08
March
2024
එක්සත් ජාතීන්ගේ HeForShe ව්‍යාපෘතිය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ අයුරු
"කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න: ප්‍රගතිය වේගවත් කරන්න" (Invest in women: Accelerate progress) යන තේමාව යටතේ 2024 මාර්තු 8 වන අද දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ.
ස්ත්‍රීවාදයේ නිර්වචනය පිළිබදව පිරික්සූ විට, ස්ත්‍රීවාදය යනු දේශපාලන, සමාජීය සහ ආර්ථික සමානාත්මතාවය මත කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ලෙස දැක්වේ. නමුත් ස්ත්‍රීවාදය පිළිබඳ අදහස සෑම විටම මිනිසාගේ මනසෙහි කුකුසක් මවයි. සමෘද්ධිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජීවිතයේ සෑම අංශයකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම වෙන කවරදාටත් වඩා තීරණාත්මකය. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රශ්නයක් නොව මානව හිමිකම් ප්‍රශ්නයකි.
“HeForShe" ව්‍යාපෘතිය ලොව පුරා සිටින මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නිර්භීත සහ දෘශ්‍යමාන බලවේගයක් නිර්මාණය කිරීමට එක්ව නැගී සිටින ලෙස ආරාධනා කරයි. 2014 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ගෝලීය සුහද තානාපති එමා වොට්සන් විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ලෝකයක් නිර්මාණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. HeForShe ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිමින් සහ පිරිමි ළමයින්, වෙනස් කිරීමේ (Change) උපදේශකයින් සහ නියෝජිතයන් ලෙස සම්බන්ධ කර ගැනීමයි. කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන අසමානතාවයන්ට එරෙහිව කතා කිරීමට සහ ක්‍රියාමාර්ග ගැනීමට මෙම ව්‍යාපාරය ඔවුන් දිරිමත් කරයි.
ලොව පුරා සිටින මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තැපැල් මුද්දරය මත දෘශ්‍යමාන කිරීම සදහා ඉතා නැවුම් ප්‍රවේශයකින් මෙම මාතෘකාව දෙස බැලූ සමරු මුද්දර පෙළක් ඉතිහාසයේ දක්නට ලැබේ. 2016 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ තැපැල් පරිපාලනය (United Nations Postal Administration-UNPA) විසින් මෙම නිකුතුව සිදුකර තිබෙන අතර, එහි දිගුවක් ලෙසින් UNPA සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව (India Post) එක්ව HeForShe ව්‍යාපෘතිය සඳහා තවත් මුද්දර දෙකක් නිකුත් කර ඇත. UNPA සහ India Post එක්ව මුද්දර නිකුත් කළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.
UNPA විසින් නිමැවූ එම මුද්දර හය එක්සත් ජාතීන්ගේ තැපැල් කාර්යාලය, ස්විට්සර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ වියානාහි ජාත්‍යන්තර මධ්‍යස්ථාන වෙනුවෙන් විවිධ තැපැල් ගාස්තු යටතේ නිකුත් කර ඇත. එහි මුද්දර ත්‍රිත්වයක් පුරුෂ සිතුවම් වන අතර අනෙක් ත්‍රිත්වය ස්ත්‍රී සිතුවම් වේ. එම සෑම මුහුණකම පසුබිම විවිධාකාර ය. ඒවායේ ඇති තනි මුද්දර, යුගල වශයෙන් ඒකාබද්ධ කර විවිධ වර්ගයේ සම්පූර්ණ මුහුණු සෑදිය හැකි ආකාරය මේවායින් නිරූපණය කරයි.
ග්‍රැෆික් නිර්මාණ, ත්‍රිමාණ සජීවිකරණය, චලන චිත්‍ර මාතෘකා සහ නිදර්ශන පිළිබඳ විශේෂිත වූ නිව් යෝර්ක් හි බහු-විනය චිත්‍රාගාරයක් වන Mirko Ilic Corporation හිදී මෙම UNPA මුද්දර නිර්මාණය කරන ලද අතර, මෙහි ඉන්දියානු මුද්දර නිර්මාණය සදහා එක්වුයේ ද එම නිර්මානකරුවන්මය.
එක්සත් ජාතීන්ගේ "HeForShe" ව්‍යාපෘතිය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන අතර, එය තම මව්වරුන්ගේ සහ සහෝදරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙස පිරිමින්ගෙන් ඉල්ලා සිටිමින්, අපගේ ජීවිත කාලය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ගෝලීය ප්‍රේක්ෂකයින්ට සම්බන්ධ වී වෙනස් කිරීමේ නියෝජිතයන් බවට පත් විය හැකි ක්‍රමානුකූල ප්‍රවේශයක් සහ ඉලක්කගත වේදිකාවක් සපයයි. මෙම මුද්දර එම පණිවිඩයේ නිර්මාණශීලිත්වය සහ ජීව ශක්තිය පිළිබිඹු කරලයි.
එදිනෙදා ජීවිතයේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හේතුවෙන් සමාජීය, දේශපාලනික සහ ආර්ථික වශයෙන් අපි හැමෝම ප්‍රතිලාභ ලබයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යනු කාන්තාවන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය කාන්තාවන් සහ ගැහැණු ළමයින්, පිරිමින් සහ පිරිමි ළමයින් වන අප සැමට බලපාන මානව හිමිකම් ප්‍රශ්නයකි. කාන්තාවන් සවිබල ගැන්වූ විට සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රතිලාභ ලැබේ. එහෙයින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙත් කාන්තාවන් පමණක් නොව පිරිමින් හටද නියමිත සමාජ භූමිකාවන් පවතින බව මෙම නිර්මාණාත්මක ප්‍රවේශය අපට පසක් කරයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නිර්භීත සහ දෘශ්‍යමාන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා එකට නැගී සිටින ලෙසට ලොව පුරා සිටින මිනිසුන්ට ආරාධනා කෙරෙන්නේ එබැවිනි.
ලෝකයාට මෙම පණිවුඩය නිර්මාණාත්මකව සන්නිවේදනය සදහා එක්සත් ජාතීන්ගේ මෙම පියවර තැපැල් මුද්දරයේ සන්නිවේදන සහ මහජන සම්බන්දතා කුසලතාව ගැන අපට වැටහීමක් ලබාදෙයි.
ඔබ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා සංවාදයේ කොටසක් පමණක් නොවේ; එහි විසඳුමේ කොටසකි.
මුද්දරය අපිට කියා දෙන්නේ ඒ කතාවයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com