04
May
2021
මුද්දරයේ වචන සෙල්ලම
පරිසරය, ආර්ථිකය, සමාජ කටයුතු සහ කලාව ඇතුළත් වන තිරසාරභාවය යනු අතිශයින්ම විවිධාකාර හා බහුවිධ මාතෘකාවකි. “තිරසාරභාවය” (Sustainability) යන නව විශේෂ මුද්දරය මත මේ සියල්ල විනෝද ක්‍රීඩාවක් ලෙසින් සැකසූ පද ප්‍රහේලිකාවක් ඇසුරින් සොයාගැනීමට ස්විස් තැපැල් සේවය අපට ආරාධනා කරයි. මෙවන් සුවිශේෂී අදහසක් මුද්දරයක් වැනි ඉතා කුඩා නිර්මාණාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීමට ස්විස් තැපැල් සේවය ගනු ලැබූ මෙම අපූර්ව උත්සාහය අතිශය ආකර්ශනීය වේ.
ස්විස්ටර්ලන්තයේ, බර්න් කලා විශ්ව විද්‍යාලයේ (Bern University of the Arts) දෘශ්‍ය සන්නිවේදන පාඨමාලාවේ (Visual Communication Course) දෙවන වසරේ විද්‍යාර්ථයින් සමඟ ස්විස්ටර්ලන්ත තැපැල් අධිකාරිය එක්ව සංවිධානය කරන ලද නිර්මාණ තරඟයක ප්‍රතිඑලයක් ලෙසින් මෙම අගනා නිර්මාණාත්මක සංකල්පය මුද්දරයක් බවට පත්විය. තිරසාරත්වයේ විවිධ මානයන් මුද්දර මෝස්තරයක් ලෙස ධනාත්මක හා ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කිරීමේ කාර්යය ඔවුන් වෙත පැවරුණි. විවිධ නිර්මාණාත්මක ශිල්පීය ක්‍රම ඉගෙන ගෙන පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන් පුළුල් දෘශ්‍ය සැලසුම් නිර්මාණය කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් වැඩ කළහ. සියළුම සිසුන් ඔවුන්ගේ කථිකාචාර්යවරුන්ගේ සමීප සහයෝගය ඇතිව තනි තනිව වැඩ කටයුතු කරගෙන ගියහ. එහි ප්‍රතිඑල ලෙස විවිධාකාර, විශ්මයජනක හා අතිශයින්ම නැවුම් නිර්මාණ 22 ක් බිහිවූ අතර, ඉන් හොඳම නිර්මාණ 8 අවසන් වටය සඳහා ස්විස් මුද්දර කොමිසමට ඉදිරිපත් කරන ලදී.
මෙම අගනා සැලසුම් අතුරින් කැරොල් කීච්ල් (Carole Kiechl) ගේ නිර්මාණය ජයග්‍රාහී මුද්දරය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, 2021 අප්‍රේල් 21 දින මෙම නිකුතුව සිදු කරන ලදී. මෙම අපූර්ව මුද්දරය නිර්මාණය කර ඇත්තේ වචන සෙවුම් ප්‍රහේලිකාවක් (Word Search Puzzles) සම්පූර්ණ කිරීමට ජනතාව දිරිමත් කිරීම සඳහා ය. ලිපියක් යැවීමට පෙර සහ ලැබීමෙන් පසුවත් ඔබට මෙම ප්‍රහේලිකාව සමග සම්බන්ධ විය හැක.
“හෙල්වෙටියා” (Helvetia - තැපැල් ලෝකයේ ස්විස්ටර්ලන්තය හඳුන්වන නාමය) වචනය සහ “100” යන මුහුණතෙහි වටිනාකම, ඔබ දැනටමත් සොයා ගෙන ඇති වචන නොවේද? තිරසාරභාවය හා සම්බන්ධ තවත් ජර්මානු, ප්‍රංශ සහ ඉතාලි වචන 24 ක් මෙහි අන්තර්ගත බව ස්විස් තැපැල් අධිකාරිය පවසන අතර, ඔබට ඉන් වදන් කොපමණ සොයාගත හැකිද?
මෙවන් නිර්මාණාත්මක අත්හදා බැලීම් සඳහා ස්විස් තැපැල් සේවය නිරතුරුව නිර්මාණකරුවන් දිරිමත් කරනු ලබයි. ඔවුනට තැපෑල පාඩු ලබන රාජ්‍ය සේවයක් නොවන අතර, එය ජනතාවට නූතන සන්නිවේදන මෙහෙවර වඩාත් හෘදයාංගමව ලබාදෙන මහජන හිතකාමී සේවාවකි. මුද්දරය, මහජන සම්බන්ධතා උපකරණයක් සහ සන්නිවේදන ආධාරකයක් ලෙසින් ලිපියක් එක තැනක සිට තවත් තැනකට රැගෙනයාම සඳහා වැය වන තැපැල් ගාස්තුව අය කර ගැනීම සහ මුද්දරයේ දෘශ්‍ය රූපය මගින් ප්‍රචාරණය කරන රට පිළිබඳ තක්සේරුව යන ද්විත්ව ආකාරය ගැනම හොද අවබෝධයක් ඔවුන් සතුව පවතියි. එබැවින්, ඔවුන් සැම විටම අලුත් පර්යේෂණ, ක්‍රමවේද සහ පිළිවෙත් සඳහා මුල පිරීමට පසුබට නොවේ. ඔවුන් ඒ සඳහා විශ්ව විද්‍යාලවල, දෘශ්‍ය කලා පීඨවල සහාය ලබා ගනිති. ආධුනික නිර්මාණකරුවකුගේ වුවද, සාර්ථක නිර්මාණයක් සඳහා නිර්ව්‍යාජ අගය කිරීමක් ලබා දීමට ඔවුහු නිබඳවම කටයුතු කරති. සැබෑ වෘත්තියභාවය යනු එවැනි අගය කිරීමකි; දිරිගන්විමකි.
මෙවැනි නිර්මාණාත්මක මුද්දර සහිත ස්විස් තැපැල් සේවයේ පොහොසත්කම, ජාතියක් ලෙස ස්විස්ටර්ලන්තයේ පොහොසත්කමේ දෘශ්‍යමාන සංකේතයක්ම නොවේද?
© kiyawanamuddara 2020 | Solution by 4meli.com