26
June
2021
පොසොන් සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා !
ශ්‍රී ලංකාවේ ජාතික මුද්දර ප්‍රතිපත්තිය අනුව, වෙසක් පොහොය නිමිති කොට සමරු මුද්දර නිකුත් කිරීම මෙරට සම්ප්‍රදායක් ලෙස සිදු කරනු ලබන අතර, පොසොන් පොහොය නිමිත්තෙන් සමරු මුද්දර නිකුත් කිරීමක් සිදු නොවේ. එබැවින්, ලංකාවේ පොසොන් මුද්දර දක්නට නොමැති නමුදු, අනුබුදු මිහිඳු ජයන්තිය සමරනුවස් නිකුත් කරන ලද සමරු මුද්දරය පමණක් ඉතිහාස ගතව පවතී.
අනුබුදු මිහිදු හිමියන් ලංකාවට වැඩම කොට වසර 2300ක් ගතවීම නිමිතිකොට ගෙන 1992 ජූනි 14 වන දින මෙම සමරු මුද්දරය නිකුත් කරන ලදී. මෙම මුද්දරය නිර්මාණය කලේ ප්‍රවීන මුද්දර සැලසුම්කරුවකු සහ වෙහෙර විහාර සිතුවම් පිළිබඳ හසල දැනුමක් සහිත එස්. එස්. සිල්වා මහතා විසිනි. මුද්දරය මුද්‍රණය කර ඇත්තේ රුසියාවේ වන අතර, මුද්දර නිවේදන පත්‍රිකාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කර තිබේ.
අනුබුදු මිහිඳු ජයන්ති මුද්දරය ලංකා මුද්දර ඉතිහාසයේ සුවිශේෂී මඟ සලකුණකි. එය කිහිප ආකාරයකින් සුවිශේෂී වන්නේය.
මෙම මුද්දරයේ වටිනාකම රු 1.00 වූ අතර, අනුබුදු මිහිඳු ජයන්තිය 2299-2300 ලෙසද, ක්‍රි.ව.1992-1993 ලෙසද, බු.ව. 2537-2538 ලෙසද මෙහි සටහන් වී තිබේ.
ලංකා මුද්දර ඉතිහාසයේ රටේ නාමය ඉංග්‍රීසි බසින් අක්ෂර වින්‍යාසය වෙනස් කරන ලද ප්‍රථම මුද්දර මෙයයි. එහි අප රටේ නාමය ඉංග්‍රීසි බසින් "Shri Lanka" ලෙසින් සටහන් කර තිබුනේ, එවකට ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ අදහසකට අනුව "ශ්‍රී " යන්නෙහි ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය "Shri" ලෙසින් සටහන් කිරීම හේතුවෙනි. එනමුදු, මුද්දර නිවේදන පත්‍රිකාවේ රටේ නාමය Sri Lanka සහ Shri Lanka ලෙසින් කැමති කැමති ලෙස කිහිප තැනකම මුද්‍රණය කර ඇති බව දක්නට ලැබේ.
තවද, ශ්‍රී ලංකාවේ සිතියම, මිහින්තලා පර්වතය, ධර්ම චක්‍රය සහ බොදු ධජය එහි සිතුවම් කර තිබෙන බව සදහන් කර තිබුනද මුද්දරය හොඳින් පිරික්සීමකින් තොරව ඒවා හඳුනා ගත නොහැකි නමුත්, මුද්දර නිවේදන පත්‍රිකාවේ නම් ඒ බව පැහැදිලිව සටහන් කර ඇත.
බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්), පීත (කහපාට), ලෝහිත (රතු පාට), ඕදාත (සුදු පාට), මාංජ්‍යෙෂ්ඨ (මදටිය පාට) හා ප්‍රභාස්වර (සියලු පාට එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි, විහිදෙන සවනක් බුදු රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය.
බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර (Sri Lanka standards) කෙටුම් පතෙහි කොඩියේ සැළසුම දැක්වෙන්නේ මෙසේය: (3.3) "කොඩිය, සමාන සිරස් තීරු හයකින් විය යුතු ය. කොඩිය ඔසවන කෙළවරේ සිට පිළිවෙල විය යුත්තේ නීල = නිල්, පීත = කහ, ලෝහිත = රතු, ඔදාත = සුදු සහ මාංජ්‍යෙෂ්ඨ = රතු මිශ්‍ර කහ යනුවෙනි. ප්‍රභාස්වර ලෙස හැඳින්වෙන හය වන තීරුවෙහි මෙම වර්ණ පහ තිරස්ව එකක් යට එකක් පිහිටන සේ සමාන ප්‍රමාණවලින් මෙම පිළිවෙළට ම තිබිය යුතු අතර නිල් වර්ණය උඩ කෙළවරෙන් තිබිය යුතු ය." ලෙසිනි.
එනමුදු, මෙම අනුබුදු මිහිඳු ජයන්ති ඓතිහාසික මුද්දරය ඉතා බරපතල වරදක් මඟින් තවදුරත් කතාබහට ලක්වෙන මුද්දරයක් බවට පත්ව තිබේ. එනම්, මෙම මුද්දරයේ නිරූපිත බොදු ධජයේ අවසන් තීරුව (ප්‍රභාස්වරය) උඩු යටිකුරු කර සිතුවම් කර තිබීම මෙම ඓතිහාසික වරදයි. එනම්, මුද්දරයේ ප්‍රභාස්වාරය නිරුපණය වන්නේ මාංජ්‍යෙෂ්ඨ (මදටිය පාට), ඕදාත (සුදු පාට), ලෝහිත (රතු පාට), පීත (කහපාට) හා නීල (නිල්) යන අනුපිළිවෙල නිසාවෙනි.
බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ඝණ බුදුරැස් විහිදීම පොසොන් පොහොය දින සිදුවූ තවත් අසිරිමත් සිදුවීමකි .ඒ අනුව මෙම මුද්දර සදහා බොදු ධජය සංකේතාත්මකව යොදා ගැනීම නිවැරදිය .වරදක් හෝ අත්වැරදීම සිදුවී ඇත්තේ බොදු ධජයේය . අතින් පමණක් සිදුවූවක් නොවේ .
මුද්දර නිර්මාණ ශිල්පී, මුද්දර උපදේශක මණ්ඩලයේ සාමාජිකයින්, මුද්දර කාර්යාංශයේ නිලධාරීන්, තැපැල්පතිතුමන්, තැපැල් අමාත්‍යංශ ලේකම්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එවක තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමන්ගේ දෑස් වලින් ගිලිහී ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ පාලන කාලසීමාව තුල මෙවන් වරදක් සිදුවීම සහ එය ඉන් මතුද ඉස්මතු නොවීම සැලකිය යුතු කරුණකි.
1992 සිට 1993 වසර පුරාවටම පුරා වසරකම අනුබුදු මිහිදු ජයන්තිය සැමරීම සිදු කරන ලද අතර, මුද්දර ලෝලීන් කිහිප දෙනෙක් හැරුණු විට සෙසු පොදු ජනතාවගෙන් හෝ මහා සංඝ රත්නයෙන් මෙම මුද්දර වරද පිළිබඳ විරෝධයක් මතු වූ බවක් සඳහන් නොවේ.
අනුබුදු මිහිඳු සැමරුම් මුද්දරයේ බොදු ධජයේ අත් වැරදීමක් වුව එසේ සඳහන් වීම සංකේතාත්මකව වත්මනෙහි බුදු දහම අප විසින් උඩු යටිකුරු කර ඇති බව පිළිබඳව මනා දෘශ්‍ය කියවීමක් ලෙස මුද්දර සාහිත්‍ය විශ්ලේෂණයේදී යමෙකුට අර්ථ දැක්විය හැක. අයෙකුට එය කොසොල් රජුගේ සිහින සැබෑ වීමේ පෙරනිමිත්තක් ලෙසද අර්ථ ගැන්විය හැකිය.
ජායා අනුග්‍රහය: ගාමිණි සිල්වා මහතා
© kiyawanamuddara 2020 | Solution by 4meli.com