26
December
2025
නත්තල තේමාව කරගත් සමරු මුද්දර අතුරින් මෙවර වඩාත් අවධානය දිනා ගත් මුද්දරය ලෙස කැනඩා නත්තල් මුද්දරය හඳුන්වා දිය හැක. 2025 නොවැම්බර 06 වැනි දින නිකුත් කරන ලද මෙම සමරු මුද්දරය, ළමා කතන්දර පොතක සෞන්දර්යය අනුගමනය කරමින්, හුදෙක් භාවිතයෙන් ඔබ්බට, කියවීමකට ආරාධනා කරයි. මුද්දර සාක්ෂරතාවය සඳහා එවැනි නිර්මාණාත්මක මුද්දර අපුර්ව මාවතක් පෙන්වා දෙයි.
බෙක්ස් මෝර්ලි (Bex Morley) විසින් නිර්මාණය කරන ලද Sputnik Design Partners Inc සැලසුම් කරන ලද මෙම සරල මුද්දර නිර්මාණය තුල ඉතා සංකීර්ණ අදහසක් මතුවන පරිදි ඉතා සුළු තොරතුරකට වැඩි අවධානය යොමු කිරීමේ විශිෂ්ඨ සැලසුම්කරණයක ලක්ෂණ පෙන්නුම් කරයි.
මරිය තුමිය, ජෝසප්තුමා සහ බිළිඳු ජේසු මධ්‍යයේ පිහිටුවා එම මුද්දරය කිතු උපතේ අවස්ථා කිහිපයක් තනි රාමුවකට සම්පීඩනය කරයි. බෙත්ලෙහෙමේ තාරකාව (මඟ පෙන්වීම, අනාවැකිය), හොරණෑවක් පිඹින දේවදූතයා (නිවේදනය, දිව්‍ය සන්නිවේදනය) හා දුරින් සිටින රජ තුන් කට්ටුව (සාක්ෂිකරු, සමාජානුයෝජනය) නියෝජනය කරයි.
තවද, දෘශ්‍යමය වශයෙන්, ළදරු ජේසුස් වහන්සේ හිතාමතාම කාණ්ඩයක අතරමැදි ව සිටී. ජේසු බිලිඳාගේ සිරුරින් රන්වන් රශ්මි මාලාවක් පිටවෙයි. එය දේවදූතයාගේ නලාවේ වර්ණයට සමාන වේ.
එසේම, මෙම මුද්දර රූපයේ ඇඳ ඇති සෙවනැලි ද නිහඬ නමුත් වැදගත් දෘශ්‍ය විද්‍යාත්මක කියවීමකි. මෙහි වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ භූමිය සමඟ සම්බන්ධ සෑම චරිතයක ම සෙවනැල්ලක් පැවතීම යි. මරියතුමිය, ජෝසප්තුමන්, බූරුවා, බැටළුවා සහ රජ තුන්කට්ටුවේ සෙවනැලි මඟින් ඔවුන්ගේ භෞතික පැවැත්ම අවධාරණය කරන අතර, දේව දූතයා දෘශ්‍යමාන සෙවනැල්ලක් නොදක්වයි. මෙය බලගතු සංකේතාත්මක වෙනසකි. සෙවණැල්ලක් නොමැතිකම දෘශ්‍යමය වශයෙන් දේවදූතයා වෙනත් ලොවකට අයත් බව සංකේතවත් කරයි.
මුද්දර නිර්මානයක මෙවැනි ඉතා සුළු අංගයකින් පවා සුවිසල් අර්ථ මතුකර ගත හැක. ඒ සඳහා දෘශ්‍ය සාක්ෂරතාවය ඉතා වැදගත් වෙයි. දෘශ්‍ය සාක්ෂරතාවය යනු දෘශ්‍ය රූප අර්ථකථනය කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ අර්ථය නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. එය මුද්දර කියවීමට ගැළපෙන්නේ තැපැල් මුද්දර පෙළ කියවීමට පෙර දෘශ්‍යමය වශයෙන් කියවීමක් නිර්මාණය කර ඇති බැවිනි.
මේ සියල්ල ම එකවර ම මුද්දරය කුඩා ආඛ්‍යාන ලේඛනාගාරයක් බවට පත් කරයි. සංක්ෂිප්ත සංස්කෘතික ග්‍රන්ථ ලෙස මුද්දර පිළිබඳ නිර්වචනය සහතික කරවයි.
ඔබත් සෙවනැල්ලේ සීමාව හඳුනා ගන්න; මුද්දර කියවන්න එක්වෙන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com