08
April
2024
2024 මාර්තු 14 දින කැනඩා තැපැල් සේවය ඔවුනගේ ප්‍රථම සූර්යග්‍රහණ මුද්දරය නිකුත් කරමින් ඓතිහාසික පූර්ණ සූර්යග්‍රහණක සපැමිණීම වෙනුවෙන් මුද්දරග්‍රහණයෙන් බලාපොරොත්තු දල්වන ලදී.
අප්රේල් 8 වන දින සිදු වූ එම සූර්යග්රහණයේ මාර්ගය උතුරු ඇමරිකාවේ විශාලතම විශාලතම රටවල් තුන වන මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව හරහා ගමන් කරන මෙම සියවසේ ප්‍රථම හා එකම අවස්ථාව මෙය වූයේය. විස්මය දනවන සංසිද්ධිය තවත් වසර 20 කට කැනඩාවේ දෘශ්‍යමාන නොවනු ඇත.
කලකට පෙර අසුබ පෙර නිමිත්තක් ලෙස සැලකූ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ චන්ද්‍රයා සූර්යයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම අවහිර කළ විටය. දර්ශනය ආසන්න වශයෙන් පැය දෙකක් පුරා දිග හැරෙන නමුත් සූර්යයා නොපෙනී යන විට සහ එහි වර්ණ ගෝලයෙන් සහ කිරීටයෙන් ඇති කරවන දීප්තිය මඟින් රාමු කරන සඳෙහි පරිපූර්ණ ජායාව වටිනා මිනිත්තු කිහිපයකින් එහි උපරිමයට පැමිණේ. මෙම විශ්මය දනවන සංසිද්ධිය සෑම වසර තුනකටම දෙවරක් පමණ සිදු වන අතර, එය සාමාන්‍යයෙන් සෑම වසර 400 කට වරක් පෘථිවියේ දී ඇති ස්ථානයක සිට දෘශ්‍යමාන වේ.
කැනඩාවේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ හිටපු විධායක අධ්‍යක්ෂ රැන්ඩි ඇට්වුඩ් පවසන්නේ “පූර්ණ සූර්යග්‍රහණයක් යනු මෙතෙක් ඔබ දකින විස්මිතතම ස්වාභාවික සිදුවීමයි. “ඔබ අපේක්ෂා කළ යුතු දේ ඔබ දන්නවා යැයි ඔබ සිතනවා විය හැකිය, නමුත් සැබෑ දෙය ඊට වඩා අතිමහත් ය" (“A total solar eclipse is, by far, the most amazing natural event you’ll ever see. You may think you know what to expect, but the real thing is much more overwhelming) යනුවෙනි.
රිචඩ් නල්ලි-පෙට්ටා (Richard Nalli-Petta) නම් නිර්මාණකරු ගේ ඡායාරූපකරණය සහ Michal Karcz විසින් නිදර්ශනය කරන ලද රූප සටහන් එකතුවක් යොදා ගනිමින් Color Innovations විසින් මුද්‍රණය කර මෙම සූර්යග්‍රහණ මුද්දරය නිර්මාණය කර ඇත. මෙම නිකුතුවට ස්ථීර දේශීය මිල සහිත මුද්දර 10කින් යුත් පොත් පිංච 200,000ක් සහ ඔන්ට් හි නයගරා ඇල්ලේදී අවලංගු කරන ලද නිල මුල්දින කවර 6,000ක් ඇතුළත් වේ.
කළු ආලෝකයට නිරාවරණය වන විට දිදුලන විශේෂ ස්පොට්-ග්ලොස් වාර්නිෂ් (spot-gloss varnish) වර්ගයකින් මුද්දරය මුද්‍රණය කර ඇති අතර, එය අඳුරු අහසකට එරෙහිව සූර්යග්‍රහණය පෙන්වයි. මුද්දර රූපය මගින් සූර්යයා පූර්ණත්වයේ මොහොතේ මෙන්ම නිරිතදිග ඔන්ටාරියෝ හි ඇතුල් වීමේ ස්ථානයේ සිට නැගෙනහිර නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ හි පිටවන ස්ථානය දක්වා සූර්යග්‍රහණයේ මාර්ගය පෙන්වන රේඛාවක් නිරූපණය කරයි. මුද්දරයේ පහත කොටස දිගේ ඔන්ටාරියෝ හි නයගරා ඇල්ල සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ හි ස්පිලර්ස් කෝව් ඇතුළුව සුර්ය ග්‍රහණය පසුකර යන භූ දර්ශන කිහිපයක් ඉස්මතු කරයි.
කැනේඩියානුවන් සිය ඉතිහාසය ලේඛන ගත කිරීමේ මෙවලමක් ලෙස සමරු මුද්දරය ඉතා නිර්මාණශීලිව භාවිතා කරන්නේය. ඔවුන් සිය ජාතිය ඉතිහාසගත වන තැන් සහ ඉතිහාසයට කැනඩාව වැදගත් වන අවස්ථා හඳුනා ගෙන ඊට සමගාමීව නිර්මාණශීලි සමරු මුද්දර එළිදක්වනු ලබයි. ශාස්ත්‍රීය විශ්ලේෂණය සඳහා මුද්දර විශිෂ්ඨ දෘශ්‍ය ලේඛනාගාරයක් බව කැනඩා තැපැල් සේවය අවබෝධ කරගෙන බොහෝ කලකි. මුද්දරය ලිපි තැපැල් කිරීම සඳහා පමණක් භාවිත කරන අපිට, කැනඩා තැපැල් සේවය ලබාදෙන මඟ පෙන්වීම ඉතා වැදගත් වේ.
තැපැල් මුද්දර හරහා ජාතික අනන්‍යතාවයේ ආඛ්‍යානය සහ සංවර්ධනය පිළිබඳ කතිකාව දෘශ්‍යමාන කළ හැකි බව (visualized the narrative of national identity and discourse on development through postage stamps) ඉක්මනින් අවබෝධ කරගත හැකි තැපැල් සේවයක් අපගේ අලුත් අවුරුදු පැතුමයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com