10
August
2026
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරය ශ්‍රී ලංකාවට කිසිසේත්ම ආගන්තුක තැනක් නොවේ. මීට වසර 151කට පෙර, එනම් 1875 දී ග්ලාස්ගෝ හි 'සන් ෆවුන්ඩ්‍රි' (Sun Foundry) ආයතනයේදී ජෝර්ජ් ස්මිත් ඇතුළු පිරිස අතින් මනරම් යකඩ දිය උල්පතක් නිර්මාණය විය. කෝපි මලක හැඩයෙන් නිපදවුණු ඒ අපූර්ව නිර්මාණය මුහුදු සැතපුම් දහස් ගණනක් ගෙවා ලංකාවේ මහනුවර නගර මධ්‍යයට පැමිණියේ, එවකට පැවැති කෝපි වගාවේ ස්වර්ණමය යුගයත්, වේල්ස් කුමරුගේ ලංකාගමනයත් සංකේතවත් කරමිනි. එදා ග්ලාස්ගෝවෙන් මහනුවරට ලැබුණු ඒ අලංකාර දායාදය, "කෝපි වැවිලිකරුවන්ගේ දිය උල්පත" (Planters' Fountain) ලෙසින් අදටත් මහනුවර නගරයේ ඓතිහාසික අභිමානය මතුකරමින් පවතී. මහනුවර වේල්ස් කුමරුගේ දිය උල්පත සැබවින්ම අද්විතීය වන්නේ ස්කොට්ලන්තයේ ඩම්ෆ්‍රීස් හි පිහිටා ඇති 1882 දී ඉදිකරන ලද ඩම්ෆ්‍රීස් දිය උල්පත හා සමාන නිවුන් දිය උල්පතක් ලෙස හඳුනාගෙන තිබීම නිසා මෙන්ම, ශ්‍රී ලංකාවේ හොඳම සහ ඓතිහාසික වශයෙන් වැදගත් වික්ටෝරියානු වාත්තු-යකඩ උල්පත්වලින් එකක් ලෙස ඉතිහාසගතව ඇති බැවිනි.
~ මුද්දර සිතුවමකින් යළි පණ ලැබූ ඓතිහාසික මතකය ~
ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් පිරීම (1824–2024) වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරයේ ප්‍රධානතම සංකේතයක් ලෙස තෝරාගනු ලැබුවේද ග්ලාස්ගෝවෙන් මහනුවරට පැමිණි මෙම අගනා දිය උල්පතයි.
ඒ මුද්දර සිතුවම දෙස බලන විට අතීතයත් වර්තමානයත් එකට යා වෙන අපූර්ව ආකාරය දැකගත හැකි අතර, එහි මධ්‍යයේ ඉහළට එසවී ඇත්තේ 1875 දී ග්ලාස්ගෝ හි සන් ෆවුන්ඩ්‍රි හි සාදන ලද යකඩ දිය උල්පතයි. සිතුවමේ දකුණු පසින් 19 වන සියවසේ පැවැති සාම්ප්‍රදායික කෝපි වගාවත්, වම් පසින් සහ පෙරබිමින් නූතන Specialty Coffee සංස්කෘතිය සහ අලුත් අස්වැන්නත් නිරූපණය වන බැවින් කුඩා මුද්දරයක් තුළින් ශ්‍රී ලංකාවේ කෝපි ඉතිහාසයත්, ග්ලාස්ගෝ නගරය සමඟ පැවැති ඓතිහාසික බැඳීමත් විශිෂ්ට දෘශ්‍ය සන්නිවේදනයක් ඔස්සේ ලෝකයටම කියාපෑමට මෙම සිතුවම සමත් වී ඇත.
~ 2026 දී අලුත් වූ ග්ලාස්ගෝ බැඳීම ~
වසර සියයකටත් වඩා වැඩි කාලයක් අතීතයට එකතු වී තිබූ ඒ "ග්ලාස්ගෝ-ශ්‍රී ලංකා බැඳීම" නැවතත් අලුත් වූයේ 2026 ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වුණු 23 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීවය.
එදා 1875 දී ග්ලාස්ගෝවෙන් මහනුවරට යකඩින් කළ කලාත්මක දිය උල්පතක් ලැබෙද්දී, මෙදා 2026 දී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තමන්ගේ අතින් අහසට මුදාහළ "ලෝහමය හෙල්ලය" ග්ලාස්ගෝ අහස සිසාරා මීටර් 89.75ක අතිවිශිෂ්ට දුරක් කරා ඇදී ගියේය. දශක දෙකකට පසුව ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක අභිමානය හිමිකර දෙමින්, ඔහු ග්ලාස්ගෝ හිදී ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් සටහන් කළේය.
~ යකඩ, ලෝහය සහ රන් පදක්කම යා කළ ඓතිහාසික පුරුක ~
එදා 1875 දී ග්ලාස්ගෝ හි යකඩ ශිල්පීන් ස්කොට්ලන්තයේ සිට මහනුවරට ගෙන ආවේ නිර්මාණශීලීත්වයේ සහ සෞන්දර්යයේ අනුරුවකි. වසර 200ක කෝපි ඉතිහාසය සැමරූ සමරු මුද්දරය මගින් ඒ යකඩ දිය උල්පත ජාතික උරුමයක් ලෙස නැවතත් අපගේ මතකයට එක් කළේය. ඊට පසු, 2026 දී ශ්‍රී ලාංකේය ලෙයින් සහ ශක්තියෙන් පෝෂණය වූ රුමේෂ් තරංග ඒ ග්ලාස්ගෝ පසෙහිම සිට මුළු ලෝකයම මවිත කරමින් ජයග්‍රාහී ලෝහ හෙල්ලය අහසට මුදාහැර රන් පදක්කම දිනාගත්තේය.
මහනුවර නගර මධ්‍යයේ ඇති ඒ පරණ දිය උල්පත දෙස අද බලන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට, එකල ග්ලාස්ගෝවෙන් ආ යකඩ මතකයන්, මුද්දරයක සටහන් වූ කෝපි ඉතිහාසය මෙන්ම, නූතනයේදී රුමේෂ් තරංග දිනාගත් ඒ රන් පදක්කමේ අභිමානයද එකට තබා මතක් කරගත හැක. එය නගර දෙකක්, යුග දෙකක්, කලාත්මක නිර්මාණයක්, සමරු මුද්දරයක් සහ ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨත්වය එකට යා කළ අපූරු ඓතිහාසික කතාවකි.
එයින් පැහැදිලි වන්නේ කුඩා සමරු මුද්දරයක් යනු හුදෙක් ගාස්තු ගෙවීමේ සංකේතයක් පමණක් නොව, කාලයේ වැලි තලාවෙන් වැසී යන අතිවිශාල ඓතිහාසික හා සංස්කෘතික කතන්දරයක් අනාගත පරපුර උදෙසා ජීවමානව 'කියවීමට' සැලැස්විය හැකි ප්‍රබල දෘශ්‍ය මාධ්‍යයක් බවයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com