kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


15
June
2021

දේපල වෙළදාම සහ මුද්දර කියවීම හෙවත් සමරු මුද්දර ඇසුරින් නුගදොල වලව්වේ ඉතිහාස මතකය

දේපල වෙළදාම සහ මුද්දර කියවීම
හෙවත්
සමරු මුද්දර ඇසුරින් නුගදොල වලව්වේ ඉතිහාස මතකය

සුවිශේෂී ඉතිහාසයකට උරුමකම් කියන අතිශය මනස්කාන්ත පස්යාලේ නුගදොල වලව්ව විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබෙන බව (https://www.thenewsrilankanhouse.com/nugadola-detail) සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. ලංකාවේ ප්‍රකට දේපල වෙළදාම් සමාගම් වලද මේ පිළිබඳ දැන්වීම් ඔබට දැකගැනීමට හැකි අතර, ඇමරිකානු ව්‍යාපාරික කේන්ද්‍රීය ඉංග්‍රීසි භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතක් වන වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) හිද 2020 සැප්තැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5.8 ක් පමණ වන ලෙසින් මිල නියම කර මේ පිළිබඳව තොරතුරු පළ කෙරිණි (https://www.wsj.com/.../a-grand-hilltop-estate-in-sri...). "කියවන මුද්දර" අපගේ වැයම මෙරට ඉතිහාසයේ අගනා සිහිවටනයක් වූ ලෝකප්‍රකට මෙම නිවහන පිළිබඳ ඉතිහාසය මුද්දරය මූලයක් ලෙස භාවිතා කර කියවීමටයි.

රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත්වන නිවස "මාලිගය" යනුවෙන් ඈත අතීතයේ සිට හැඳින්වූ අතර, ක්‍ෂත්‍රීයයන් ප්‍රධාන අනෙකුත් සෑම නිවසක්ම හැඳින්වූවේ “ගෙදර” යනුවෙනි. ගෙහිමියාගේ තනතුර අනුව එම ගෙදරට තවත් විශේෂණ පද එක්වී ඒ අනුව, වෛද්‍යවරයාගේ නිවස වෙද ගෙදර යනුවෙන්ද, අක්ෂි වෛද්‍යවරයාගේ නිවස ඇස් වෙදගෙදර යනුවෙන්ද, කුඹල් කර්මාන්තකාරයාගේ නිවස කුඹල් ගෙදර යනුවෙන්ද, රජකයාගේ නිවස රදාගෙදර යනුවෙන්ද, බලි ඇදුරාගේ නිවස බලිතියන්නලාගේ ගෙදර යනුවෙන්ද, හංගිඩියාගේ නිවස හංගිඩි ගෙදර නමින්ද එකී මෙකී විවිධ තනතුරු දැරූ උදවිය පදිංචිව විසූ නිවාස උසස් පහත් භේදයෙන් තොරව අසවලාගේ ගෙදර යනුවෙන් ඈත අතීතයේ හෙළ රජ දවස හැඳින්වූ බැව් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් විසින් රචිත "කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්‍රභූවරු" යන කෘතියේ සදහන්ය.

ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ සහ ගොවි වංශිකයින් හැර වෙනත් කිසිදු කුලයක පුද්ගලයෙක් වෙසෙන නිවසක්, වලව්වක් ලෙස හැඳින්වීමට ජනතාව ක්‍රියා නොකිරීමෙන් වලව්ව යනු කුලීන ප්‍රභූවරයෙකුගේ වාසභවනය බැව් සැලකිය හැකි බව ඉතිහාසයේ සදහන්ය. ක්‍රි. ව. 1739 දී අප රට තුළ ආරම්භ වූ දකුණු ඉන්දියානු නායක්කර රාජ්‍ය පාලනය යුගයේ දී, ප්‍රභූන් පදිංචි නිවාස “වලව්” යනුවෙන් හැඳින්වූ අතර, එය තෙළිඟු බසින් ශබ්ද වූවකැයි “ශ්‍රී ලංකා දීප වර්ණනා” ග්‍රන්ථයේ සඳහන් වන අතර, එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රභූ නිවාස වලව් යනුවෙන් හැඳින්වෙන බැව් කිව හැකිය.

ගම්පහ දිස්ත්‍රිකයේ පස්යාලේ පිහිටි නුගදොල වලව්ව, පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සමරසිංහ සිරිවර්ධන හෙවත් පෝල් ඊ. පීරිස් සහ හිල්ඩා ඔබේසේකර යුවල විසින් වසර 1938 - 1942 කාලසීමාවේදී ඉදිකරන ලද සිය වාසස්ථානයයි. පෝල් ඊ. පීරිස් මහතා අධිකරණ විනිසුරුවරයෙකු වූ අතර, සුප්‍රකට ඉතිහාසඥයකු හා ග්‍රන්ථ කතුවරයෙකුද වීය. ඊට අමතරව, එතුමා බ්‍රිතාන්‍යයේ ලංකාවේ වෙළඳ කොමසාරිස් ධූරයද, රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධූරයද, එවකට ලංකා රජයේ මහා භාරකාර ධූරයද දරා ඇත. ශ්‍රී ලංකා ඉතිහාස ලේඛනයේ "පීතෘ" ලෙසින් සැලකෙන එතුමන්, 1914 ගම්පොළ වල්ලහගොඩ දේවාල පෙරහැර සම්බන්ධ නඩු තීන්දුව මගින් උඩරට ගිවිසුමෙන් බෞද්ධ අයිතිය තහවුරු කළ අන්දම පෙන්වා දුන් ජාති මාමකයෙකි.

එමෙන්ම, එතුමන්ගේ භාර්යාව වූ හිල්ඩා ඔබේසේකර මහත්මිය වනාහී ශ්‍රීමත් ජේම්ස් පීටර් ඔබේසේකර සහ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක මැතිදුන්ගේ සොහොයුරියක් වන කොර්නේලියා හෙන්රීටා ඩයස් බන්ඩාරනායකගේ වැඩිමහල් හා පවුලේ එකම දියණියයි.

පෝල් ඊ. පීරිස් සහ හිල්ඩා ඔබේසේකර යුවලට දරුවන් සතරදෙනෙකි. ඔවුන් වනාහි පසුගිය සියවස තුළ ශ‍්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විද්වතා ලෙස සැලකෙන ජාතික කෞතුකාගාරයේ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා සහ ‘බලංගොඩ මානවයා’ හෙවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ලොවට හඳුන්වා දුන් ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල, ​​ නීතීඥ රැල්ෆ් පීරිස් දැරණියගල, ​​පාර්ලිමේන්තු ලේකම් සහ චිත්‍ර ශිල්පී ජස්ටින් පීරිස් දැරණියගල සහ එකම දියණිය මීරියම් පීරිස් දැරණියගලයි. මීරියම් පීරිස් දැරණියගල ලංකාවේ වෙස් බැඳීම සිදු කළ පළමු කාන්තා නැටුම් ශිල්පිනිය ලෙසින්ද සැලකේ.

සිය මවගෙන් උරුමවූ පරිත්‍යාගශීලීත්වය නොකඩවා පවත්වාගෙන යමින්, මෙරට කාන්තා අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් මහත්සේ වෙහෙසුණු හිල්ඩා ඔබේසේකර මැතිනිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ අරමුදලට විශාල මුදලක් පරිත්‍යාග කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රිමත් අයිවෝ ජෙනින්ංග්ස් විසින් එහි කාන්තා නේවාසිකාගාරය "හිල්ඩා ඔබේසේකර ශාලාව" ලෙසින් නම් කරන ලද්දේද එතුමියට උපහාර පිණිසය.

සම්ප්‍රදායික සහ ගැහැනියකට නුසුදුසු හා අපහසු යැයි සැලකුනු අභියෝග වලට මුහුණදීමට ප්‍රියකල ඔබේසේකර මැතිනිය, පිය පාර්ශවයෙන් උරුමවූ පස්යාලේ නුගදොල වතුයායේ මෙම අද්විතීය නිවහන ඉඳි කොට ඇත.

1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳු න්වා දුන් අතර ඉන් ස්වදේශිකයන් සතු ඉඩම් ප්‍රමාණය අක්කර 50කට සිමා කෙරිණි. ඒ අනුව, අතීතයේ අක්කර සිය ගණනක වතුයායක් ලෙස මහ පාරෙන්ම පිවිසුම් මාර්ගය යෙදී තිබුනද, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතින් අනතුරුව අක්කර 50 කට සීමාවී, මේ වනවිට කන්ද මුදුනේ අක්කර 37කට ආසන්න ඉඩමක් මෙම වලව්වට උරුමව ඇත.

හිල්ඩා ඔබේසේකර මහත්මිය දක්ෂ රසාඥතාවයකින් යුතුව වලව්ව ඉඳි කිරීමේ කටයුතු මෙහෙයවා අති බව එහි ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම විමසා බැලීමේදී පැහැදිලිවේ. නුවර යුගය අනුගමනය කල සම්ප්‍රදායික උළු වර්ග යොදා ගත් වහල මෙන්ම වලව්ව ඇතුලත විශාල කුළුණු, උස්වූ සිවිලිම් හා උස්වූ කන්දක මුදුනේම ඉඳි කොට පොලොව මට්ටමින් මදක් උස්වූ පාදමක් යෙදීමෙන් ගොඩනැගිල්ලේ ආරක්ෂාව මෙන්ම ප්‍රෞඩත්වයද ඔප් නංවා ඇත. මැද මිදුල්වලින් හා පොලොවෙන් උඩ මහල් දෙකක් ඇති මෙම මන්දිරයේ පොලොව යටටද කිසියම් කොටසක් ඇති අතර, ඒ ප්‍රදේශය ගෘහ සේවකයන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන ඇත. නාන කාමර උපාංග ඉතාම අනර්ඝ තත්වයෙන් පැවතතී ඇති අතර, ඒවා යුරෝපීය ආනයනික භාණ්ඩ බවට උපකල්පනය කල හැකිය. එමතුද නොව, විදුලිය උත්පාදනය සඳහා ශබ්දය පාලනය කල පොලොව යට ස්ථානගතවූ ජෙනරේටරයක්ද පැවති බව වාර්තා වල සඳහන්ය.

පීරිස් යුවලගේ පුත්‍රයෙකු වූ ජස්ටින් පීරිස් දැරණියගල මහතා මෙම වතුයායේම වෙනත් නිවසක වාසය කල අතර, එය "සුදු බංගලාව" ලෙස ප්‍රකටය. එකල්හි ඔහු විසිවන සියවසේ විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියෙක් ලෙස ප්‍රකට වී සිටියේය.1936 දී ජෝර්ජ් කීට් සමඟ කොලඹ කලාභවනේ පැවැත්වූ ප්‍රදර්ශනය නිසා මධ්‍යම පාන්තික ජනතාව අතර නමක් දිනා ගැනීමට ඔහු සමත් විය. 1943 දී ලංකාවේ චිත්‍ර කලාවේ මහා පෙරළියක් කිරීමට සමත් වූ 43 කණ්ඩායම ඇරඹීමේ පුරෝගාමියෙකු වූ මොහු නූතන කලාව මෙරට කතාබහට ලක් නොවූ අවධියක එය රටට හඳුන්වා දුන් අද්විතීය ශිල්පියෙකි. අවිවාහකයෙකු වූ ජස්ටින් පීරිස් දැරණියගල මහතා හැටතුන් හැවිරිදි වියේදී මිය ගියේය.

හිල්ඩා ඔබේසේකර මහත්මියගෙන් පසුව නුගදොල වලව්ව උරුමවූයේ ඔවුන්ගේ පුත්‍රයෙකු වූ රැල්ෆ් පීරිස් දැරණියගල මහතාටය. ඔහුගේ බිරිඳ වූයේ ලංකාවේ පලවෙනි කාන්තා බැරිස්ටර්වරිය වූ එස්ලීන් ඉසබෙල් අමීලී ඔබේසේකර මහත්මියයි. එම යුවලට එක් දරුවෙක් වූ අතර, ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලත් වෛද්‍යවරයකු වූ රැල්ෆ් සේනක පීරිස් දැරණියගලය.

රැල්ෆ් සේනක පීරිස් දැරණියගලයන්ගේ දෙවෙනි බිරිඳවූ ඉන්ද්‍රානි දැරණියගල මහත්මිය විසින් වර්ෂ 2008දී පමණ මෙම වලව්ව සහිත ඉඩම ලෝක ප්‍රකට "එක්ස් ෆයිල්ස්" ("X FILES") නැමති ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවේ ස්කෙලී ලෙස රඟපෑ ගිලියන් ඇන්ඩ්‍රසන් (Gillian Anderson) නැමති හොලිවුඩ් නිලියට අලෙවි කරන ලදී. මෙම ගණුදෙනුවට ශ්‍රීමත් පෝල් පීරිස් මහතා සතුව තිබූ වටිනා පොත්පත් අඩංගු පුස්තකාලයක් සහ කලාත්මක පින්තූර එකතුවක්ද ඇතුළු වටිනා බඩු භාණ්ඩ රාශියක්ද ඇතුලත් විය.

නිලි ගිලියන් ඇන්ඩ්‍රසන් විසින් මෙම වලව්ව ආකර්ෂණීය ආකාරයකට ප්‍රතිනිර්මාණය කොට, සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් බවට පත්කල අතර, ඇය සමඟ හවුල් වූ ශ්‍රී ලාංකික පාර්ශව සමග ඇතිවූ මුදල් ගණුදෙනු අර්බුදයක් හමුවේ 2015දී මෙම වලව්ව වෙනත් පාර්ශවයකට අලෙවි කරන ලදී. වර්තමානයේ එහි "VICEROY HOUSE" නම් කුඩා සුඛෝපභෝගී හෝටලයක් පවත්වා ගෙන යනු ලබයි.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තුන් ඈදුතු නවකතා ලෙසින් ප්‍රකට, ගම්පෙරලිය (1944), යුගාන්තය (1948 ) හා කලියුගය (1957) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට රැගෙන එන ලදී . "යුගාන්තය" චිත්‍රපටය, නුගදොල වලව්ව ආශ්‍රිතවද රූගත කොට ඇති බව වාර්තා වල සඳහන්ය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බාල සොහොයුරු වන්නේ අයිවන් සෙන්ට් එල්මෝ ඉග්නේෂස් පීරිස්ය. අයිවන් පීරිස් ලෙසින් ප්‍රකට ඔහු, 1943 වසරේ පිහිටුවා ගනු ලැබූ "43 කණ්ඩායමේ” වඩාම උද්‍යෝගීමත් සමාජිකයෙකු පමණක් නොව, එය ආරම්භ කිරීමට අවශ්‍ය වූ පළමුවැනි උත්සාහය ගත් නැතැන්තා ලෙසින්ද සැලකේ.

ඉතිහාසය කියවීම සදහා මුද්දරය මූලාශ්‍රයක් කර ගැනීමේ වැදගත්කම පෙන්වාදීමට වෙහෙසෙන "කියවන මුද්දර", ඒ සඳහා මුද්දර ප්‍රස්තුත රැසක් මේ වන විටත් යෝජනා කර තිබේ. වසර 2017 දී අප විසින් යෝජනා කරන ලද සමරු මුද්දර අතර ශ්‍රීමත් පෝල් ඊ පිරිස්, ආචාර්ය පී. ඊ. පී. දැරණියගල නාමයන්ද විය. වසර 2019ට යෝජිත සමරු මුද්දර සඳහා ලයනල් වෙන්ඩ් සමරු මුද්දරයද අප විසින් නම් කල අතර, ආචාර්ය පි. ඊ. පී. දැරණියගල සහ ලයනල් වෙන්ටඩ් මුද්දර සඳහා අනුමැතිය ලැබී ඇති බැවින්, ඒවා ලඟදීම නිකුත් කිරීමට හැකිවෙතැයි අපි පතමු.

මුද්දර කියවීම විෂයක් ලෙසින් ගත් කල, එය මුද්දරයේ දෘශ්‍ය රුපය (visual image) කියවීම සහ දෘශ්‍ය ආධාරක (visual aids) ලෙසින් දෙවර්ගයකි. නුගදොල වලව්වේ ඉතිහාස කියැවීම සඳහා දෘශ්‍ය ආධාරක ලෙස භාවිතා කල හැකි සමරු මුද්දර රැසකි. "50 වසරක ලාංකීය චිත්‍ර කලාව" නමින් වසර 1999 දෙසැම්බර් 12 දින නිකුත් කරන ලද මුද්දර නිකුතුවේ, ජස්ටින් පීරිස් දැරණියගල සහ අයිවන් පීරිස්ගේ සිතුවම් මුද්දර ලෙස සිතුවම් කර ඇති අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රීමත් අයිවෝ ජෙනිග්ස්, ජෝර්ජ් කීට්, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, හෙක්ටර් කොබ්බැකඩුව, මාර්ටින් වික්‍රමසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සමරු මුද්දරද නුගදොල වලවිව විකිණීම සමඟම කියවා ගත හැක.

මූලාශ්‍ර :
වලව්ව Facebook පිටුව
VICEROY HOUSE වෙබ් පිටුව



© kiyawanamuddara 2020 | Solution by 4meli.com