22
August
2021
මුද්දරය, අතීතයේ කැඩපතකි - අනාගතයේ පෙරනිමිත්තකි
1989 බලයට පත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ නව රජය විසින් 'ජනසවිය' වැඩසටහන ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව නඟා සිටුවීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලදී. එය ජනතාව මුල්කරගත් ජනතා වැඩසටහනක් ලෙස හැදින්විණි. මෙහි මූලික අරමුණ වූයේ දිළිඳු ජනතාවගේ කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කිරීමට ආයෝජනය කිරීමෙන් ඔවුන්ගේ ජිවන තත්වය උසස් කිරීමයි. ජනසවිය වැඩසටහනේ සෙසු අපේක්ෂිත අරමුණු අතර ප්‍රතිලාභී පවුල්වල අදායම වර්ධනය කිරීම, නව ජීවන වෘත්තීන් හඳුන්වාදීම සහ රජයේ සහනාධාර මත යැපීමකින් තොරව ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙක් බිහිකිරීම බව අදාල නිල ලේඛන වල සදහන්ය. මෙම ජනසවිය වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගනු ලැබුවේ එවකට ආහාර මුද්දරලාභී පවුල් අතරින් ඔවුන්ගේ ආදායම් මට්ටම් පදනම් කරගෙනය. මේ යටතේ පවුලේ මාසික ආදායම රුපියල් 700 නොඉක්මවූ අය තෝරාගෙන, ඔවුනට වසර දෙකක් තුල ක්‍රියාත්මක වන ජනසවිය වැඩසටහන මගින් මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලදී. ඔවුන් ඉන් කොටසක් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කල යුතු විය.
ජනසවිය වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් 1989 ජූනි 23 වන දින නිකුත් කරන ලදී.
මුද්දර යනු තැපැල් මෙහෙයුම් වල මෙවලම් පමණක් නොව ජාතික සංස්කෘතිය තුළ දැඩි ලෙස මුල් බැස ඇති කලා ප්‍රකාශනයකි. මුද්දර මත ඇඳ ඇති සිතුවම ජාතියේ දෘශ්‍ය අර්ථ සංසරණය, කළමනාකරණය සහ හැඩ ගැස්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. එහි විශේෂත්වය වනුයේ සමස්ත ජාතියකම සමාජ, දේශපාලන, සංස්කෘතිය සඳහා එක් වර්ග අඟලක් තුළ පෙනී සිටීමට ඔවුන්ට ඇති හැකියාවයි.
මේ දැක්මට අනුව ජනසවිය මුද්දරයේ ගැඹුරු කියවීම මෙරට දේශපාලන, සමාජ, ආර්ථිකයේ හැඩය පෙන්වාදෙනු ලබයි. නැති බැරි පවුල් - ඇති හැකි පවුල් කිරීමේ මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් වෙත ලබාදෙන රුපියල් 2500ක දීමනාවෙන් කෘෂිකර්මාන්තය, සුළු පරිමාන කාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ලැබෙන සාමය, සංහිදියාවෙන් පිරිපුන් සමාජය මෙහි දෘශ්‍ය රූපයෙන් කියැවේ.
මුද්දරයේ මාතෘකාව රටේ පසුකාලීන හෝ සමකාලීන සමාජ සංස්කෘතිය තුළ ඉටු කරනා භූමිකාව පිළිබඳව සාකච්ඡාවටත්, මුද්දරය නිකුත් කළ දිනයේ පැවති මතක ඉතිහාසය, මතක සංස්කෘතිය විශ්ලේෂණය සදහාත් මෙය කදිම ප්‍රස්තුතයකි.
සිතුවම සඳහා 'කොළ' වර්ණය බහුලව භාවිත කිරීම එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ වර්ණය ප්‍රබලව නිරූපිත අතර, මුද්දරය නිකුත් කර තිබෙනුයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ උපන් දිනය යෙදුනු දිනයට වීමද විශේෂිතය.
ඒ සියල්ල පසෙක තබා, මුද්දරයේ අර්ථය වර්තමානය සමඟ ගලපන්න. 1989 දී සහනාධාරයක් ලෙස රුපියල් 2500 ක්ම ලබාදීම සහ වත්මන ලබා දෙනු ලබන සහනාධාර වල වටිනාකම ජාතියේ සහ සමාජයේ ගමන් මඟේ පැතිකඩක් හොඳින්ම නිරූපණය කරනු ලබයි.
ජාතික ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදනය, ආදායම් බෙදීයාමේ විෂමතාවය, රුපියල අවප්‍රමාණය වීම, ජාතික ආර්ථිකය සඳහා ජනතාවගේ සහභාගීත්වය ජනතාවගේ යැපුම් මානසිකත්වය පිළිබඳව විශ්ලේෂණාත්මක අදහසක් සහ මෙවැනි සහනාධාර වැඩසටහන් සැබෑ ජනතාවාදී මෙහෙවරක්ද නැතහොත් දේශපාලන උපක්‍රමයක්ද යන්න සලකා බැලීමට ජනසවිය සමරු මුද්දරය කදිම ප්‍රවේශයකි.
දේශපාලන ක්‍රියාවලියේදී සන්නිවේදනය සතු භූමිකාව සහ වැදගත්කම අවබෝධ කරගත් දැනුමැති සන්නිවේදකයින්, ප්‍රවර්ධන මෙවලමක් ලෙස තැපැල් මුද්දරය භාවිතා කිරීමට නිර්භීතවීම යන කරුණ ගැන නම් අපට මෙහිදී සතුටු විය හැක.
මුද්දරයේ දේශපාලන පණිවුඩය ඔබ හදුනා ගත්තාද?
සමාජ, ආර්ථික, දේශපාලන, පාරිසරික හා සංස්කෘතික කරුණු පිළිබඳව නිර්මාණාත්මක ඉගැන්වීමක් සඳහා 'මුද්දර', අධ්‍යාපනික මෙවලම් වශයෙන් භාවිතා කිරීම “කියවීමේ මුද්දර” තුළින් අරමුණු කෙරේ.
මුද්දර කියවීම ජාතික සංස්කෘතියක් බවට පත් කරගැනීමට ඔබත් එක්වන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com