31
March
2025
ඉස්ලාම්වරුන් විසින් මහත් හරසරින් සමරනු ලබන ඊද් අල්-ෆිතර් (Eid al-Fitr) සහ ඊද් අල්-අදා (Eid al-Adha) උත්සව ද්විත්වය සිහිපත් කරමින් රාමසාන් තේමාව යටතේ 2025 වසර වෙනුවෙන් කැනඩාවේ නිකුත් කරන ලද විශේෂ මුද්දරය, මුල්දින කවරය සහ ඒ ආශ්‍රිතයන් 2025 මාර්තු 10 වන දින කැනඩා තැපැල් සේවය (Canada Post) අඛණ්ඩව හත් වන වරටත් නිකුත් කරන ලදී. එය කැනඩාවේ සංස්කෘතික විවිධත්වය සැමරීම සඳහා සන්නිවේදන සහ මහජන සම්බන්ධතා මෙවලමක් බවට තැපැල් මුද්දරය පත්කර ගැනීමේ කැපවීම පිළිබඳ සාක්ෂියකි.
රාමසාන් සමය ඉස්ලාමීය දින දර්ශනයේ ශුද්ධ වූ මාසයකි. ලොව පුරා සිටින මුස්ලිම්වරු, උපවාස මාසය වන රාමදාන් මාසයේ අලුයම සිට හිරු බැස යන තෙක් චාරිත්‍රානුකූල නිරාහාර නමස්කාරයේ යෙදෙමින් අධ්‍යාත්මික වර්ධනය සහ ස්වයං-පවිත්‍ර වීම සිදුකරනු ලබයි. ඊද් අල්-ෆිතර් නොහොත් උපවාසය බිඳීමේ උත්සවය රාමසාන් සමයේ අවසානය සනිටුහන් කරයි. එමෙන්ම ඊද් අල්-අදා නොහොත් පූජාවේ උත්සවය හජ් වන්දනාවේ අවසානය සනිටුහන් කරයි. මෙම උත්සව දෙකම අවශ්‍යතා ඇති අය සඳහා සංවේදනය සහ පරිත්‍යාග කිරීම, සහ කෙනෙකුගේ ප්‍රජාව සහ වැඩි මනුෂ්‍යත්වය අගය කිරීම ඇතුළු මධ්‍යම ඉස්ලාමීය පිළිවෙත් සහ සාරධර්ම මූර්තිමත් කරයි.
අනෝන්‍ය බැඳීම, සමාජ සබඳතා සහ ජාතික එකමුතුව ප්‍රවර්ධනයට තැපැල් මුද්දරය තරම් සුලභ සහ සුදුසු වෙනත් මූලාශ්‍රයක් නොමැති බව අපගේ විශ්වාසයයි. අනෙකාගේ සංස්කෘතිය, මුද්දරයේ දෘශ්‍ය රූප හරහා ඉතා පහසුවෙන් කියැවිය හැකි බව මෙම නිකුතුවද අපට කියාදෙයි. එය විවිධත්වයේ විචිත්‍රත්වය පිළිබඳ විසිතුරු කතන්දරයක් ලොවටම පවසමින් ඉතිහාසය පිළිබඳ අපූරු ඉදිරිපත් කිරීමක් ඔබ වෙත ගෙන එයි.
කැනඩා ඊද් මුද්දර මාලාවට අද්විතීය එකතු කිරීමක් ලෙසින් මෙම 2025 මුද්දරයේ කැනේඩියානු යාඥා පලසක (Prayer rug) සිතුවමක් ඇතුලත් කර ඇත.
.
යාච්ඤාව යනු දිනපතා කිහිප වතාවක් සහ ඊද් අල්-ෆිතර් සහ ඊද් අල්-අදා ඇතුළු විශේෂ දිනවල සිදු කරනු ලබන මුස්ලිම් ඇදහිල්ලේ කුළුණකි. වර්ණවත් පලස් යාච්ඤාවේ ක්‍රියාව අලංකාර කිරීමට සහ ඊට අවධානය යොමු කිරීමට උපකාරී වන අතර, තෑගි දීමේ සහ සංස්කෘතික හුවමාරුවේ වැදගත් කාර්යභාරයක් එමඟින් ඉටු කරයි. බොහෝ විට ස්වදේශීය රටාවන්, සංකේත සහ සිතුවම් සහිතව මේවා නිර්මාණය කෙරේ.
මුද්දරයේ සිතුවම් කර ඇති පලසේ ඇල්බර්ටාහි විවිධ භූ දර්ශන සහ සුවිශේෂී සෘතු විදහා දැක්වේ. ස්වභාවික භූ දර්ශනවල විවිධත්වයෙන් ආශීර්වාද ලද කැනඩාවේ ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තය ආදි මුස්ලිම් පදිංචිකරුවන්ගේ පරම්පරාගත භූමියක් ලෙස සැලකේ. එහි භූ දර්ශනය සහිත මෙම පලස 1938 දී ඇල්බර්ටා නගරයේ එඩ්මන්ටන් (Edmonton) හි ඉදිකරන ලද කැනඩාවේ පළමු මුස්ලිම් පල්ලිය වන අල්-රෂීඩ් (Al-Rashid) ගොඩනැගීම සඳහා ප්‍රජාවන් එකට එක්වීමේ ඉතිහාසය සහ බෙදාගත් සම්ප්‍රදායන් යලි සිහිපත් කරවයි.
මුද්දරය, මුල්දින කවරය සහ පොත් පිංච නිර්මාණය ඔවුන්ගේ සැබෑ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඑලයකි. මුස්ලිම් රෙදි වියන්නෙකු වන නූර් ඉක්බාල් (Noor Iqbal), කිට් ක්‍රේවන් (Kit Craven) සහ ක්‍රිස්ටීන් ඩෝ (Christine Doe) විසින් නිර්මාණය කරන ලද මෙම මුද්දරය, ස්වදේශික වැඩිහිටියන් සහ කැනඩාවේ මුල් මුස්ලිම් පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන් සමඟ සිදුකරන ලද පර්යේෂණයක් මත පදනම්ව නිර්මාණ කර ඇත. නිර්මාණාත්මක සංකල්පය සහ ක්‍රියාත්මක කිරීම, විෂය පර්යේෂණ, නිර්මාණ අධ්‍යක්ෂණය, වර්ණ ගැන්වීම සහ මුද්‍රණය සඳහා තවත් පාර්ශවකරුවන් රැසක් එක් වී ඇත.
කැනඩා තැපැල් පරිපාලනය පවසන්නේ "මුද්දරය, ඉතිහාසය සමඟ අපව බද්ධ කරන සහ අප එකට ගොඩනඟන අනාගතයත් පිළිබඳ මතක් කිරීමක් ලෙස සේවය කරයි. ඔවුහු අපව තවදුරත් කැනඩා සංස්කෘතියට මුහු කරයි. එකමුතුකමේ සහ උරුමයේ මෙම සංකේතය රට පුරා බෙදී ඇති බැවින්, අදටත් අපගේ ප්‍රජාවන් හැඩගස්වන සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය ගෞරවය අපි සමරමු (The stamp serves as a reminder of the history that connects us and the future we are building together. Now, as this symbol of unity and heritage is shared across the country, we celebrate the spirit of solidarity and mutual respect that still shapes our communities today)" යනුවෙනි.
අනෙකාගේ සංස්කෘතිය කියවන මුද්දර නිකුත් කිරීමට කැනඩාව දිරි ගන්වන්නේ කවුද?
පොහොසත් සංස්කෘතික ඉතිහාසයක් ඇති රටවල බොහෝ විට විචිත්‍රවත් තැපැල් මුද්දර සම්ප්‍රදායන් ඇත. උරුමය, කලාව, වැදගත් සිදුවීම් සහ ජාතික අභිමානය ප්‍රදර්ශනය කිරීම සඳහා තැපැල් මුද්දර කුඩා කැන්වසයන් ලෙස ක්‍රියා කරනා බැවින්, පොහොසත් ජාතියකට ඔවුන්ගේ සංස්කෘතික ගැඹුර පිළිබිඹු කරන පුළුල් මුද්දර ඉතිහාසයක් ගොඩ නැගීමට හැකිය.
ඒ සඳහා මුද්දරය සංස්කෘතික මෙවලමක් බව මුලින්ම හඳුනාගත යුතුය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com