18
June
2025
කොළඹ මහ නගර සභාවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබා ගනිමින් ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපති ධූරයට පත් විය. ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගර සභාවට තේරී පත් වූ දෙවන පුරපතිනිය ලෙස ඇය අලුතින් පිටුවක් පෙරලීමට සැරසෙන්නීය.
අපි කොළඹ නගර සභා ඉතිහාසයට යමු:
වසර 1848 දී ඉංග්‍රිසීන් ගෙන් නිදහස ලබා ගැනීම උදෙසා දෙවන වරටත් දියත් වූ අරගලය වූ මහතලා හටනේ පුරෝගාමීන් වූයේ ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, හඟුරන්කෙත ඩිංගිරාල, කුඩාපොල ස්වාමීන් වහන්සේ වැන්නවුන්ය. එවකට අණුඩුකාරධූරන්දර ටොරින්ටන් සාමිවරයා හමුදාව යොදවා මෙම අරගලය කෘෘර අයුරින් මර්ධනය කරනු ලැබූ අතර, ඔහුගේ ක්‍රියා කලාපය පසුව බ්‍රිතාන්‍ය රජයේ ද දෝෂදර්ශනයට ලක් විය. මෙරට ගොවිජනතාව කෙරෙහි ඉංග්‍රීසි ආණ්ඩුවේ සැලකිල්ල ප්‍රමාණවත් නොවන බැව් මෙම සිදුවීම හරහා වටහාගත් ඔවුනට යම් ආකාරයක ස්වයං පාලන ක්‍රමයක් ලංකාවට ලබාදීමේ අවශ්‍යතාවය දැඩිව මතුවෙමින් පැවතුනි. එහෙයින්, කොළඹට මහ නගර සභාවක් ලබාදීය යුතු බවට යෝජනාවක් වසර 1850 දී බ්‍රිතාන්‍ය රජය සම්මත කරනු ලැබීය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත වූ එම යෝජනාව ප්‍රකාරව කොළඹ නගරය තුළ නාගරික සභාවක් ස්ථාපනය සඳහා වසර 1865 දී ව්‍යවස්ථාදායකයට පනතක් ඉදිරිපත් විය. ඊට සමගාමීව වසර 1865 නොවැම්බර් 25 වන දින ප්‍රසිද්ධ කරන ලද නිවේදනයකින් කොළඹ නගරයේ සීමානිර්ණ කටයුතු සිදුකර තිබේ. ඒ අනුව කොල්ලුපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොටුව, සාන්ත බස්තියම, පිටකොටුව, සාන්ත පාවුළු, නිව් බසාර්, කොටහේන සහ මරදාන යන ප්‍රදේශ ඊට අයත් වී ඇත. ඉක්බිතිව දෙසැම්බර් 8 වැනිදා නාගරික මංත්‍රීවරුන් වශයෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් ලබාඇති ගෘහමූලිකයින්ගේ ලේඛණයක් පිළියෙල කොට එම නම් පරීක්ෂාකර බැලීමට සහ අවශ්‍ය සංශෝධනයක් සඳහා දින 14 ක කාලයක් ලබා දී තිබුණි. එම සීමාව ඉක්මවීමෙන් පසුව මංත්‍රීවරුන් තෝරාපත්කර ගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් රැස්වීම් පැවැත්වෙන බැව් (මැතිවරණ) රජයේ ගැසට් සහ රජයේ ප්‍රවෘත්ති පත්‍ර මඟින් ප්‍රසිද්ධ කරනු ලැබීය.
එම රැස්වීම් වසර 1866 ජනවාරි 12,13 හා 15 යන දිනයන්හි පවත්වන ලදී. මෙලෙසින් පත්වූ නාගරික මංත්‍රීවරන් ප්‍රථම වරට රැස්වී ඇත්තේ වසර 1866 ජනවාරි 16 වන දින දීය.
කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල නගර සභා කතන්දරයේ සුවිශේෂී අංගයක් වශයෙන් සලකනු ලබයි. විහාර මහාදේවි උද්‍යානයට යාබදව පිහිටි නගර සභා ගොඩනැගිල්ලට පෙර කොළඹ නගර සභාවේ කටයුතු සිදු කර තිබුනේ පිටකොටුව බෝධිරාජ මාවතේ කෙලවරේ පිහිටි අදටත් දැකගත හැකි ගොඩනැගිල්ලකය. එය එවකට කීර්තිමත් ගෘහ නිර්මාණශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර්ගේ සැලැස්මකට අනුව වසර 1870 දි වැඩ ආරම්භ වී 1873 විවෘත කරන ලද්දකි.
නගර සභාවේ කටයුතු පුළුල්වත්ම මෙම ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව නගර ශාලවක් ඉඳි කිරීම සඳහා වන යෝජනාවක් වසර 1907 දෙසැම්බර් 13 වන දින සම්මත කර ගනු ලැබීය. මේ සඳහා සුදුසු භූමි භාගයක් සොයා ගැනීමට තිබු අපහසුතාවත් වැයවන විශාල මුදලත් හේතුකොට ගෙන මෙම කටයුත්ත දිනෙන් දින කල් ගියේය. පසුව, කොළඹ නගර නිර්මාණයේදී සුවිශේෂී මෙහෙයක් ඉටුකළ ලෝක ප්‍රකට නගර නිර්මාණ ශිල්පී මහචාර්ය පැට්‍රික් ගේඩ්ස් මහතා වසර 1921 දී කොළඹ නගර සභා ගොඩනැගිල්ල සඳහා වන වත්මන් භූමිය යෝජනා කරනු ලැබු අතර, ඊට සැමගේ අනුමැතිය හිමිවිය.
එවකට අතිශය කාර්යබහුල පිටකොටුව වැනි ප්‍රදේශයක සිට වත්මන් ස්ථානය දක්වා නගර සභාව ගෙන යාමේදී බදු ගෙවන්නන්ට ලඟාවිය නොහැකි, ප්‍රවාහන පහසුකම් නොමැති හුදකලා ගොඩනැගිල්ලකට ගෙන යන බවට මහජන විරෝධතා ඇතිවුවද, එම නගර නිර්මාණ ශිල්පියාගේ ඉදිකිරීමේ විශිෂ්ටත්වය අදටත් මනාව පැහැදිලිය.
නගර සභා ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා සුදුසු සැලැස්මක් තෝරා ගැනීම වෙනුවෙන් තරඟාවලියක් පවත්වන්නට යෙදුනි. මෙහිදී ප්‍රථම ස්ථානය ලැබූ සිංගප්පූරුවේ රැල්ෆ් බූට් සහ සමාගමේ එස්. ජේ. එඩ්වර්ඩ්ස් මහතාගේ සැලැස්මකට අනුව වත්මන් නගර සභා ගොඩනැගිල්ල නිර්මාණය විය. නව ගොඩනැගිල්ල සඳහා වසර 1924 දී එවකට කොළඹ නගරාධිපති ටි. රීඩ් මහතා විසින් මුල්ගල තිබු අතර, ඉඳි කිරීම් කටයුතු සිදු කරන ලද්දේ ඒ. ඒ. ගැවන් සමාගම විසිනි. මෙම මනරම් ඉඳි කිරීම සඳහා රුපියල් 1,500,000 පමණ මුදලක් වැයවී තිබු අතර, වසර 1928 අගෝස්තු 08 වැනිදා කොළඹ නව නගර ශාලාව හෙවත් පුරහල මහජනතාවට විවෘත විය. එවකට පෙරදිග එම වර්ගයේ හොඳම ගොඩනැගිල්ල බවට පත්ව තිබුනේ කෙළඹ නගර සභා ගොඩනැගිල්ලයි.
කොළඹ මහ නගර සභාව රජුන් තනන දේශපාලන තිඹිරිගෙයකි. හිටපු ජනාධිපතිවරුන් වන ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතුන් මෙන්ම විවියන් ගුණවර්ධන මහත්මිය වැන්නවුන් සිය ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කලේ කොළඹ මහ නගර සභාවට තරඟ කරමිනි.
කොළඹ නගර සභාවේ බලය යනු එක්සත් ජාතික පක්ෂයේ උරුමය ලෙස සැලකිය හැකි තත්වයක් පසුගිය දශක ගණනාවක් පුරා පැවතුනි. 1946 දී කොළඹ මහා නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය අතට පත් වන අතර, ඉන් පසු අවස්ථා 24 න් 22 වතාවක්ම කොළඹ නගරාධිපති වූයේ එක්සත් ජාතික පක්ෂයේ සභිකයෙකි. ඉතිරි අවස්ථා දෙකෙහි දී වසර 1954 සිට 1956 දක්වා එන්. එම්. පෙරේරා මහතා (ලංකා සම සමාජ පක්ෂය) ද, වසර 2006 සිට 2010 කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වූ ස්වාධීන අපේක්ෂක උවයිස් මොහොමඩ් ඉමිටියාස් මහතා ද නගරාධිපති බවට පත්විය.
එබැවින් ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ නගරාධිපති ලෙස පත්වීම ඓතිහාසික කාරණයක් වෙනවා සේම, එතුමිය කොළඹ නගරාධිපති ලෙස පත් වූ දෙවෙනි කාන්තාව ලෙසද ඉතිහාස ගත විය.
අගනුවර පරිපාලන මධ්‍යස්ථානය ලෙස කොළඹ නගර සභාව නීත්‍යානුකූල කිරීම සඳහා රාජ්‍යයන් විසින් තැපැල් මුද්දරය භාවිතා කිරීම පිළිබඳ නිදසුන් කීපයක්ම දක්නට ලැබේ.
කොළඹ නගර සභාවේ ශත සංවත්සර සැමරුම වෙනුවෙන් වසර 1965 ඔක්තෝබර් 29 වන දින වටිනාකම ශත 25 ක් වූ තැපැල් මුද්දරයක් නිකුත් කරන ලද අතර, ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ ජන්ම ශත සංවත්සර සමරු මුද්දරය වසර 1981 ජූනි 06 වන දින නිකුත් කර තිබේ. යටත්විජිත යුගයට අයත් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි යන තේමාව යටතේ වසර 2012 සැප්තැම්බර් 11 වන දින කොළඹ නගර සභාවේ රුව සහිත වටිනාකම රුපියල් 15.00 ක් වූ තැපැල් මුද්දරයක් නිකුත් කර තිබේ. එමෙන්ම, කොළඹ මහ නගර සභාවේ 150 වන සංවත්සරය වෙනුවෙන් වසර 2015 දෙසැම්බර් 14 වැනිදා සමරු ග්‍රන්ථයක්, රුපියල් 500 ක සමරු කාසියක් සහ වටිනාකම රුපියල් 10 ක් වූ නව තැපැල් මුද්දරයක්ද නිකුත් කර ඇත.
නාගරික නීත්‍යානුකූලභාවයේ (Urban Legitimacy) මාධ්‍යයක් ලෙස තැපැල් මුද්දරය කොළඹ නගර සභා අනන්‍යතාවය රාමු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ජා කිරීමට සහ අලුත් විධිහකට තැපැල් මුද්දරයෙන් කොළඹ කියැවීමට අපි ඔබටත් ආරාධනා කරන්නෙමු.
නව නගරාධිපතිතුමියට අපගේ උණුසුම් සුබ පැතුම් !
© kiyawanamuddara 2020 | Solution by 4meli.com