kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
February
2024

තැපැල් සේවය සන්නිවේදනයේ ප්‍රමුඛයා බව ලොවට පසක් කිරීමේ බෙල්ජියානු මෙහෙවර

2024 යනු ලෝකයට විශේෂිත වසරකි. ගෝලීය සන්නිවේදනයේ ප්‍රමුඛයා ලෙස ජාත්‍යන්තර තැපැල් සේවය 1874 ඔක්තෝම්බර් 9 වන දින බර්න් ගිවිසුම අත්සන් කිරීමට රටවල් 22 ක් එක්රැස් වූ අතර සාමාජිකයින්ගේ එකඟතාවයෙන් සම්මත කරගත් නීතිරීති මාලාවක් යටතේ පොදු සම්මුතියකට එක්ව කටයුතු කිරීම ආරම්භ කළේය. එය පොදු තැපැල් සංගමය ලෙස හඳුන්වනු ලැබූ අතර පසුව එය විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) ලෙස හඳුන්වනු ලැබුණි. වර්තමානයේ සාමාජික රටවල් 192 ක තැපැල් ජාල ඒකාබද්ධ කර සෑම තැනකම සිටින ජනතාවට සේවය කිරීම සඳහා තනි තැපැල් භූමියක් පිහිටුවීමේ එහි ආරම්භකයින්ගේ දැක්ම අවබෝධ කර ගෙන ඇති එම පොදු සංවිධානයේ 150 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. මෙම 150 වැනි වසර සඳහා වන විශ්ව තැපැල් සංගමයේ තේමාව “ජාතීන් හරහා සන්නිවේදනය සහ බලගැන්වීමේ වසර 150 ක්”(150 years of enabling communication and empowering peoples across nations)යනුවෙනි.

ජාත්‍යන්තර දේශපාලනය මගින් වන බලපෑම් වලින් ජාත්‍යන්තර තැපැල් සහයෝගීතාවය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් එක ආයතනයක් ලෙසින් විශ්ව තැපැල් සංගමය පිළිගනු ලැබීය. විශ්ව තැපැල් සංගමය විසින් ලෝක තැපැල් දිනය (World Post Day) ලෙස ඔක්තෝබර් 9 වන දිනය නම් කරමින් තැපෑලේ ගෝලීය සහයෝගීතාවය වැඩිදියුණු කළේය.

ශතවර්ෂ එකහමාරක් තුළ විශ්ව තැපැල් සංගමයේ පරිනාමය ප්‍රසංසනිය වේ. 2024 පුරාවට, එහි පොහොසත් අතීතය, කැපවූ වර්තමානය සහ පොරොන්දු වූ අනාගතය සැමරීම සඳහා සිදුවීම් සහ ව්‍යාපාර මාලාවක් දියත් කරනු ඇත. ලෝකය පුරා තැපැල් සේවයත්, ඊට සමගාමීව තැපැල් මුද්දරයත් ප්‍රවර්ධනය කරන විශ්ව තැපැල් සංගමයට උපහාර පිණිස මෙම වසරේ ලෝකයේ රටවල් රැසක් ද මෙම ඓතිහාසික මොහොත සමරනු පිණිස සමරු මුද්දර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව යමින්, බෙල්ජියානු තැපැල් සේවය (Belgian Post Group-Bpost) ද ලෝකයේ සෙසු රටවලට ඉදිරියෙන් මේ අවස්ථාව ඉතා දුරදර්ශි ලෙස කළමනාකරණය කර තිබෙන බව ඔවුන්ගේ 2024 සමරු මුද්දර නිකුතුව ප්‍රකාශයට පත් කරමින් ලෝකයාට දැනුම් දී ඇත. ඒ අනුව, බෙල්ජියානු තැපැල් සේවය 2024 සදහා අදාල සියළුම මුද්දර මේ වන විට මුද්‍රණය කර තිබෙන අතර, විශ්ව තැපැල් සංගමයේ සමරුව සදහා ලෝක වාර්තාවක් සහිත සමරු මුද්දරයක් එහි දක්නට ලැබීම ඉතා සුවිශේෂී වෙයි. තැපැල් මුද්දරයක් මත වචන 2024ක් ගලපා නිර්මාණය කරන ලද මෙම සමරු මුද්දරය මේ මොහොත වඩාත් සුවිශේෂී කරනු ඇති බව අවිවාදිතය.

ලෝකයේ දියුණු රටවල තැපැල් සේවයේ දියුණුවේ රහස වන්නේ ඔවුන් ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමයි. හෙට සඳහා ඔවුන් අදම පෙළගැසෙන්නේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍යට ඉදිරියෙන් කටයුතු කිරීමට තැපැල් සේවයට ඇති හැකියාව විදහා දක්වමිනි. නූතන ඩිජිටල්කරණ ක්‍රියාවලීන්ගේ බලපෑම සමඟ ගනුදෙනු කිරීමේදී තැපෑලට සහ තැපැල් මුද්දරයට ඇති ශඛ්‍යතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය වන්නේ මනා සැලසුම්කරණයක් පමණි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com