kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


17
February
2024

රෝසි ද රිවෙටර් (Rosie the Riveter),මහජන මතය සහ තැපැල් මුද්දරය

මහජන මතය යනු ප්‍රජාවක සැලකිය යුතු ප්‍රතිශතයක් විසින් ප්‍රකාශිත යම් මාතෘකාවක් පිළිබඳ පුද්ගල අදහස්, ආකල්ප සහ විශ්වාසයන්ගේ එකතුවකි. මහජනතාවගේ මනාපයන් සහ ඇගයීම් වලට, නැතිනම්, හරියටම ඔවුන්ගේ සිතුවිලි වලට බලපෑම් කිරීමට මාධ්‍ය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව ඉතා පැහැදිලි කරුණකි.

දෙවන ලෝක යුධ සමයේදී සිය නිවාස වලට සීමාවී තිබුණු ඇමරිකානු කාන්තාව දේශප්‍රේමයෙන් ඔප්නංවා කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා යොමුකිරීමට සහ එම පණිවිඩය ජනගත කිරීමට පෝස්ටරයක් තුලින් අපුර්ව මහජන සම්බන්ධතා මෙහෙවරක් ඉටුකරන ලද මනඃකල්පිත චරිතයක් අදටත් එහි ප්‍රසංසාව ලබමින් පසුවෙයි. එම චරිතය "රෝසි ද රිවෙටර්" (Rosie the Riveter) නැතහොත් "රිවට් ඇන ගසන රෝසි" නම් වෙයි.

දෙවන ලෝක යුධ සංග්‍රාමය සමාරම්භ වූ කාලසීමාව තුල කාර්මීකරණය වෙමින් පැවති ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය තුල, නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන් රැසක් පුරුෂ පක්ෂය සඳහා විවර වී තුබුණි. 1941 දෙසැම්බර් 7 වන දින "පර්ල්" වරායට සිදුවූ ප්රහායෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට මුළුමනින්ම මැදිහත් වූ අතර, කාර්මාන්ත වල රැකියා කරන ලද පිරිමින් හට ඇමරිකානු යුධ හමුදාවට එක්ව යුධ පෙරමුණේ සේවය කිරීමට සිදු විය.

මේ අතර, 1943 වනවිට කම්කරුවන් මිලියන හයක හිඟයක් ඇතිවන බව ඇමරිකානු රජය පුරෝකතනය කර තිබුණි. විශේෂයෙන්ම යුද්ධය සඳහා අවශ්‍ය අවි ආයුධ, යන්ත්‍රෝපකරණ, ගුවන් යානා ඇතුළු නිෂ්පාදන කර්මාන්ත සඳහා මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය සාධකයක් විය.

මෙම පසුබිම යටතේ, 1942දී රෙඩ් එවන්ස් (Red Evans) සහ ජෝන් ජේකබ් ලෝබ් (John Jacob Loeb) විසින් කාන්තා යුද සේවිකාවකගේ දේශප්‍රේමී ගුණාංග ඉස්මතු කරමින් "Rosie the Riveter" නම් අපුර්ව ගීතය රචනා කර සංගීතවත් කරන ලදී. The Four Vagabonds කණ්ඩායම එම ගීතය වසර් 1943දී තැටිගත කළහ.

(https://www.youtube.com/watch?v=qU61Nwf91Nk)

එම ගී පදමාලාවේ මෙසේ සදහන් වේ ...

All the day long, whether rain or shine

She's a part of the assembly line

She's making history, working for victory

Rosie, the riveter

මෙම ගීතය "දෙවන ලෝක යුද්ධයේ ස්ත්‍රීවාදී ගීය" වූ අතර, කෙටි කලකින්ම ඉතාමත් ජනප්‍රිය විය. "ඇය ඉතිහාසගත වෙනවා" (She's making history) යන වචනාර්ථයෙන් සුවිසල් කතන්දරයක් කියවුනේය. බොහෝ දෙනෙක් ගුවන් විදුලියෙන් විකාශය වූ මනඃකල්පිත රෝසි ගැන සිහිකරන්නට ඇත.

"රෝසි ද රිවෙටර්" සංකල්පය රූපයක් බවට පත්කිරීමට නෝමන් රොක්වෙල් (Norman Rockwell) නම් ශිල්පියා කටයුතු කළේය. මේ සඳහා ඔහුගේ අසල්වැසියෙකු වූ 19 හැවිරිදි දුරකථන ක්‍රියාකාරිනියක වන මේරි කීෆ් (Mary Keefe) ගේ රුව ඔහු විසින් යොදා ගැනුණි. නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිටි ඇයගේ උකුලේ රිවට් තුවක්කුවක් විය. ඇයගේ එක් අතක සැන්ඩ්විච් එකක් වන අතර, ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) විසින් රචිත ස්වයං චරිතාපදානය වූ මයින් කැම්ප් (Mein Kampf) නම් කෘතිය මත ඇය පා තබා සිටින අයුරු නිරූපණය කෙරිණි. ඇගේ කෑම පෙට්ටියේ "රෝසි" (Rosie) යනුවෙන් සඳහන් කර තිබූ අතර, ඇගේ පසුබිමේ ඇමරිකානු කොඩිය නිරූපණය කර තිබුණි.

මට ඔබ එක්සත් ජනපද හමුදාවට අවශ්‍යයි (I want you for U.S. Army) යන සුප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩය සහිතව පළමු ලෝක යුද්ධ සමයේ ඇමරිකානු හමුදාවට සොල්දාදුවන් බඳවා ගැනීම සඳහා භාවිතා කරන ලද ප්‍රවර්ධන වැඩසටහනේ සුවිශේෂී පෝස්ටරයේ අභාෂය මෙම සිතුවම නිර්මාණය කිරීමේදී බලපෑමක් ඇති කර ඇති බව සදහන්වේ. මෙම චිත්‍රය 1943 මැයි 29 වන දින, "The Saturday Evening Post" නම් සඟරාවේ කවරයෙන් එළි දැක්විණි. ඉන් පසුව, මෙම දේශප්‍රේමී සිතුවම කාන්තා නිර්භීතකම, ශක්තිය සහ අලංකාරය පිළිබඳ සදාකාලික සංකේතයක් බවට පත් වූ අතර, මහජන මතය සැකසීමේ ප්‍රචාරක මෙවලමක් ලෙසින් ප්‍රබලව භාවිතා කෙරුණි.

චිත්‍රපට, පුවත්පත්, ප්‍රචාරක පෝස්ටර්, ඡායාරූප සහ ලිපි මගින් කාන්තාවන්ට ශ්‍රම බලකායට ඇතුළත්වීමේ දේශප්‍රේමී අවශ්‍යතාවය අවධාරණය කල අතර, රෝසි ද රිවෙටර් සංකේතය ඇමරිකානු සමාජය තුල පුළුල්ව පැතිරුණි. දෙවන ලෝක යුද්ධ සමයේදී කාන්තාවන් හට පිරිමින් වීමට නිදහස තිබූ බැවින් ඔවුන්ට පිරිමින් වීමට පවා දිරිගන්වන ලදී. කාන්තාවන් කර්මාන්තශාලා බිමෙන් ඈත් කර තිබූ සමාජ හා දෘෂ්ටිවාදාත්මක බාධක යුධ කාලීන නිෂ්පාදනයේ උද්යෝගීමත් ඉල්ලීම් හමුවේ මඟ හැරී ගියේය. එහි සාර්ථකත්වය කෙසේ වූයේ ද යත්, දෙවන ලෝක සංග්‍රාමයේදී පිරිමින් සටන් බිමට නිදහස් කිරීමේ අරමුණින් සිවිල් කාන්තාවන් මිලියන 5ක් පමණ වාණිජ කර්මාන්තයේ සහ ආරක්ෂක අංශයේ වෙනත් තැන්වල සේවය කළහ.

කර්මාන්තශාලාවල යුද කාලීන සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා රජය විසින් වාණිජ ප්‍රචාරණයන් දැඩි ලෙස භාවිතා කරන ලදී. කාන්තාවන්ට පුරුෂයින් හා සමව කටයුතු කිරීමට හැකිබව ඒත්තු ගැන්වීමට 1942දී ජේ. හොවාර්ඩ් මිලර් (J. Howard Miller) නම් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද "අපට එය කළ හැකිය" (We Can Do It) නම් වූ පෝස්ටරය වෙස්ටිංහවුස් විදුලි කර්මාන්ත ශාලාවේ (Westinghouse Electric Corporation) ප්‍රදර්ශනය කෙරිණි. කෙටි කලෙකින්ම කාන්තාවන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරමින් මෙම පෝස්ටරය මහත් ලෙස සංසරණය විය.

Rosie the Riveter සංකේතාත්මක නියෝජනයකි. එයින්, යුද්ධය වෙනුවෙන් සේවය කල සෑම කාන්තාවක්ම "රෝසි"ලා බවට පත්විය. එයත් We Can Do It පොස්ටරයත් යන පෝස්ටර් දෙකම රැකියා සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ ක්‍රියාන්විතයේදී පුළුල්ව භාවිතා කරන ලද නිසා, ඒවා ඇමරිකානු ඉතිහාසයේ සාර්ථකම බඳවා ගැනීමේ ව්‍යපෘතීන් විය.

එක්සත් ජනපද රජය දෙවන ලෝක සංග්‍රාමයේදී ඇමරිකානු ජනතාවගේ හදවත් සහ ජනමනස දිනා ගැනීම සඳහා විශාල කාලයක් හා ශ්‍රමයක් ආයෝජනය කළහ. වෙඩි උණ්ඩ සහ ගුවන් යානා කර්මාන්තය තරම්ම වැදගත්කමක් ප්‍රචාරක කර්මාන්තයට ලබාදී තිබුණි. සියලුම රජයේ පණිවිඩ නිවැරදිව පිටපත් කර මහජනයා අතර බෙදා හැරීම සහතික කිරීම සඳහා එක්සත් ජනපදය 1942 දී යුධ තොරතුරු කාර්යාලයක් පවා නිර්මාණය කර තිබුණි. රජය විසින් ප්‍රචාරක මුලපිරීමේ වැඩ සඳහා බුද්ධිමතුන්, කලාකරුවන්, චිත්‍රපට නිෂ්පාදකයින් සහ දැන්වීම්කරුවන් බඳවා ගන්නා ලදී.

විශේෂයෙන් ඇමරිකානු ප්‍රචාරක සඳහා පෝස්ටර් ප්‍රබල මෙවලමක් වූ අතර, ඒවා පාසැල්, පල්ලි, තැපැල් කාර්යාල, දුම්රිය ස්ථාන, කර්මාන්තශාලා සහ සිල්ලර වෙළඳසැල් වැනි සියලුම පොදු ස්ථානවලදී බෙදා හැරුණි. ජනමතය යුද්ධයට පක්ෂපාතී ආකාරයට මෙහෙයවීම සඳහා දේශප්‍රේමී වීමට සහ රජයට පක්ෂපාතීවීමට මිනිසුන්ව පෙළඹවීම වෙනුවෙන් වරදකාරීත්වය සහ බිය වැනි මනෝවිද්‍යාත්මක උපක්‍රම රාශියක් ප්‍රචාරකයින් විසින් භාවිතා කළහ.

යුද්ධය අවසන් වූ පසු කාන්තාවන්ට මෙම භූමිකාවන්ගෙන් ඉවත් වීමට සිදු වූ අතර, 1946 සිට 1964 දක්වා කාලය තුළ රෝසිව බොහෝ දුරට අමතක විය. නමුත්, ස්ත්‍රීවාදීන් 1980 ගණන්වල මුල් භාගය වන විට කාන්තාවන් සවිබල ගැන්වීමේ සංකේතයක් ලෙස නැවත ලබා ගත හැකි ආකාරයේ අතීත රූප සොයමින් සිටියහ. නෝමන් රොක්වෙල්ගේ සිතුවමට ප්‍රකාශන හිමිකම් ගැටළු මතුවීම නිසා, මිලර්ගේ සිතුවම පිළිබදව ඔවුන් සලකා බලන ලදී. පශ්චාත් වියට්නාම් යුගයේදී, ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය වූයේ දෘෂ්‍යමය වශයෙන් සිත් ඇදගන්නා, නමුත්, අවශ්‍යයෙන්ම යුද්ධයට පක්ෂපාතී නොවන ස්ත්‍රියකගේ රූපයකි. We Can Do It පාඨය පුළුල් පරාසයක ක්‍රියාකාරීවයට සහ පහසුවෙන් හැසිරවිය හැකි නිසා එම සිතුවම ඒ දිනවල සමකාලීන සමාජය තුල පුළුල්ව පැතිරුණි. ඒ අනුව රෝසි ද රිවෙටර් ඇමරිකානු සාමූහික මතකය තුළ තවදුරටත් ශක්තිමත් විය.

1999 දී ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවය විසින් "සියවස සමරන්න" (Celebrate the Century) නම් වූ මුද්දර මාලාවේ කොටසක් ලෙස "කාන්තාවන් යුධ ප්‍රයත්නයට සහය දක්වයි" (Women Support the War Efort) තැපැල් මුද්දරය නිකුත් කරන ලදී. එහි දී රෝසි ද රිවෙටර් රූපය සහිත "අපට එය කළ හැකිය!" (We Can Do It !) පෝස්ටරය ශත 33 මුද්දරයේ නිරූපණය කෙරුණි.

මුද්දරය යනු ඉතිහාසය ලේඛනය කරනා දෘශ්‍යමය ආකාරයක් නිසා, ඒවා එකතු කිරීම සහ සංරක්ෂණය තුලින් මෙම ආමරිකානු මතකය පරම්පරා ගණනාවක් අතර හුවමාරු කෙරෙයි. මතකයන් අලුත් කිරීමට සහ ප්‍රතිනිර්මාණය කිරීමට තැපැල් මුද්දර වලට ඇත්තේ සුවිශේෂී ගුණයකි. එවැනි අවස්ථා පහසුවෙන් හඳුනාගැනීම සඳහා මහජන සම්බන්ධතා (Public Relations) සහ මහජන මතය (Public Opinion) නිර්මාණය කරනා දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස මුද්දරය ගැන විෂයානුබද්ධ හැදෑරීමක් සිදුකල යුතුමය.

කාලෝස් ස්ටෝට්සර් (Carlos Stoetzer) විසින් රචනා කරන ලද "ප්‍රචාරක කටයුතු ලෙස තැපැල් මුද්දර" (Postage stamps as propaganda) නම් පර්යේෂණ කෘතියේ මෙසේ සදහන් කරයි:

"මුද්දරයම පරමාදර්ශී ප්‍රචාරයකි. එය අතින් අතට සහ නගරයෙන් නගරයට යයි; එය රටක ඈත කෙළවරට සහ පළාත්වලට සහ ලෝකයේ ඈතම රටවලට පවා ළඟා වේ. එය මුද්දරය තැපෑලෙන් යවන ජාතියේ සංකේතයක් වන අතර, එම රටේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරයේ සහ එහි අදහස් සහ පරමාදර්ශවල විචිත්‍රවත් ප්‍රකාශනයකි." (The stamp itself is ideal propaganda. It goes from hand to hand and town to town; it reaches the farthest corners and provinces of a country and even the farthest countries of the world. It is a symbol of the nation from which the stamp is mailed, a vivid expression of that country’s culture and civilization and of its ideas and ideals.)

රෝසි ද රිවෙටර් සමරු මුද්දරය අපිට කියාදෙන්නේ එකී පාඩමයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com