kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


17
April
2024

නෙළුවේ මුද්දර කියවන හඬ ඔබට ඇසෙනවද?

නෙළුව යනු ගාල්ල දිස්ත්‍රික්කයේ එක් කොනක පිහිටි සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයකි. සිංහරාජයට මායිම්ව තවත් කඳු සහ වැසි වනාන්තර කිහිපයකින්ම වටව පිහිටා ඇති නෙළුව හරහා ගලා බසිනා ගිං ගඟ, දිය ඇලි රැසක් දායාද කරයි. සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුමයකි. ජෛව විවිධත්වයේ තෝතැන්නක් වූ මෙමෙ පරිසර පද්ධතිය ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේදී නම් කර අනතුරුව 1989දී ලෝක උරුම රක්ෂිතයක් ලෙසද නම් කරන ලදී. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික මණ්ඩලයේ 50 වන සංවත්සරය නිමිති කොට ලංකාවේ ලෝක උරුම සහිත සමරු මුද්දරයක් 1999 නොවැම්බර් 16 දින නිකුත් කර ඇති අතර සොබාදහමේ චමත්කාරය යන තේමාව යටතේ 2002 අප්‍රේල් 10 දින ද සිංහරාජ වනාන්තරය සිතුවම් කල සමරු මුද්දර නිකුතුවක්  සිදු කර තිබේ.

මේ කතන්දරය සිංහරාජය පිළිබඳව නොවන නමුදු ඒ මෙහෙවර හා සමාන සමාජ සංස්කෘතික කටයුත්තක් පිළිබඳවයි. නෙළුව තැපැල් කාර්යාලය මගින්  ප්‍රථම වරට පවත්වනු ලැබූ ඉතා දුර්ලභ මුද්දර එකතුවක් සහ තැපැල් සේවයේ මෙහෙවර පිළිබද ප්‍රදර්ශනයක් පසුගිය 2024 අප්‍රේල් 17 දින නෙළුව එම  තැපැල් කාර්යාල පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුණි.

අනාධිමත් කාලයක සිට පැවැත එන විශිෂ්ඨ සන්නිවේදන සේවාව තැපැල් සේවාව වඩාත් විධිමත් කරන ලද මුද්දර, මුල් දින කවර සහ ඉතිහාසය සැබෑ අයුරින් පහදාලන  තැපැල් මෙවලම් මෙහි දී ප්‍රදර්ශණය කෙරුණි. එමඟින් තැපැල් සේවය සහ සමරු මුද්දරය අතර ඇති අනෝන්‍ය බැදීම පිළිබඳව වඩාත් අවබෝධයක් ලබාගැනීමට හැකිවූ බව බොහෝ ප්‍රතිචාර සහතික කරයි.

නෙළුව තැපැල් ස්ථානාධිපති නයනා සදමාලී වික්‍රමසිංහ මහත්මියගේ  පූර්ණ මග පෙන්වීම යටතේ එහි කාර්ය මණ්ඩලය  විසින් මනාව සංවිධානය කරන ලද ප්‍රදර්ශනය මෙතරම් සාර්ථකව සිදුකරන ලද්දේ  දකුණු පළාතේ නියෝජ්‍ය තැපැල්පති රවින්ද්‍ර ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙනි. දෙපාර්තමේන්තුවෙන් කිසිදු වැය කිරීමක් නොමැතිව ඒ සියලුම පිරිවැය  තැපැල් ස්ථානාධිපතිය සහ සෙසු කාර්ය මණ්ඩලය සිය පුද්ගලික මුදලින් පිරිමසාගෙන සිදුකරන ලද මෙම අගනා මෙහෙවර සැබෑ ජනහිතකාමී තැපැල් සේවයක අගය අපට නැවත නැවතත් සිහිපත් කරවයි. 

රාජකාරියෙන් ඔබ්බට තැපැල් සේවයේ සහ තැපැල් මුද්දරයේ ජාතික වගකීම හඳුනාගත් මෙවන් නිලදරුවන් සහ කාර්ය මණ්ඩල නිරතුරුව පුබුදන දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පතිතුමන්ගේ මෙහෙවර සහ අනාගත දැක්ම  පැසසිය යුතුය. නෙළුව ජාතික පාසල, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් මෙම අගනා කටයුත්තේ සමාජීය වටිනාකම හඳුනාගෙන තිබේ. 

ඉතිහාසයේ ප්‍රථම වරට සිංහරාජය අවටින්  තැපැල් මුද්දර, මුද්දර එකතුකිරිම සහ එය තවදුරත් ප්‍රවර්ධනය කරනා  මුද්දර සාහිත්‍යය  පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් සහ උද්යෝගයක් මතුව තිබේ.

සරල එකතු කිරීමේ විනොදාන්ශයෙන් ඔබ්බට ඉතිහාසය ලේඛන ගත කිරීමේ ප්‍රවේශයක් ලෙස  සහ ඉතිහාසය කියවීමේ මූලයක් වන තැපැල් මුද්දරයෙහි දෘශ්‍ය මූලාශ්‍රයක් සහ ඉගෙනීමේ සහ ඉගැන්වීමේ ආධාරකයක් ලෙසින්ද ගැඹුරු කියවීමේ  ප්‍රවේශයන්ද සිංහරාජයට අවැසි නොවේද? 

ඒ සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙලක පෙරමුණ ගැනීමට "කියවන මුද්දර" අපි නිරතුරුව සුදානම්. ඒ සඳහා ඔබටත් දායක විය හැකි නම් අපිට කියන්න.
පෙරළු නැවුම් පසක අලුත් බීජ සිටුවීමට මේ හොඳම කාලයයි.


විශේෂ ස්තුතිය: ජයාරූප  Neluwa Galle Sri Lanka ෆේස්බුක් පිටුව සහ රුචිර බණ්ඩාර 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com