15
September
2026
2026 සැප්තැම්බර් 15 දිනට යෙදෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ ‘මැතිවරණ ඊ-සේවාව’ (Election e-Services) තේමාව කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් රුපියල් 70.00 ක වටිනාකමකින් යුත් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු අධ්‍යයන කේන්ද්‍ර (CBS) ශ්‍රවණාගාරයේ පැවැත්වුණු මෙම උත්සවය සඳහා අමාත්‍යවරුන්, වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය, රාජ්‍ය නොවන හා විදෙස් ආයතන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
2016 වසරේදී ආරම්භ කරන ලද මෙම මැතිවරණ ඊ-සේවාව හරහා අද වන විට වසරකට මිලියන 10 කට අධික පිරිසක් (eservices.elections.gov.lk ඔස්සේ) සේවාවන් ලබාගන්නා අතර, ඒ මඟින් ඡන්ද හිමි නාමලේඛනය පරික්ෂා කිරීම, ලියාපදිංචිය, අපේක්ෂක තොරතුරු සෙවීම සහ තැපැල් ඡන්ද අයදුම් කිරීම වැනි කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ අවස්ථාව මහජනතාවට සැලසී ඇත.
මුද්දරයේ මිනිස් අතක් මත තබාගෙන සිටින ඩිජිටල් තේමාවෙන් යුත් ඡන්ද පෙට්ටියක් (X ලකුණ සහිත) ප්‍රධාන දෘශ්‍ය සංකේතය ලෙස භාවිතා කර ඇත. එමගින් නූතන තාක්ෂණය භාවිතයෙන් ජනතාවට තම ඡන්ද අයිතිය සහ ඊට අදාළ සේවාවන් පහසුවෙන් ලබාගත හැකි බව නිරූපණය වේ. එම අත වටා ඇති සර්පිලාකාර ඩිජිටල් පරිපථ, ස්මාර්ට්ෆෝන්, ටැබ්, QR කේත සහ විවිධ ප්‍රජා සමූහයන් (වැඩිහිටි, ආබාධිත, තරුණ) නිරූපණය වන සංකේත මගින් සමස්ත සමාජයටම විනිවිදභාවයෙන් හා පහසුවෙන් මැතිවරණ ඊ-සේවාවට ප්‍රවේශ විය හැකි බව පෙන්වා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නූතන තොරතුරු තාක්ෂණය ඔස්සේ රාජ්‍ය සේවාවන් ජනතාව වෙත ගෙන යාම සහ මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය යාවත්කාලීන කිරීම මෙම සමරු මුද්දර නිර්මාණය මගින් මනාව පිළිඹිබු වේ.
ජනතා පරමාධිපත්‍යය, සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය සහ තාක්ෂණික දියුණුව මෙම අගනා තැපැල් මුද්දරය ඔස්සේ සලකුණු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මැතිවරණ ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් අනාගත පරම්පරාව උදෙසා ලේඛනගත කිරීමට මනා පිටිවහලකි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා, මුද්දර යෝජනාව ඉදිරිපත් කළ මොහොතේ සිට නිකුත් කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පුරාම මැතිවරණ කොමිෂන් සභාවේ අසිරු කරුණාරත්න මහතා දැක්වූ උනන්දුව සහ අඛණ්ඩ පසු විපරම විශේෂයෙන් අගය කළ යුතුය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com