kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


22
August
2026

මුද්දරයක් ලියුම් කවරය මතම තබාගෙන එකතු කිරීමේ ඓතිහාසික අගය

" Burlington Collectibles" සමුහයේ පල කරන ලද "The Discovery of a Lifetime: A Philatelic Journey Through the 2021 Milad Un-Nabi Error Stamp" සටහනේ සිංහල සංක්ෂිප්තයට අනුව 2021 ඔක්තෝබර් මාසයේදී නිකුත් වූ මිලාද්-උන්-නබි (Milad Un-Nabi) සැමරුම් මුද්දරයකින් තමන්ට හමු වූ අති දුර්ලභ මුද්‍රණ දෝෂයක් (Printing Error) සහිත මුද්දර කාණ්ඩයක් පිළිබඳව ඔහු එහිදී විස්තර කරයි. 2021 ඔක්තෝබර් 21 වන දින කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි සහ සීමා මධ්‍යයේ වුවද, සතාර් මහතා කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයට ගොස් නව මිලාද්-උන්-නබි මුද්දර මිලදීගෙන, තමා විසින් සකස් කළ කවරයක් මත මුද්දර 8 ක තීරුවක් (Block of ???? අලවා සිය නිවසේ ලිපිනයට ඔහු තැපැල් කරගෙන තිබේ. තැපෑලෙන් නිවසට ලැබුණු මෙම කවරය මුලින් සාමාන්‍ය එකක් ලෙස අමතක කර දමා තිබුණද, පසුව ඔහුගේ ගුරුතුමා වන මයිකල් කාඕ (Mr. Michael Kao) මහතා ලබා දුන් උපදෙස් අනුව මුද්දර තීරුව පරීක්ෂා කිරීමේදී මෙම විශිෂ්ට දෝෂය ඔහුට දක්නට ලැබී ඇත. "මුද්දර 8 තීරුවේ ඉහළ පේළියේ මුද්දර 4 හි ජාමි උල්-අල්ෆාර් පල්ලියේ (කොටුව රතු පල්ලිය) රූපය, රටේ නම (ශ්‍රී ලංකා, இலங்கை, Sri Lanka) සහ වටිනාකම (15.00) නිවැරදිව මුද්‍රණය වී තිබුණි. පහළ පේළියේ මුද්දර 4 හි පල්ලියේ රූපය පැහැදිලිව තිබුණ නමුත්, එහි රටේ නම සහ වටිනාකම සම්පූර්ණයෙන්ම මුද්‍රණය වී නොතිබුණි. මුද්දරයක රටේ නම සහ වටිනාකම මඟහැරීම අතිශයින්ම දුර්ලභ සිදුවීමකි." යනුවෙන් ඔහු සඳහන් කරයි.

මුද්දරයක් යනු හුදෙක් ගාස්තු ගෙවූ බව පෙන්වන කඩදාසි කැබැල්ලක් හෝ එකතු කරන්නන්ගේ ඇල්බමයක තිබෙන අලංකාර රූපයක් පමණක් නොවේ. මෙවැනි විශේෂිත තැපැල් ආයිත්තම් (Postal Artifacts / Postal History Cover) මගින් මුද්දරයකින් ඔබ්බට ගිය විශාල ඓතිහාසික, සමාජීය සහ සංස්කෘතික වටිනාකමක් අපට කියවා ගත හැකියි.

මුද්දරයක් ලියුම් කවරය මතම තබාගෙන එකතු කිරීම (Cover Collecting / Postal History) තනි මුද්දරයක් ගලවා එකතු කිරීමට වඩා අතිශයින්ම වටිනාකමින් සහ ඓතිහාසික වැදගත්කමින් ඉහළ ය. මක් නිසා ද යත් මුද්දරයක් තැපැල් කවරය මත තිබෙන විට, එය සැබවින්ම තැපැල් පද්ධතිය හරහා ගමන් කළ බවට නිල තැපැල් මුද්‍රා (Postmarks/Cancellations) මගින් තහවුරු වේ. තැපැල් මුද්‍රාවේ සඳහන් දිනය, වේලාව සහ තැපැල් කන්තෝරුවේ නම මගින් අදාළ මුද්දරය තැපෑලට යොදා ගත් බවට නොමැකෙන සාක්ෂියක් සපයයි.

විශේෂයෙන්ම මෙම 2021 මිලාද්-උන්-නබි මුද්දරයේ පහළ පේළියේ රටේ නම සහ වටිනාකම මුද්‍රණය වී නොමැති බැවින් මෙවැනි මුද්‍රණ දෝෂයක් (Printing Error) තනි මුද්දරයක් ලෙස ගැලවූ විට එහි නිරවද්‍යතාව සහ වටිනාකම පිළිබඳ ගැටලු මතු විය හැකි ය. නමුත් එය නිකුත් කළ දින තැපැල් මුද්‍රාව සහිත කවරය පිටින්ම තිබීමෙන් එම දෝෂ සහිත මුද්දරය සැබෑ ලෙසම තැපෑලෙන් ගමන් කළ අති දුර්ලභ එකක් බව තහවුරු වේ. ලියුම් කවරය මත ඇති ලිපිනය, ලියාපදිංචි ලේබල් (Registration Stickers) සහ තැපැල් මුද්‍රා මගින් එකල පැවති තැපැල් ගාස්තු සහ පද්ධතිය පිළිබඳ පූර්ණ චිත්‍රයක් මුද්දර කියවන්නන් වෙත ලබා දෙයි.

මෙම කවරයේ ඇති සුවිශේෂී අංගයක් වන්නේ උඩ පේළියේ නිවැරදි මුද්දර 4 සහ පහළ පේළියේ දෝෂ සහිත මුද්දර 4 එකම තීරුවේ (Block) පැවතීම මගින් මුද්‍රණ දෝෂය පිළිබඳව පැහැදිලිව පෙනී යාම යි. මුද්දරය සහ කවරය යන දෙකම එකට සම්බන්ධ කරමින් වටකුරු තැපැල් මුද්‍රාව වැදී තිබීමෙන් මුද්දර පසුව අලවන ලද්දක් නොවන බව තහවුරු කිරීම පහසු වෙයි. අත් අකුරුරින් "Posted on First Day of Issue" ලෙස සටහන් කර තිබීම සහ ලියාපදිංචි තැපැල් ලේබලය මගින් මෙහි ඓතිහාසික එකතු කිරීමේ අගය (Collectable Value) තව තවත් වැඩි කරයි.

මුද්දරයක් ලියුම් කවරයෙන් ගලවා වෙන් කිරීමට වඩා කවරය සහිතව ම සුරක්ෂිතව තබා ගැනීම මුද්දර එකතු කිරීමේ විෂය තුළ ඉහළම වටිනාකමක් හිමිකර දෙන ක්‍රමයක් වන්නේ එබැවිනි.

ඉතින් ඔබ එකතු කළ යුත්තේ මුද්දර විතරක් නොවේ ..

 


© kiyawanamuddara 2020 | Solution by 4meli.com