06
June
2021
මහැදුරු මලලසේකරයන්ගේ අවසන් බොදු මෙහෙවර හෙවත් වසර 1972 ලෝක බෞද්ධ සම්මේලනයේ 10 වැනි සැසිය
ජනරජ මුද්දර නිකුතුවෙන් අනතුරුව ලංකාවේ මුද්දර ඉතිහාසය Ceylon සිට Sri Lanka ලෙසින් අලුත් මගක් ගත්තේය. වසර 1972 මැයි 22 දින නිකුත් කල ජනරජ මුද්දරයට පසු මුද්දරයක් නිකුත් වුයේ 1972 මැයි 26 දිනයි. ලෝක මහා බෞද්ධ සම්මේලනයේ දස වැනි මහා සභා වාරය නිමිති කොට ගෙන මෙම නිකුතුව සිදු කර තිබුණි. උක්ත කරුණ අනුව, එම මුද්දරය ශ්‍රී ලංකා ලෙස සඳහන් වන දෙවන මුද්දරය විය යුතුය. එනමුදු, එය එසේ නොවිණි. සත්‍ය වශයෙන්ම, මෙම මුද්දර නිකුතුව සිදුකිරීමට නියමිතව තිබුනේ 1971 වසරේ වූ බැවින්, මුද්දරය ඉංග්‍රීසි බසින් Ceylon වූ අතර 1972 යන්න අති-මුද්‍රණය (over print) කර, ජනරජයට පසු මුද්දර නිකුතුව ලෙස රටට ඉදිරිපත් කිරීමට තැපැල් බලධාරීන්ට සිදුවිය. ඒ රසවත් ඉතිහාසය සඳහා මෙම මුද්දරයෙන් අපි ඔබට කවුළුවක් විවර කර දෙන්නෙමු.
1950 වසරේ මහනුවර ශ්‍රී දළදා මැදුරේදී ලෝක බෞද්ධ සම්මේලනය සමාරම්භ කිරීම සඳහා පුරෝගාමී වූ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් සමග එක්වූ ජපානය, බුරුමය, නේපාලය, තායිලන්තය, ඉන්දියාව, කාම්බෝජය හා මැලේසියාව යන රටවල බෞද්ධ නායකයින්, වසර 1969 දී පැවැත්වූ 9 වැනි සමුළුවෙන් අනතුරුව, ඊලග සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළහ. 1971 වසරේ වෙසක් සමරුවට සමගාමීව එය පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කෙරුනේ 1970 වසරේ අගෝස්තු සිටය. මෙහි මූලික සාකච්ජා මලලසේකරයගේ නිවසේ පැවැත්වූ අතර, සම්මේලනය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා විශේෂ කමිටු පත්කර ඒ සඳහා විශේෂ නියෝජිතයින්ද පත් කෙරුණි. සංවිධයක කමිටුවේ මුලසුන මලලසේකරයන් විසින්ම හෙබවූ අතර, පිළිගැනීමේ කමිටුවේ සභාපතිවරයා වූයේ එවකට මහාමාර්ග, බලශක්ති හා කෘෂි කර්මාන්ත අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතාය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා, ආර්. ජී.සේනානායක ,දේශමාන්‍ය ඇල්බට් එදිරිසිංහ යන මහත්වරුන්ද මෙම සෙසු කමිටුවල සාමාජිකයින් අතර වූහ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ එක්සත් පෙරමුණු රජය මුහුණ දුන් ප්‍රබල අභියෝගයක් වූයේ වසර 1971 අප්‍රේල් සන්නද්ධ නැගිටීමයි. මෙම සන්නද්ධ අරගලයත් සමඟ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් රට යථා තත්වයට පත්කිරීම සඳහා රජය කටයුතු කළහ.
මෙම වාතාවරණය හමුවේ ලෝක බෞද්ධ සම්මේලනයේ වැඩ කටයුතු 1972 වසරට කල් දැමීම සඳහා එකඟතාවයකට පැමිනුණි. සම්මේලනය සමරනුවස්, සමරු මුද්දරයක් නිකුත් කිරීමට කල්තියා සැලසුම් කල බැවින්, එල්. ඩී. පී. ජයවර්ධන සිත්තරා විසින් නිර්මාණය කරන ලද එම මුද්දරය, එංගලන්තයේ සීමාසහිත හැරිසන් සහ පුත්‍රයෝ සමගම වෙතින් මුද්‍රණය කර මෙරටට ගෙන්වා ගෙන තිබුණි.
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 10 වැනි සැසිවාරය සඳහා ලොව නන්දෙසින් පැමිණි ගිහි-පැවිදි නියෝජිතයින් සහ ආරාධිත විශේෂ අමුත්තන් කැළණි විහාරයේ සංචාරයක් සඳහා එක් වූයේ ජනරජ දින සවස් භාගයේදීය. අප රට ශ්‍රී ලංකාව නමින් හඳුන්වා බෞද්ධ සංස්කෘතියත්, බුදු දහමත් ආරක්ෂා කරන බවට සපත කරන ලද නව රජය, මෙම බොදු නියෝජිතයින්ගේ ගමන ආශිර්වාදයක් ලෙස සැලකූහ. සම්මේලනය සමාරම්භ වූයේ වසර 1972 මැයි 23 දින කොළඹ නව රඟහලේදීය. එය මැයි 26 දින තෙක් පැවැති අතර, යථෝක්ත සමරු මුද්දරයද අවසන් දිනයේදී නිකුත් කරන ලදී. අදාල මුද්දර අති-මුද්‍රණය කිරීමෙන්, එහි 1972 යන්න සටහන් කෙරිණි. සම්මේලනයේ සැසිවාරය අවසන් වූයේ එවකට ශ්‍රී ලංකා ජනාධිපති, ගරු විලියම් ගොපල්ලව මැතිඳුන් විසින් පිරිස වෙනුවෙන් පිළිගන්වන ලද භෝජන සංග්‍රහයකිනි.
මැයි 27 දින නියෝජිත පිරිස ශ්‍රී දළදා මන්දිරය වැඳ පුදා ගැනීම සඳහා මහනුවර වෙත ගොස්, නැවත කොළඹට පැමිණියහ. ඉක්බිතිව ඔවුහු මැයි 28 වැනිදා අනුරාධපුර පූජා නගරය වෙත පිටත් වූහ. අනුරාධපුරයේ සිට නැවත පැමිණීමේදී, මලලසේකර මහතා ගමන්කළ මෝටර් රථය හලාවතදී අනතුරකට ලක්විය. මෙම අනතුරින් මලලසේකරයන්ට සුළු තුවාල සිදු වුවද, ඔහු ඒ ගැන නොසලකා විදේශීය නියෝජිතයින්ට සමුදීම සඳහා යොමු වූයේය.
එනමුදු, නිරෝගී, කාර්යශූර මලලසේකරයන්ගේ ජිවිතුය මෙම අනතුරින් පසු මුළුමනින්ම වෙනස් විය. සෞඛ්‍යය තත්වය පිරිහීම නිසා වෛද්‍ය උපදෙස් මත විවේකී සුවයෙන් ගත කිරීමට එතුමන්ට සිදු විය. වසර 1973 අප්‍රේල් වන විට තත්වය බරපතල වූයෙන් එතුමන්ව වහා කොළඹ විචර්ලි සාත්තු නිවාසයට (Wycherley Nursing Home) ඇතුලත් කළේය. එම සාත්තු නිවාසය ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයෙකු වූ ආර්. ඒ. ස්පිටල් මහතාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයයි. වර්තමානයේ විචර්ලි ජාත්‍යන්තර පාසැල (Wycherley International School) පවත්වා ගෙන යනු ලබන්නේ මෙම පරිශ්‍රයේය. විශිෂ්ඨ චිත්‍ර ශිල්පියකු වූ ඩේවිඩ් පේන්ටර් වසර 1937 දී ඇඳි ස්පිට්ල්ගේ ආලේක්‍ය සිතුවම අනුසාරයෙන් ඔහුගේ සමරු මුද්දරය නිර්මාණය කර ඇති අතර, එම චිත්‍රය ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණි.
වෛද්‍ය ප්‍රතිකාර අතරතුර, වසර 1973 අප්‍රේල් 23 දින මහාචාර්ය ගුණපාල මලලසේකර නම්වූ මේ මහා යුග පුරුෂයා දැයට අහිමි විය.
අනගාරික ධර්මපාලතුමන්ගේ බොදු මෙහෙවරට පමණක් දෙවෙනි මලලසේකරයන්ගේ මෙහෙවර ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම මහානර්ඝ සම්පතක් විය. ඔහුගේ හිඩැස සපුරාලීමට සමත් කිසිවෙක් තවමත් තවත් පහල වී නොමැති බව නොරහසකි. ලෝක බෞද්ධ සම්මේලනයේ 10 වැනි සැසිය සැමරුම මහාචාර්ය මලලසේකරයන්ගේ ජීවිතයේ අවසන් මෙහෙවර විය. එබැවින්, මේ සඳහා නිකුත් කරන ලද සමරු මුද්දරයද අපට සුවිශේෂී වන්නේය. මුද්දරයේ තේමාව ලෝක බෞද්ධ සම්මේලන වුවද, එහි යටිපෙල මලල්සේකරයන්ගේ මෙහෙවරයම විය.
ජනරජයෙන් අනතුරුව නිකුත් කල මෙම මුද්දරය Sri Lanka නොවුනේ එලෙසිනි. ඉක්බිතිව, 1972 වසරේ සැප්තැම්බර් 8 දින නිකුත් කරන ලද ජාත්‍යන්තර පොත් වර්ෂය (International Book Year) මුද්දරය සහ ඔක්තෝබර් 12 නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මසුන් (Fishes of Sri Lanka) යන නිකුතුව වලට අදාල මුද්දර හතරේ ඉංග්‍රීසියෙන් Sri Lanka යන්නත්, ඊට පෙර හැඳින්වූ Ceylon යන නාමය කුඩාවටත් සඳහන් කර ඇත. ජනරජ ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව සිදුවූ රටේ නම පිළිබඳ වෙනස්කම ලෝකයට වටහාදීම සඳහා මෙම පියවර ගෙන තිබුණි.
මෙම අදහස් පොදු ජනතාවට සම්ප්‍රේශණය කිරීමට මුද්දර සාහිත්‍යය උපකාරී වන අතර, මුද්දර එකතු කරන්නන් අනාගත පරම්පරාව සඳහා මුද්දර සංරක්ෂණය කරනා බැවින්, මුද්දර විනෝදාංශ විෂයේ දියුණුව සඳහා මෙම දෙපාර්ශ්වයේම සහයෝගීත්වය ඉතා වැදගත්ය.
මූලාශ්‍ර: 'මලලසේකර සිරිත' - කතෘ සිරිසේන මලලසේකර මහතා
විශේෂ ස්තුතිය: ගාමිණී සිල්වා මහතා
© kiyawanamuddara 2020 | Solution by 4meli.com