30
April
2021
මයිකල් කොලින්ස්: නිවී ගිය සඳ එළිය
අපට නොදැනුණු ඔහුගේ උරහිස් මත වූ ලෝකයේ බර
වසර 1969 ජුලි 16 වැනිදා අඩි 363 ක් උස ටොන් 300 බර "සැටර්න් වී" රොකට්ටුව ඇමරිකා එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවන බලා පියාසර කලේ මානව ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී පියවරකට මුල පුරමිනි. ඉතිහාසයේ මුල් වරට සඳ තරණයට සහ නැවතත් පෘතුවියට පැමිණීමේ අවදානම් සහිත මෙහෙවරට නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් තම දිවි පරදුවට තැබූහ. වසර 1969 ජූලි 20 වන දින සිදුවූ ඒ සුරවිරුකමට දැන් වසර 52කි.
මෙම ඓතිහාසික ඇපලෝ 11 හඳට ගිය පළමු මිනිස් මෙහෙයුමේ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත ඇවිද යන විට කොලින්ස් චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටියේ ගගන යානය පාලනය කරමිනි.එය ඉතා බැරෑරුම් කටයුත්තක් වූ අතර යානය නිරුපද්‍රිතව නැවතත් පෘථිවිය කරා ගෙන ඒමේ වගකීමේ බර ඔහු තනිව දරාගත්තේය.
"මිනිසෙකු සඳහා එක් කුඩා පියවරක්, මනුෂ්‍ය වර්ගයා සඳහා යෝධ පිම්මක්" ලෙස විස්තර කෙරුනු එම අභාවකාශ ගමනේ 20 වැනි සංවත්සරය සමරනුවස් ලංකා මුද්දර කර්යංශය අගනා සමරු මුද්දර 4ක් 1989 නොවැම්බර් 10 දින නිකුත් කරන ලදී.
මෙම ගගන කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනාගෙන් එක් විරුවකු වූ මයිකල් කොලින්ස් පසුගියදා එනම්, 2021 අප්‍රේල් 28 දින මෙලොවින් සමුගත්තේය. මිය යන ඔහු 90 වියැති විය. මෙම තිදෙනාගෙන් නීල් ආමස්ට්‍රෝන්, වසර 2012 අගෝස්තු 25 දින අභාවප්‍රාප්ත වූ අතර, දැනට සුජීවත්ව සිටින එකම සාමාජිකයා 91 හැවිරිදි එඩිවින් ඕල්ඩ්‍රින් ය.
කොලින්ස් ඉතාලියේ උපත ලැබුවේ 1930 දී ය. වෙස්ට් පොයින්ට් හි එක්සත් ජනපද හමුදා ඇකඩමියෙන් උපාධිය ලැබීමෙන් පසු කොලින්ස් 1958 සිට 1963 දක්වා කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ප්‍රහාරක නියමුවෙකු හා පරීක්ෂණාත්මක නියමුවෙකු ලෙස සේවය කළේය.
1963 දී ගගනගාමියෙකු වීමට කොලින්ස් නාසා ආයතනය විසින් තෝරා ගන්නා ලදී. ඔහුගේ ප්‍රථම අභ්‍යවකාශ ගමන 1966 ජුලි 18 වන දින දියත් කරන ලද ජෙමිනි 10 (Gemini 10) යාත්‍රාවේ තෙදින මෙහෙයුමකි. එක්සත් ජනපද ඉතිහාසයේ අභ්‍යවකාශ ගමනකට එක්වූ තෙවැනි පුද්ගලයා බවට කොලින්ස් පත්විය.
ඇපලෝ 11 යනු කොලින්ස් අභ්‍යවකාශයට ගිය දෙවන ගුවන් ගමනයි. 1974 දී කොලින්ස් ඔහුගේ ජනප්‍රියම චරිතාපදානය වන ""ගින්න රැගෙන යාම: ගගනගාමියෙකුගේ ගමන" ("Carrying the Fire: An Astronaut's Journey,") නම් කෘතියේ සඳ වටා කක්ෂගතව සිටි ඔහුගේ හුදකලා කාලය ගැන මෙනෙහි කළේය. මෙම අත්දැකීම නිසා සමහරුන් ඔහුව "ඉතිහාසයේ තනිවූ මිනිසා" (The loneliest man in History) ලෙස හැඳින්වීමට පොළඹවන ලදී.
කොලින්ස් 1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගියේය. අභ්‍යවකාශ ඒජන්සියෙන් ඉවත් වූ පසු ඔහු ජාතික ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ලෙස සහ ස්මිත්සෝනියන් ආයතනයේ උප ලේකම් ලෙස සේවය කළේය.
කොලින්ස් සහ ඇපලෝ හි අනෙකුත් පුරෝගාමීන් විසින් දියත් කරන ලද මංපෙත් අනුගමනය කරමින් නව පරම්පරාවේ ගගනගාමීන් මේ වන විට අඟහරු ගවේශනය සඳහාද යොමුව ඇති අවධියක, ඔවුනගේ නාමයන් තවත් දිඟු කාලයක් අජඨාකාශයේ පවතිනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com