kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


22
May
2021

ජනරජය මඟ හැරුණු ජනරජ මුද්දරය

ජනරජය මඟ හැරුණු ජනරජ මුද්දරය

1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස බ්‍රිතන්‍ය යටත්විජිතයෙන් පූර්ණ නිදහසක් ලබමින්, සැබෑ නිදහසක් උරුම කර ගන්නා ලදී. එම සුවිශේෂී අවස්ථාව සිහිගන්වනු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් යථෝක්ත දිනයේම අගනා තැපැල් මුද්දරයක් මෙරට මුද්දර වංශයට එකතු කරන ලදී.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසය තුල ජනරජ මුද්දරයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. රටේ නාමය ඉංග්‍රීසි බසින් ශ්‍රී ලංකා (Sri Lanka) ලෙස සඳහන් වන ප්‍රථම මුද්දරය මෙයයි. ඊට පෙර සෑම මුද්දරයකම අප රටේ නම 'සිලෝන්' (Ceylon) ලෙස දැක්විණි. ජනරජය යන වදන පැහැදිලිව දක්නට ලැබෙන සේ මුද්දරය මත සටහන් කර තිබෙන බැවින්, මෙම මුද්දරය 'ජනරජ මුද්දරය' ලෙස ජනතාව අතර ප්‍රකට විය. එල්. ඩී. පී. ජයවර්ධන නම් නිර්මාණකරුවා මෙම මුද්දර සැලසුම නිර්මාණය කර ඇත.

සෑම මුද්දරයකටම එය කියා දෙන කත්දරයක් ඇත (every stamp has a story to tell). 'මුද්දර කියවීම' යනු මුද්දරය කියා දෙන කතන්දර වඩා හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍ය සාහිත්‍යමය ගවේෂණය සිදු කිරීමයි. මුද්දරයේ දෘෂ්ඨිවාදාත්මක පණිවුඩය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමයි. ඒ අනුව බලන කළ, මෙම ජනරජ මුද්දරය, දෘශ්‍ය කියවීමේ හැරවුම් ලක්ෂයක් සේ සැලකිය හැක.

මෙම මුද්දරයේ නිවේදන පත්‍රිකාවේ සඳහන් වන්නේ "ශ්‍රී පාද කන්ද පිටුපසින් නැඟ එන සූර්යාගේ රශ්මි මාලාව හා ඒ ඉදිරියෙන් සම්පූර්ණයෙන් පිපුණු නෙළුම් මලක් පිළිබිඹු වේ." යනුවෙනි. ශ්‍රී පාදය පසුබිමින් උදා වෙන හිරුගේ පසසින් විකසිත වන නෙළුම් මලක් සහිත ජලජ පරිසරයේ විචිත්‍රත්වය මෙහි මූලික සිතුවමයි. ඉතා දීප්තිමත්ව විහිදෙන සූර්ය කිරණ මඟින් අළුත් දවසක්, අළුත් යුගයක්, අළුත් පිබිදීමක් යන අදහස අප තුල ජනිත කරවයි. සමනොළ සිරසින් නැඟ එන කිරණින්, ආගමික ප්‍රබෝධයද ඉස්මතු කිරීමට උත්සාහ ගෙන තිබේ. විකසිත වන නෙළුම් මල සහ පොහොට්ටුව මෙම අදහස තවත් තීව්‍ර කරවයි.

සාහිත්‍යය සහ කලාවේදී, නෙළුම් මලට හිමි වන්නේ වෙනත් කිසිඳු පුෂ්පයකට හිමි නොවන අද්වීතිය ස්ථානයකි. නෙළුම් මල යනු පාරිශුද්ධත්වයේ හා පරිපූර්ණත්වයේ ප්‍රතිරූපයකි. සෞභාග්‍යය, සශ්‍රීකත්වය, කීර්තිය, දැනුම, පවිත්‍රත්වය, අහිංසක බව, රූමත්කම, සරල බව ආදිය සංකේතවත් කිරීමට නෙළුම් මල සාහිත්‍ය සහ කලා කෘතිවල අනාදිමත් කාලයක සිට යොදා ගෙන ඇති බැවින්, මුද්දරය සඳහා මෙම රූපය ප්‍රමුඛ කර ගැනීම ස්වදේශිකත්වය ඉස්මතු කිරීම ලෙස පැහැදිලිව කිව හැක. පුරාණ ඉන්දියාවේ නෙළුම් මල බලයේ සංකේතයක් ලෙස සලකෙන බැවින්, මුද්දරය නිර්මාණයේදී එම අදහසද සැලකිල්ලට ගන්නට ඇති බවට විශ්වාස කල හැක.

ශ්‍රී පාදය සංකේතීය රූපයක් ලෙස භාවිතා කිරීමද සැලකිය යුතු කරුණකි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ලද අවසාන මුද්දර කාණ්ඩය වසර 1947 නිකුත් කරන ලද "ශ්‍රී ලංකාවට නව රාජ්‍ය ව්‍යවස්ථාවක් " නැමැති මුද්දර නිකුතුවයි. මෙම එක මුද්දරයක ශ්‍රී පාදය නිරූපිත අතර, එහිදී දක්නට ලැබෙන්නේ ශ්‍රී පාද ශිඛරයෙන් නැඟ එන සූර්ය කිරණින් නව රාජ්‍ය ව්‍යවස්ථාව නමැති අළුත් බලාපොරොත්තුව ආලෝකමත් වන අයුරුය. අදාල මුද්දරයේ නිරූපිත අයුරින්ම, උරුමවූ නිදහස සීමාසහිත වූ බැවින්, ජනරජ මුද්දරයේදී සූර්ය කිරණ ඉතා දීප්තිමත්ව සහ ප්‍රභාමත්ව නිර්මාණය කර තිබෙන්නේ ජනරජයෙන් රටට උදාවන පරිපූර්ණ නිදහස පිළිබඳ අදහස පෙරදැරි කරගෙනය.

මුද්දරයක් යනු රටක ජනතාවගේ අභිලාෂයේ දෘශ්‍ය නිරූපනයකි. ස්වෛරීත්වය පිළිබඳ අදහස පොදු ජනතාවට පෙන්නුම් කිරීම සඳහා නව ව්‍යවස්ථා සම්පාදකයින් දැරූ මෙම උත්සාහය මුළුමනින්ම බිඳ වැටුන එක් දෘශ්‍ය සලකුණක්ද මෙම මුද්දරයේ දක්නට ලැබේ. එනම්, එහි ඇති රාජකීය ලාංජනයයි. එනමුදු, ජනරජය වෙනුවෙන් නිර්මාණය කරන ලද දේශීය රාජ්‍ය ලාංජනය මුද්දරය මත සිතුවම් නොවේ. රාජකීය ඔටුන්න සහිත යටත්විජිතකරකයාගේ සලකුණ මුද්දරයෙන් බැහැර කර නොමැති වීම මෙහිදී ගැටලුවක් උපදවයි. එහි දෘශ්‍ය සැලසුමට අදාලව ලංකාව තව දුරටත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින ජනරජයකි. එහෙයින්, මතුපිටින් බැලු කල ජනරජ මුද්දරය අගනා සිතුවමක් සහිත මුද්දරයක් වුවද, මෙහි ඇති ගැඹුරු කියවීම ජනරජ ව්‍යවස්ථාවෙන් අප ලබා ගැනීමට උත්සාහ දරු සැබෑ නිදහස ලෝකයාට නොපවසයි.

මුද්දරය යනු රටක අසාමාන්‍ය සහ සුවිශේෂී අතීතයට විචිත්‍රවත් කවුළුවකි. එම ජනරජ මුද්දර කවුළුවෙන් විවර කර බැලු කළ, ජනරජය පැහැදිලිව දෘශ්‍යමාන විය යුතුය. මෙම දෘශ්‍ය අභියෝගය ජය ගත හැකි වන්නේ නව ජනරජ මුද්දරයක් ස්වදේශීය රාජ්‍ය ලාංජනය සහිතව නිකුත් කිරීමෙන් පමණි. මුද්දරය තුල ස්වෛරී නොවූ රාජ්‍යය ඉන් මුදවා ගත හැක්කේ එලෙසිනි.

මුද්දර ප්‍රවීණයන්ගේ අදහසට අනුව මෙම මුද්දර සැලසුම, නිකුතුවට 6 මසකට පමණ පෙර එංගලන්තයේ තෝමස් ඩිලාරූ සහ සමාගම (Thomas de la Rue) වෙත මුද්‍රණය සඳහා යොමු කර මෙරටට ගෙන්වා ගෙන ඇති අතර, මෙම කාල පරාසය නිසා ජනරජ ලාංජනය මුද්දරය මත සිතුවම් කිරීමට නොහැකි වූ බව පිළිගත හැකි කරුණකි. එය එසේ වී නම්, මෙම මුද්දරය ජනරජයේ ප්‍රථම සංවත්සරය යෙදෙන 1973 වසරේදී අභිනව ලාංජනය සහිත මුද්දරයක් ලෙස නිකුත් කිරීමට නොහැකි වුයේ මන්ද, නැතහොත් ලාංජනය පිළිබඳව තැකීමක් නොකළේද යන්න ගැටළු සහගතය. එනමුදු, මෙම මුද්දරය එළිදැක්වීමේදී එය අවලංගු කර තිබෙන්නේ ජනරජ ලාංජනය සහිත තැපැල් මුද්‍රවකිනි.

මේ සියලු තර්ක විතර්ක මැද ජනරජ මුද්දරයේ 49 වන ජන්ම දිනය 2021 මැයි 22 දිනට (අද දිනට) යෙදෙයි. මෙය නිරාකරණය කර ගැනීම සඳහා වසර 2022 ට යෙදෙන ජනරජයේ 50 වන සංවත්සරය කදිම ප්‍රවේශයක් වනු ඇත. ජනරජ මුද්දරය අදාළ නිවැරදි කිරීම සහිතව නව මුද්දර නිකුතුවක් ලෙසින් වසර 2022 දී එළිදැක්වීමට කටයුතු කරන මෙන් "කියවන මුද්දර" අප විසින් ගරු ජනාධිපතිතුමන්, විෂය භාර අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්, අමාත්‍යංශ ලේකම්තුමන්, තැපැල්පතිතුමන් ඇතුළු පිරිසට වෙත 2021 මැයි 16 දින ලිඛිතව යෝජනා කිරීමට කටයුතු කර ඇත.

ලිපියේ උපුටා ගැනීමක් මෙලෙසිනි:

"අතිගරු ජනාධිපතිතුමනි, මුද්දරයක් යනු රටක්, ජාතියක් සහ ජාතික නීත්‍යානුකූලභාවයේ නොවරදින ප්‍රකාශනයක් බවට සඳහන් කරනුයේ, වර්ග අඟලක වපසරියක් තුළ මුළු ජාතියකම, දේශපාලනය හා සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීමට තැපැල් මුද්දරයට ඇති අසහාය හැකියාව පදනම් කරගෙනය. එබැවින් තැපැල් මුද්දරයක් යනු එක්තරා ජාතියක සිට ලෝකයේ සෙසු රටවල් දක්වා වූ කුඩා නමුත් බලවත් සංකේතාත්මක තානාපතිවරයෙකි.

ජාතිය ගොඩනැගීම සහ ජාත්‍යන්තර රූප නිර්මාණය (nation-building and international image-making) සඳහා මුද්දරයේ වැදගත්කම ලෝකය අවබෝධ කරගතේ එය නිකුත් කල මුල් කාල වකවානුවේ සිටම ය. මුද්දරය මත වන සිතුවම සහ ඒ ආශ්‍රිත සංකේත (semiotics) මගින් මුද්දරය කියවිය හැකි මෙවලමක් බවට පත්කරයි. එබැවින් මුද්දර කියවීම අද ලෝකයේ ජනප්‍රිය ඉගෙනුම් ක්‍රමෙව්දයකි.

මෙසේ ජනරජ මුද්දරය කියවීමේදීද සුවිශේෂී අවස්ථාවක් හඳුනාගත හැක. එහි ව්‍යවස්ථා සම්පාදකයින් අරමුණු කල ස්වෛරීත්වය මූර්තිමත් කරනුයේ ජනරජ ලංජනයෙනි. එනමුදු, මෙම මුද්දරයේ ජනරජ ලාංජනය වෙනුවට සිතුවම් කර ඇත්තේ පැරණි රාජකීය ලංජනයයි. ඒ අනුව, ජනරජ මුද්දරයයේ සිතුවමේ කොටසක් ජනරජය නිරුපනය කරන අතර, තවත් කොටසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නියෝජනය කරයි. එම නිසා මෙම මුද්දරය "දෙමුහුන් මුද්දරයක්" ලෙස මුද්දර සාහිත්‍යයේදී අප හඳුනා ගෙන ඇත. රැජිනගේ ඔටුන්න සහිත ලාංජනය මගින් ලංකා ජනරජයේ බලය බ්‍රිතාන්‍ය සතු බව කියැවේ. නැතහොත්, යටත්විජිතකරණයෙන් පූර්ණ නිදහසක් ලබා නොමැති බව මේ දෘශ්‍ය රූපය ලෝකයට පෙන්වාදෙයි."

මෙම දෙමුහුන් මුද්දරය වෙනුවට ජනරජයේ සැබෑ සංකේතය සහිතව මෙම සැලසුමම සහිත මුද්දරය නව නිකුතුවක් ලෙසින් නිකුත් කිරීම, ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් වනු නොඅනුමානය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com