24
September
2026
ලිපියක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට ගෙවන ගාස්තුව නිරූපණය කරන කුඩා කඩදාසි කැබැල්ලකට එහා ගිය ප්‍රබල මානුෂීය මෙහෙවරක් ඉටු කිරීමට තැපැල් මුද්දරයට හැකියාව තිබේද? සැබවින්ම , 'ඔව්'. ඔස්ට්‍රියා තැපැල් සේවය මගින් නිකුත් කරන ලද 'Young Carers' (තරුණ රැකබලා ගන්නන්) මුද්දරය ඊට කදිම නිදසුනකි. එමගින් පසක් වන්නේ තැපැල් මුද්දරයක් යනු හුදෙක් එකතු කරන්නන්ගේ සෞන්දර්යාත්මක භාණ්ඩයක් පමණක් නොව, සමාජයේ නොපෙනෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරවන ප්‍රබල සන්නිවේදන මෙවලමක් බවයි.
'තරුණ රැකබලා ගන්නන්' යනු වයස අවුරුදු 18ට අඩු, අසනීප වූ, ආබාධිත හෝ වයෝවෘද්ධ පවුලේ සාමාජිකයන්ව නිතිපතා සහ දිගු කාලයක් පුරා රැකබලා ගන්නා දරුවන් සහ තරුණ තරුණියන් වේ. ඔස්ට්‍රියාවේ පමණක් මෙවැනි දරුවන් 43,000ක් පමණ සිටින අතර, ඉන් 70%ක්ම ගැහැණු ළමුන් වේ. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 12 1/2 කි. සෙල්ලම් කිරීමට, අධ්‍යාපනයට සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට තිබෙන සුන්දර ළමා කාලය කැපකරමින්, මොවුන් නිවසේ ඇති දැවැන්ත වගකීම් සමුදායක් තම කර මත දරා සිටිති. බොහෝ විට තමන් ඉටු කරන්නේ කෙතරම් විශාල කාර්යභාරයක්දැයි ඔවුන්ටම නොවැටහුණද, මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දැඩි මානසික හා කායික විඩාව, පාසල් කටයුතු අතපසු වීම සහ නිරන්තර ආතතියයි.
ඔස්ට්‍රියානු තැපැල් සේවය විසින් 2026 සැප්තැම්බර් 14 දින මුහුණත වටිනාකම - යුරෝ 1.00 වන "Austria is helping!" යන තේමාව යටතේ නිකුත් කළ මෙම මුද්දරය මගින් ඉටු කරන්නේ වටිනා මානුෂීය මෙහෙවරකි. සමාජයේ අවධානයට ලක්නොවන මෙම නිහඬ කැපකිරීම් මහා සමාජය හමුවට ගෙන ඒමටත්, "ඔබ තනිවී නැත, සමාජයක් ලෙස අප ඔබගේ කැපකිරීම අගය කරමු" යන පණිවිඩය රාජ්‍ය මට්ටමින් ලබාදීමටත් මෙමගින් හැකි වී ඇත. එය මුද්දරයකින් කෙරෙන අගය කිරීමකි.
මෙම මුද්දරයේ ඇති විශේෂම ලක්ෂණය වන්නේ එහි අඩංගු QR කේතය යි. කේතය ස්කෑන් කිරීමෙන්, ඔස්ට්‍රියානු ෆෙඩරල් අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන Young Carers Austria නිල වෙබ් අඩවිය සහ යෙදවුම වෙත ඍජුවම යොමු විය හැක. සම්ප්‍රදායික මුද්දරය සහ ඩිජිටල් තාක්ෂණයේ සංකලනය මෙහිදී ඉතා කැපී පෙනෙන ලක්ෂණයකි. එහිදී තරුණ රැකබලා ගන්නන්ට අවශ්‍ය හදිසි සහායන්, උපදෙස් සහ තොරතුරු ලබාගැනීමට පහසුකම් සලසා ඇත. සම්ප්‍රදායික මුද්දරයක් ඩිජිටල් තාක්ෂණය සමඟ මුසු කරමින්, ප්‍රායෝගික ගැටලුවකට විසඳුම් ලබාදෙන මෙවලමක් බවට පත්කර ඇත්තේ මනා කළමනාකරණයකිනි.
තැපැල් මුද්දරයක් යනු හුදෙක් ගාස්තු ගෙවීමේ සංකේතයක් පමණක් නොව, රාජ්‍යයක කඩදාසි මත ලියවුණු සජීවී ඉතිහාසය සහ ජාතික අනන්‍යතාවයි. යම් සමාජීය මෙහෙවරක්, ඓතිහාසික සිදුවීමක් හෝ අගනා මානුෂීය අගයක් මුද්දරයකට නැගීම යනු එය රාජ්‍ය මට්ටමින් නිල වශයෙන් ප්‍රලේඛනගත කිරීමකි. ක්ෂණිකව අමතක වී යන ඩිජිටල් සටහන් අතර, මුද්දරයක් යනු කාලයේ වැලිතලාවෙන් වැසී නොගොස් දේශදේශාන්තර පුරා මෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන කුඩා ස්මාරකයකි. එය තරුණ පරපුර තුළ ඉතිහාසය හා සමාජීය වගකීම් පිළිබඳ කුතුහලයක් ඇති කරමින්, ජාතියක් වශයෙන් අප අගය කළ යුතු වටිනාකම් සහ අභිමානය පරපුරෙන් පරපුරට සුරක්ෂිතව දායාද කරන අද්විතීය මාධ්‍යයක් බව මෙවැනි නිර්මාණ මගින් තවදුරටත් තහවුරු වේ.
ඔස්ට්‍රියාවේ අපට කියා දෙන්නේ, සමාජ සත්කාරයන් සහ මානුෂීය ප්‍රශ්න කෙරෙහි ජනතාව දැනුවත් කිරීමට තැපැල් මුද්දරය වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් කෙතරම් නිර්මාණාත්මකව භාවිත කළ හැකිද යන්නයි.
තැපැල් මුද්දරය තවදුරටත් ලියුම් කවරයක අලවන රූපයක් පමණක් නොවන බව සහ එය සමාජයක සංවේදීභාවය සහ මානුෂීය බව ලොවටම කියාපාන කැඩපතක් බව කියාදීමට මුද්දර ගැන දන්නා තැපැල් සේවයක් අත්‍යවශ්‍යය.
වාසනාවට ඔස්ට්‍රියාව එවැනි රටකි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com