kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


30
May
2021

ජනරජ මුද්දරයේ අළුත්ම විස්තරේ

ජනරජ මුද්දරයේ අළුත්ම විස්තරේ

ජනරජය මුද්දරය ලංකා මුද්දර ඉතිහාසයේ සුවිශේෂී මඟ සලකුණකි. ජනරජය බිහිවීමේ වැදගත්කම ලංකා දේශයට කෙලෙසින් බලපාන්නේද, ජනරජ මුද්දරයද එලෙසින්ම සුවිශේෂී වේ. ජනරජ මුද්දරයේ ජනරජ ලාංජනය පිළිබඳව "කියවන මුද්දර" අප විසින් 2021 මැයි 22 දින පෙන්වා දුන් කරුණු සහ ඊට හිමිවූ ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණය, "ජනරජ කතන්දරය" අළුත්ම මානයකට රැගෙන ගියේය. එබැවින්, අද ජනරජ මුද්දරය ගැන අළුත් වටයකින් කියවමු.

රාජ්‍ය ලාංජනය වූ කලී, අන්තර්ජාතික වශයෙන් රටක් හඳුනා ගැනීමේ සංකේතයයි. වර්තමානයේ ලොව සෑම රටකම පහේ රාජ්‍ය ලාංජනය දක්නට ඇති අතර, එය නිර්මාණය වී ඇත්තේ රටේ අනන්‍යතාවය මනාව ඉස්මතුවන සංකේතයක් හෝ සංකේත එකතුවකිනි.

වසර 1948 දී ශ්‍රී ලංකාවට හිමිවූ අර්ධ නිදහසින් අනතුරුව, එතෙක් භාවිතයට ගැනුණු බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංජනය වෙනුවට ලංකාව සඳහා නව රාජ්‍ය ලාංජනයක් නිර්මාණය කෙරුණි. එහි මධ්‍යයේ කඩුවක් අතගත් සිංහ රුවකි. නිදහසින් අනතුරුව නිකුත් කල ප්‍රථම මුද්දරයේ සිංහල රජුන්ගේ පැරණි සිංහ කොඩියේ වූ මෙම සිංහයා නිරූපිතය. එය වටා සරල පලාපෙති රටාවකි. මුදුනේ ශ්‍රී ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නට සමාන ඔටුන්නකි. ලාංජනය පාමුල ඇකිළිය හැකි (Scroll) පත් ඉරු ලියවිල්ලකි. එහි මධ්‍යයේ සිංහල බසින් "ලංකා "යන්නත්, දෙපසින් ඉංග්‍රීසි බසින් "සිලෝන්" (Ceylon) සහ දමිළ බසින් “ඉලංකෙයි” (இலங்கை - Ilangkai) ලෙසත් සටහන් කර ඇත.

මෙම සැලසුමේ වන සිංහ රුව මුලින් අප රටේ ධජය ලෙස භාවිත කල නමුදු, වසර 1951දී ඊට ජාතිකත්ව නියෝජනය මත වර්ණ යොදන ලදී. තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකීය දමිළ ජනයා නිරුපණය වන අතර, කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලීම් ජනතාව නියෝජනය වේ. මෙම වර්ණ ආදේෂණයට සමගාමීව රාජ්‍ය ලාංජනයේ පාමුල වන පත්ඉරු ලියවිල්ලේද වර්ණ වෙනස් කර භාවිතයට ගෙන ඇති අතර, එම ලාංජනය අන්තර්ජාලයේ වුවද පහසුවෙන් දක්නට නොමැත.

වසර 1972 ජනරජ මුද්දරයේ සිතුවම් කර ඇත්තේ එලෙසින් පත්ඉර වර්ණ ගැන්වූ රාජ්‍ය ලාංජනයයි. මෙලෙසින් වර්ණ ගැන්වූ රාජ්‍ය ලාංජනය නිර්මාණය කරන ලද්දේ වසර 1952 හෝ 1954 ලෙස අපට අනුමාන කල හැක. එම ලාංජන දෙකෙහි ඇති ඔටුනු සලකුණු එකිනෙකාට වෙනස් බව පැහැදිලිවම පෙනේ. මෙය වඩාත් හොඳින් සනාත කර ගැනීම සඳහා වසර 1956දී ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කල 3වැනි මුදල් නෝට්ටු කාණ්ඩය පිරික්සුවෙමි. මෙම කාණ්ඩයේ තේමාව වූයේ "ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංජනයයි". එහි රුපියල් 2, 5,10, 50 සහ 100 වටිනාකම් වලින් යුතු සෑම නෝට්ටුවකම රාජ්‍ය ලාංජනය නිරූපණය කර තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරයේ සියවස් සමරුව නිමිත්තෙන් වසර 1957 අප්‍රේල් 01 වන දින කරන ලද මුද්දර නිකුතුවේද මෙම ඔටුන්න සහිත රාජ්‍ය ලාංජනය දක්නට ලැබේ. මෙම සෑම අවස්ථාවකම ඔටුන්නේ වෙනස්කම්ද අපට පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වේ.

රාජ්‍ය ලාංජනය මත ස්ථාපිත ඔටුන්නට දේශීයත්වයක් ගෙන ඒමට කටයුතු කිරීම බ්‍රිතාන්‍ය අධිකාරී බලයේ කිසියම් ලිහිල් බවක් නැතහොත් පුර්ණ නිදහසක් වෙනුවෙන් වෙහෙසෙන බව සංකේත කරන අතර, එලෙසින් වසර 1954 අප්‍රේල් 10 වන දින නිකුත් කරන ලද එලිසබෙත් රැජිනගේ රාජකීය සංචාරය වෙනුවෙන් නිකුත් කළ මුද්දරයේ රැජින නිරූපනය කර ඇත්තේ ඔටුන්නද රහිතවය.

"1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා ජනරජය බිහි වුණා. එත් සමගම, එතෙක් ලංකා රාජ්‍ය ලාංජනය මුදුනෙහි ස්ථාපිත කොට තිබූ කිරීටය ඉන් ඉවත් කොට ඒ වෙනුවට ධර්ම චක්‍ර මුද්‍රාව එහි ස්ථාපිත කෙරුණා." යනුවෙන් "පුරාණයෙන් රුපියලට" නම් වූ මහ බැංකු ප්‍රකාශනයෙහි සටහන් වේ.

ඒ අනුව, ජනරජ මුද්දරයේ නිරූපිත කිරීටය වූකලි, යටත්වැසි බවේ දෘශ්‍ය නිරුපනයයි. එකී සංකේතය වෙනුවට සැබෑ රාජ්‍යය ස්ථාපනය කිරීම, ජනරජ මුද්දරය බ්‍රිතාන්‍ය අධිපතිවාදයෙන් මුදවා ගැනීම සඳහා ගත යුතු සරල පියවරයි. එය, ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනරජ මුද්දරය බවට පත්වන්නේ එවිටය.

වසර 1972 ජනරජ මුද්දරය පමණක් නොව, ඒ ආශ්‍රිත මුල් දින කවරය, මුද්දරය අවලංගු කරන ලද තැපැල් මුද්‍රාව (cancellation date stamp) සහ මුද්දර නිවේදනය (bulletin) ද අපට අළුත් අදහස් ගෙන හැර දක්වයි. මේ සටහන සමඟ ඇති මුල් දින කවරය හොඳින් පිරික්සීමේදී, එහි දින මුද්‍රාවේ ශ්‍රී ලංකා ජනරජය යන වදනේ 'ශ්‍රී ලංකා' යන්න දමිළ බසින් ශ්‍රී ලංකා (ஸ்ரீ லங்கா - Sri Lanka) ලෙසින් සටහන් කර ඇති අතර; මුල්දින කවරයේද, මුද්දර නිවේදන පත්‍රීකාවේද දමිළ බසින් එලෙසින්ම ශ්‍රී ලංකා (ஸ்ரீ லங்கா - Sri Lanka) යනුවෙන් සටහන්ව දක්නට ලැබේ. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව, මුද්දරය මුද්‍රණය කල පසු, ඊට අදාල දින මුද්‍රාව (date stamp) සකසන අතර, මුද්දරයේ සඳහන් ආකාරයට ඉලංකෙයි (இலங்கை) වෙනුවට, දින මුද්‍රාවේ ශ්‍රී ලංකා (ஸ்ரீ லங்கா) ලෙස වෙනස්වීම අතපසුවීමක් නොවන බවට විශ්වාස කල හැක. එමෙන්ම, එහි මුල් දින කවරයද, විස්තර පත්‍රිකාවද එලෙසින්ම දමිළ බසින් 'ශ්‍රී ලංකා' යනුවෙන් හැඳින්වීම සැලකිය යුතු කරුණකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේදී රටේ නාමය සිංහල, දෙමල සහ ඉංග්‍රීසි බසින් එකම උච්චාරනයකින් පැවතිය යුතුය යන අදහස සාකච්ජාවට බඳුන් වන්නට ඇති බවට මෙය කදිම නිදසුනකි. එනමුදු, ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී එය නොසලකා ඇති බැවින්දෝ ශ්‍රී ලංකාව දමිළ බසින් තවමත් "ඉලංකෙයි" මය.

දේශපාලන දෘෂ්‍යකරණය (political visualization) මතුකරන මුද්දර, දේශපාලන සංක්‍රාන්ති පණිවිඩකරුවන් (Massagers of political transition) ලෙස මුද්දර සාහිත්‍යයේ දී හඳුන්වනු ලැබේ. ජනරජ මුද්දරයේ කීරිට ලාංජනයත්; මුද්දරයේ, මුල් දින කවරයේ සහ දින මුද්‍රාවේ භාෂා ව්‍යවහාර වෙනස්කමත් අපට කියාදෙන්නේ අපූරු සමාජ පණිවිඩයකි.

(විශේෂ ස්තුතිය: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ජේතවන කෞතුකාගාරයේ පාලක ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතාට)



© kiyawanamuddara 2020 | Solution by 4meli.com