාර්තා පොත් අතර සැමවිටම  ඔහුගේ නම සටහන් වූයේ  ශ්‍රී ලාංකිකයකු ලෙසිනි. 
කුමාර් ආනන්දන් මහතාගේ  දයාබර බිරිඳ මානෙල් සමරවීර මහත්මිය හිටපු අමාත්‍ය  මංගල සමරවීර මහතා සමඟ සිය දයාබර සැමියාගේ ලෝක වාර්තාව අළුත් කරන්නට සමත් වූ රොෂාන් අබේසුන්දර හමුවීමට ඔහුගේ නිවසටම ගොස්  මෙම ධෛර්ය සම්පන්න තරුණයාට සිය  සුභ  පැතුම්  පිරිනැමුවාය.


රොෂාන්ගේ  උතුර, දකුණ එක් කල මෙම ශ්‍රී ලංකා හා ආසියානු   ආසියාතික වාර්තාවනුත්, සමුද්‍ර පරිසරයට ප්ලාස්ටික් හා පොලිතීන් එක් කිරීමට එරෙහිව ඔහුගේ දැණුවත් කිරීමත් ඉහලින්ම අගයමින් ඔහු පෙන්වූ මෙම අප්‍රතිහත ධෛර්යයට රොෂාන් අබේසුන්දර නාමය සමරනුවස් සමරු මුද්දරයක් නිකුත් කිරීමට හැකි වුවහොත් එය  ජාතියක් ලෙසින් අප  කෘතවේදී වීමක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.    
ජාතික එකමුතුව, සාමය හා  සංහිඳියාව නමැති මහා සාගරය තරණය කළ  ආනන්දන් - අබේසුන්දර මෙහෙවර රටටම ආදර්ශයක් වේවා !



© kiyawanamuddara 2020 | Solution by 4meli.com