16
December
2025
දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලිය ලෙසින් ශ්‍රාවක මනසේ නොමැකෙන මතක සටහන් තැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය, මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා යි. 2025 දෙසැම්බර් 16 දිනට එකී මෙහෙවරට සියවසක් සපිරුණි.
ගුවන් විදුලියේ සමාරම්භය පිළිබඳ යම් මතභේදාත්මක තත්වයක් පවතින්නේ බොහෝ කලක සිටය. එක පාර්ශවයකගේ අදහස ලංකා ගුවන් විදුලිය ආරම්භ කළේ 1925 දෙසැම්බර් 16 වැනිදා බව හා තවත් පිරිසකගේ අදහස එම දිනය 1924 ජූනි 27 වැනිදා බවත් ය. මේ දෙදිනම සාධක සහිතව ඔවුන් ඉදිරිපත් කරන අතර, එකී මූලාශ්‍ර බොහොමයක් නීත්‍යානුකූල ඒවා වීම ද බරපතල කරුණකි. අදාල තොරතුරු සනාථ කිරීම සඳහා අවැසි මූලාශ්‍ර නිදසුන් සහිතව පෙන්වා දීම මෙම සටහනේ අරමුණ යි.
පසුගිය සියවස තුල ලාංකීය ගුවන් විදුලි සන්නිවේදන ඉතිහාසය නිශ්චිත කරගැනීමට නොහැකිව අපට ඉදිරි ගමනක් පිළිබඳ කතිකාව නිශ්ඵල වන බැවින්, මේ පිළිබඳ නිවැරදි අදහස ජනගත කිරීම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද වගකීමකි.
ලංකා මුද්දර ඉතිහාසය තුල ශ්‍රී ලංකා ගුවන් විදුලි සන්නිවේදන සියවස සමරා 2024 වසරේ සමරු මුද්දරයක් නිකුත් කර ඇති බැවින් "කියවන මුද්දර" අපි ලංකා ගුවන්විදුලි ඉතිහාසය මෙසේ පිරික්සන්නෙමු:
~ ජූනි 27 පාර්ශවයේ අදහස්: ~
ආරම්භක උත්සව වල නිවැරදි දිනය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම මතු කළේ ගුවන් විදුලියේ ඉංජිනේරු එස්. රාජනායගම් මහතා විසින් බව "කලම්බු කෝලින්" (This is Colombo Calling) නම් කෘතියේ සී. එල්. පූජිත ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. 1935 දී ලංකාවේ ඉංජිනේරු සංගමයේ රැස්වීමක දී ඔහු විසින් පවත්වන ලද ලංකාවේ විකාශනය පිළිබඳ දේශනයක දී මේ බව ප්‍රකාශ කර තිබේ.
“On 27th June, 1924, His Excellency the Governor broadcabt message on the occasion of a meeting of the Engineering Association of Ceylon. This is the date when broadcasting was started in Ceylon and it is interesting that this Assoriation is closely connected with the birth of the service. The usual date given, namely 16th December, 1925, actually marks the opening of a new transmitter, and it is incorrect as the date of opening of broadcasting itself."
මූලාශ්‍රය: "This is Colombo Calling", පිටුව 16
ආචාර්ය නන්දන කරුණානායක සහ සේන නානායක්කාර දෙදෙනා සිය පර්යේෂණ නිබන්ධන වල ද්වීතීක මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ 1924 ජූනි 27 වැනිදා ලංකාවේ ගුවන් විදුලි විකාශන කටයුතු ආරම්භ කල බවයි. ගුවන් විදුලිය පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ආචාර්ය නන්දන කරුණානායක මහතා ගුවන් විදුලියේ ආරම්භය පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් ඔහුගේ "66 වසරක ගුවන් විදුලිය" කෘතියේ සඳහන් කර තිබේ. ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් ද, ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද, ඔහු කටයුතු කල බැවින් ඔහුගේ අදහස් පිළිගත හැක මට්ටමක ඇති බව වටහා ගැනීමට අපහසු නොවේ.
"ශ්‍රී ලංකා ගුවන් විදුලිය - වැදගත් සිදුවීම් 1921-1989" කෘතියේ ඔහු සඳහන් කර ඇත්තේ 1924 ජූනි 27 ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කිරීම ලෙසිනි. තවද, අදාල දිනය 1925 තැපැල්පතිවරයාගේ පාලන වාර්තාව උපුටා දක්වමින් ඔහු සනාථ කරයි. එකී වාර්තාව පදනම් කරගෙන එවකට සභාපති එමන් කාරියකරවන මහතා මෙම ගැටලුව පිළිබඳව විමර්ශනය කර වාර්තා කරන ලෙස තම පර්යේෂණ ඒකකයට උපදෙස් දී තිබුණි. ඒ අනුව, 1983 සැප්තැම්බර් 26 සහ ඔක්තෝබර් 12 යන දිනවල පැවති රැස්වීම්වල තීරණය අනුව 1924 ජූනි 27 ගුවන් විදුලිය ආරම්භ කළ බව සංස්ථාව නිල වශයෙන් පිළිගත් බව සඳහන් වේ. (Audience Research Division (Ref 36;10) Inauguration of Broadcasting in Sri Lanka (Ceylon) The Corporation has accepted June 27, 1924 as the date of inauguration of broadcasting in Sri Lanka—vide Corporation decision 709.13 (ii) of 20.10. 83)
මුලාශ්‍රය: "This is Colombo Calling", පිටුව 17
ගුවන් විදුලි විකාශනය ආරම්භ කිරීමේ නිශ්චිත දිනය පිළිබඳ මතභේදය නිවැරදි කිරීම සඳහා දක්වන ලද සියලු උනන්දුව වෙනුවෙන් ස්තුතිය පළකරමින්
අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රේක්ෂක පර්යේෂණ අධ්‍යක්ෂක නන්දන කරුණානායක මහතා විසින් පුජිත ගුණවර්ධන මහතා වෙන යොමුකරන ලද නිල ලිපියකින් ද එය තව දුරටත් සනාථ වේ.
ඒ අනුව, 1984 ජුනි 27 වැනි දිනට යෙදෙන "දියමන්ති ජුබිලිය සැමරීම" සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පැවතුනු අතර, ඒ වකවානුවේ දී හිටපු සභාපති එමන් කාරියකරවන මහතා ගුවන් විදුලියෙන් ඉවත් විය. නව සභාපති වරයා ඔහුගේ පූර්වගාමියාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය අවලංගු කර දියමන්ති ජුබිලි සැමරුම 1985 දෙසැම්බර් 16 වන දිනට නියම කරන ලෙස නියෝග කෙරුණි. පුජිත ගුණවර්ධන මහතා මෙම තත්වය පැහැදිලි කරමින් අතිගරු ජනාධිපතිතුමා වෙත නැවත කරුණු ඉදිරිපත් කල අතර, අතිරේක ලේකම් ජී. පී. එස්. යූ. ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව 1984 ජූලි 24 දිනැති ලිපියේ සඳහන් කර තිබුනේ ගුවන් විදුලි සේවයේ නිත්‍ය විකාශන සේවාව ආරම්භ කරන ලද්දේ 1925 දෙසැම්බර් 16 වන දින බව සනාථ කරන බවකි.
1985 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකා විකාශනයේ දියමන්ති ජුබිලි දිනය ලෙස හඳුන්වා ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) විසින් මෙම අවස්ථාව සැමරීම සඳහා පැයක වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේන නානායක්කාර මහතා සිය ආචාර්ය උපාධිය සඳහා සම්පාදනය කරන ලද පර්යේෂණ නිබන්ධය පසුකාලීනව (2008 වර්ෂයේදී) “ජාතික සංවර්ධනය සහ ලාංකේය ගුවන් විදුලිය” නමින් ශ්‍රාස්ත්‍රීය ග්රන්ථයක් ලෙස එළිදක්වා තිබේ. එහි සඳහන් වන්නේ ද නිශ්චිතවම ලංකා ගුවන් විදුලිය 1924 ජූනි 27 වැනිදා ආරම්භ කරන ලද බවයි. එම කෘතියේ 44 වැනි පිටුවේ සේන නානායක්කාර මහතා විසින් ඩී. එම්. කොළඹගේ මහතාගේ “ගුවන් විදුලි වංශය” කෘතිය උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ලංකා ගුවන් විදුලිය 1924 ජූනි 27 වැනිදා ආරම්භ කරන ලද බවයි. එය මෙසේය: “වාර්තාගත වී ඇති අන්දමට එය ආරම්භ වූයේ 1924 ජූනි මාසයේය. 1924 ජූනි 27 වැනිදා සර් විලියම් හෙන්රි මැනිං, ලංකා ඉංජිනේරු සංගමය වෙත පණිවුඩයක් නිකුත් කළේය. එය විසුරුවා හරින ලද්දේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ සවි කරන ලද ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයක් ඔස්සේ ය" (කොළඹගේ, පි. 9).
මූලාශ්‍රය: ඉන්දික ජයරත්න මහතාගේ ලිපියක් ඇසුරින්.
ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයකු වන කේ. ඩී. කේ. විමලරත්න මහතා විසින් රචිත “Dates and Events” කෘතියේ ලංකා ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ 1924 ජූනි 27 වැනිදා බව එහි 52 වැනි පිටුවේ මෙලෙසින් සදහන් වේ: “1924.06.27 – Official broadcasting inaugurated in Ceylon".
~ දෙසැම්බර් 16 පාර්ශ්වයේ අදහස්: ~
ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදක ඩී. එම්. කොළඹගේ මහතා විසින් රචිත "ගුවන් විදුලි වංශය" කෘතියේ තවත් තැනක ගුවන් විදුලිය 1925 දෙසැම්බර් 16දා සමාරම්භ වූ බව සඳහන් වෙයි.
ආචාර්ය නන්දන කරුණානායක මහතාගේ "ශ්‍රී ලංකා ගුවන් විදුලිය - වැදගත් සිදුවීම් 1921-1989" කෘතියේ 1975 දෙසැම්බර් 16 දිනයට අදාලව මෙසේ සදහන් වෙයි: "නව ගුවන් විදුලි සේවය අරඹා (1925-12-16) වසර 50 ක් ගතවීම නිමිත්තෙන් ගුවන් විදුලි සංස්ථාවේ දී පනස් නමකට සපිරිකර දක්ෂිනාවක් පිරිනමන ලද අතර, විශේෂ සමරු කලාපයක් ද නිකුත් කරන ලදී."
"හඬ" ගුවන් විදුලි සඟරාවේ 2013 අප්‍රේල්-ජූනි 2 වන කාණ්ඩයේ 10 වන කලාපයේ මෙසේ සඳහන්ය: "ගුවන් විදුලියේ ආරම්භය ලෙස සලකනුයේ 1925 දෙසැම්බර් මස 16 වැනිදා යි. 1924 ජූනි මස 27 වැනිදා ලංකා ගුවන් විදුලියේ අනුස්මරණීය දිනයක් බවට පත්ව ඇත්තේ ලංකා ඉංජිනේරු සංගමය අමතා එවකට ආණ්ඩුකාරවරයාව සිටි සර් විලියම් හෙන්රි මැනිං පවැත්වූ දේශනයක් විසුරුවා හැරීම නිස යි. නමුත් නිල වශයෙන් ගුවන් විදුලි විකාශනයක් ඇරඹීම සටහන් කරනුයේ 1925 දෙසැම්බර් 16 වනදාය." මෙම සඟරාවේ සංස්කාරක තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා වන අතර, ප්‍රකාශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි.
ගුවන් විදුලි සංස්ථාව 2021 වසරේදී ගුවන්විදුලියේ 96 වන සංවත්සරය සමරන ලද බවට ද සාක්ෂි දක්නට ඇත. එමෙන්ම, මෙම 2025 වසරේදී ද එම සංවත්සරය ඉතා සංවිධානත්මකව සැමරිණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ "සන්නිවේදකයා" මාධ්‍ය සඟරාවේ 2024 පළමු කලාපයේ මෙලෙසින් සඳහන් ය:
"ගුවන් විදුලිය: 99න් බේරීමට නම් - ආසියාවේ පළමු ගුවන් විදුලි සේවාව වන ලංකා ගුවන් විදුලිය ආරම්භ වූයේ 1925 දී ය. එහි ආරම්භක දිනය ලෙස නිල වශයෙන් සලකනු ලබන්නේ දෙසැම්බර් 16 වන දිනයි. එය මෙරට "ගුවන් විදුලි දිනය" ලෙස සැලකේ."
එමෙන්ම, විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන මඟින් සංවිධානය කරන ලද “අභිසර අභිමන්” ගුවන් විදුලි සියවස් (1925-2025) සැමරුම, 2025 දෙසැම්බර් මස 16 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජේෂ්ඨ ගුවන් විදුලි ප්‍රචරකයින්ගේ සංගමයේ ප්‍රකාශනයක් ලෙසින් වසර 2001 දී එළිදක්වන ලද "ශ්‍රී ලංකා ගුවන් විදුලිය" (Broadcasting in Sri Lanka) කෘතියේ එච්. එම්. ගුණසේකර මහතා මෙසේ සටහන් කරයි: "ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිල වශයෙන් පිළීගෙන ඇත්තේ මෙදිනයි. එනම්,1925 දෙසැම්බර් 16 වෙනිදා යි" ( පිටුව 11).
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණ ජයන්ති සමරු මුද්දර නිකුතුවට අදාලව මුද්දර නිවේදනයේ මෙලෙසින් සදහන් වෙයි: "ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය 1924 ජූලි 22 වන දින පරීක්ෂණ විකාශනයක් ලෙස ආරම්භ විය. එය 1925 දෙසැම්බර් 16 වන දින නිල වශයෙන් දියත් කරන ලදී"
~ 1924 නැවත පටලවා ගැනීම ~
මේ අයුරින් වසර 1925 දෙසැම්බර් 16 දිනට නිල බලයක් ලැබෙන අයුරින් පසුබිම නිර්මාණය වෙමින් පවතිද්දී, 2024 ජූනි 26 වැනි බදාදා "ගුවන් විදුලි සංනිවේදන සියවස 1924 - 2024" නමින් "දිවයින" පුවත්පතේ අතිරේකයට සහ 2024 ජූනි 25 දින "සියවස සපුරන අපේ ගුවන් විදුලියේ මහ ගෙදර" නමින් "මවුබිම" පුවත්පතට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂක සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉන්දික ජයරත්න මහතා විසින් රචිත ලිපි වල දැක්වෙන්නේ "ලංකාවේ ගුවන් විදුලි විකාශන කටයුතු 1924 ජුනි 27 වැනිදා ආරම්භ වූ බව ඉතාමත්ම පැහැදිලි වෙනවා. අන්න ඒ ආරම්භයේ සියවස් සැමරුම නැත්නම් ශතක සැමරුම තමයි අද දවසේ අපි මේ ආකාරයට ආවර්ජනය කරන්නේ" යනුවෙනි.
2025 ජූනි 29 වන ඉරිදා "මොනරා" පුවත්පතේ 16 වැනි පිටුවේ ගුවන් විදුලි සංනිවේදන සියවස වෙනුවෙන් සටහනක් තබා ඇත. ඒ අනුව, 1924 පදනම් වසර ලෙස සලකා ඇති බව පැහැදිලි ය.
එමෙන්ම, 2024 මැයි 15 දින ජාතික ගුවන් විදුලි සේවයේ වෙබ් අඩවියේ "වසර 2024 ජූනි මස 24 දිනට ගුවන් විදුලියේ සියවස් සැමරුම සිදු කර ඇති බව" දක්වා තිබේ. ඒ වෙනුවෙන් ශාස්ත්‍රිය ග්‍රන්ථයක්ද එළිදැක්වීමට නියමිත බව එහි සඳහන් කර ඇත (මූලාශ්‍රය https://www.slbc.lk/articles).
නමුත්, මෙහි ජූනි 24 ලෙස සඳහන්ව ඇත්තේ ජූනි 27 වෙනුවට ය.
එලෙසින්ම, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය 2024 දෙසැම්බර් 16 දින සමරු මුද්දරයක් නිකුත් කර "ශ්‍රී ලංකා ගුවන් විදුලි සන්නිවේදනයේ සියවස අනුස්මරණය" කර ඇත එහි සඳහන් ආකාරයට "ලංකාවේ ප්‍රථම නිල ගුවන්විදුලි විකාශනය 1924 ජූනි 27" බව සඳහන් ය.
"1924 ජූනි 27 වැනි දා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක් ලෙස ආරම්භ වූ ලංකා ගුවන් විදුලිය, මෙම වර්ෂයට, එනම්, 2024 වර්ෂයට ලාංකීය ගුවන් විදුලි සන්නිවේදනයේ ශත සංවත්සරය සමරනු ලබයි." මූලාශ්‍රය: මුද්දර නිවේදනය - 1065
එම සමරු මුද්දරය නිකුත් කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී ගරු ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය මුහුණු පොත් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත: "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරීම නිමිත්තෙන් අද (16 දා) “සියවස අභියස - ජාතික ගුවන් විදුලි සංස්ථාව (1925-2024)" යන්න තේමා කර ගනිමින් කොළඹ ජාතික ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පවත්වන ලද සැමරුම් උත්සවය සඳහා එක් වූයෙමි. සියවසක් අභියස සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙනුවෙන් සැමරුම් මුද්දරයක් ද මෙහිදී නිකුත් කෙරිනි."
නමුත්, එහිදී නිකුත් කල මුද්දරයේ තේමාව "ශ්‍රී ලංකා ගුවන් විදුලි සන්නිවේදන සියවස" යන්න යි. "ගුවන් විදුලි සංස්ථාවට වසර 99 ක් සම්පුර්ණ වීම" නිවැරදි නොවේ. එම දෝෂය මේ වසරේ ද ජනමාධ්‍ය අමාත්‍යංශය ඇතුළුව බොහෝ මාධ්‍ය ආයතන විසින් සිදු කර තිබුණි.
ලංකා ගුවන් විදුලිය 1967 ජනවාරි 5 වන දින 1966 අංක 37 දරන පනත මගින් රජයේ සංස්ථාවක් බවට පරිවර්තනය කෙරිණි. 1967 දී ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මැතිඳුන් විසින් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා හා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි අධ්‍යක්‍ෂ ජනරාල් නෙවිල් ජයවීර මහතා සමඟ අලුතින් පිහිටුවන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ඒ අනුව, "ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සමරුව" යෙදෙනුයේ වසර 2067 දී ය. එමෙන්ම, "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණ ජයන්තිය (1967-2017)" වෙනුවෙන් මුද්දර කාර්යාංශය 2017 ජනවාරි 05 වැනිදා සමරු මුද්දරයක් ද නිකුත් කර තිබේ.
2024 වසරේදී නිල වශයෙන් "ගුවන් විදුලි සියවස" සැමරූ ලංකා ගුවන් විදුලි සේවය, 2025 වසරේදී ද නැවත වරක් ගුවන් විදුලි සියවස සමරන ලදී. එකම ආයතනයක් හෝ සේවයක් සියවසක සැමරුම දෙවරක් සිදු කිරීම අපේක්ෂා නොකළ සිදුවීමකි.
මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ 1924 ජූනි මස 27 වන දින එවකට ආණ්ඩුකාරයා වූ සර් විලියම් හෙන්රි මහතා ලංකා ඉංජිනේරු සංගමය අළලා කරන ලද කථාව ගුවන් විදුලිය ඔස්සේ එදින ප්‍රචාරය කිරීම නිසා ය. එබැවින් ලංකා ගුවන් විදුලිය ජූනි 27 වන දින ආරම්භ වූවා යැයි සැලකේ. එතැන් සිට සතියට දින දෙකක්, බ්‍රහස්පතිදා සහ ඉරිදා යන සීමිත කාලයන් හි දී ගුවන් විදුලි සේවය ක්‍රියාත්මක කෙරිණි.
එහෙත්, 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් සාමිවරයා විසින් කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කල අතර, එතැන් සිට දෛනික වශයෙන් ගුවන් විදුලිය සිය සේවය පවත්වාගෙන ගියේය.
මෙම සීමිත සේවයේ ආරම්භය සහ දෛනික සේවයේ ආරම්භය හේතු කොට ගෙන ලංකා ගුවන් විදුලි සේවයේ සමාරම්භය මෙවැනි ව්‍යාකුල තත්වයකට පත් කර ඇත.
එසේම, 1924-2024 පරිජේදය "ශ්‍රී ලංකා ගුවන් විදුලි සන්නිවේදන සියවස" සමරු මුද්දරය මගින් නිශ්චය කර තිබිය දී, 1925-2025 පරිජේදය "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම" ලෙසින් ද සමරනු ලැබුවේ "ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ නිල ශත සංවත්සරය" බව ද මේ තොරතුරු අනුව පැහැදිලි වෙයි.
මුද්දර, ඒවා සිහිපත් කරන සිදුවීම් වලින් බොහෝ කලකට පසුව නොනැසී පවතින දෘශ්‍ය ඓතිහාසික ග්‍රන්ථ ලෙස කියවිය හැකිය. (Stamps may be read as visual historical texts that survive long after the events they commemorate.)
ඒවා කියවන විට මේවා හමුවෙයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com