23
January
2024
"මහජන සම්බන්ධතා" යනු යම් පාර්ශවයක් වෙනුවෙන් සම්බන්ධතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාමයි. එය දීර්ඝ කාලීන සහ කළමනාකරණ ක්‍රියාවලියකි. ග්‍රීක, රෝමානු යුගවල සිට මහජන සම්බන්ධතා විෂය සම්බන්ධයෙන් සාක්ෂි පවතින අතර, මහජන සම්බන්ධතාව වෘත්තියක් ලෙස පුහුණු කිරීම ආරම්භ වූයේ 1900 සිටයි. එය "නූතන මහජන සම්බන්ධතා" ලෙස හඳුන්වනු ලබයි.
එඩ්වඩ් එල්. බර්නිස් එම නූතන මහජන සම්බන්ධතාවේ පියා ලෙස සැලකේ. ඔහු මහජන සම්බන්ධතා පිළිබඳ නවීන වෘත්තිය නිර්මාණය කළ බවට පුළුල් ලෙස සැලකෙන ඇමරිකානු ව්‍යාපාරික උපදේශකවරයෙකි. 1891 දී ඔස්ට්‍රියාවේ වියානා හි උපත ලද බර්නිස්, පුරෝගාමී මනෝ විශ්ලේෂකයෙක් වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඥාති පුත්‍රයෙකි. එබැවින් ඔහුගේ කාර්යයන් සඳහා මනෝවිද්‍යාත්මක න්‍යායයන් මනා ලෙස සංකලනය කරමින් අලුත් විෂයක් ලොවට දීමට ඔහුට හැකි විය. මනෝවිද්‍යාව සහ අනෙකුත් සමාජ විද්‍යාවන් මහජන සම්බන්ධතාවය, ව්‍යාපාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ පළමු පුද්ගලයා ලෙස බර්නිස් ගෞරවයට පාත්‍ර වේ.
1840දී එංගලන්තයේ වික්ටෝරියා මහරැජිනගේ අනුමැතිය යටතේ ලොව ප්‍රථම තැපැල් මුද්දරය එළිදැක්විණි. එය එවකට පැවතී තැපැල් සේවයේ දුර්වලතා මඟ හැරීම සඳහා භාවිතා කරන ලද මෙවලමක් වූ අතර, ආරම්භයේ සිටම එය රාජකීයත්වය ප්‍රචාරණය කිරීමේ මාධ්‍යයක් විය. ලොව ප්‍රථම මුද්දරය සමගින් ජාතික අනන්‍යතාවයේ ප්‍රක්ෂේපණ ලෙස මුද්දර භාවිතයද ආරම්භ විය. එම දීර්ඝ ගමන් මඟේ දී රටක ස්වාධීනත්වය සනිටුහන් කිරීමට, භෞමික හිමිකම් ප්‍රකාශ කිරීමට, හමුදා ජයග්‍රහණ වාර්තා කිරීමට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ගෞරව කිරීමට සහ බහුපාර්ශ්වික ආයතනවලට සහාය වීමට ආදී තේමා සඳහා මුද්දරය උපයෝගී කර ගැනුනි.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සන්නිවේදන මෙවලමකින් ඔබ්බට තැපැල් මුද්දරයක් "මහජන සම්බන්ධතා ආකෘතියක්" ලෙස භාවිතයට ගනු ලබන්නේ 1929 දී සමරනු ලබන “Light’s Golden Jubilee" ව්‍යපෘතියේ දී ය. Light’s Golden Jubilee යනු තෝමස් අල්වා එඩිසන් විසින් විදුලි බල්බය සොයාගැනීමේ 50 වන සංවත්සර (1879-1929) සැමරුම් උත්සවයයි. ජෙනරල් ඉලෙක්ට්‍රික් (General Electric) සමාගම බර්න්ස්ගේ සේවාදායකයා විය. 1929 මැයි සිට ඔක්තෝබර් දක්වා මාස 6ක කාලයක් මෙම ව්‍යාපෘතිය පැවති අතර, උත්සවය පවත්වන ලද්දේ ඔක්තෝබර් 21 වන දිනයි.
මෙහිදී ව්‍යාපෘතිය සඳහා නමක් නිර්දේශ කිරීම, ඇමරිකා එක්සත් ජනපදයේ සියළුම ප්‍රධාන පුවත්පත් සහ සඟරා කතුවරුන් සම්බන්ධ කරගනිමින් තොරතුරු බෙදා හැරීම, උත්සව දිනයේදී ලොවපුරා එක විනාඩියක් විදුලි පහන් නිවාදමා තෝමස් අල්වා එඩිසන්ට කෘතවේදීත්වය පුද කිරීම, ෆෙඩරල් රජයේ සහාය මත විදුලි ආලෝකයේ ස්වර්ණ ජුබිලිය ("Electric Light's Golden Jubilee") යන තේමාව යටතේ ශත 02 ක වටිනාකම සහිතව මුද්දරය නිකුත් කිරීම සහ ඇමරිකානු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් උත්සවයක් පැවැත්වීම ආදී කටයුතු ඉතා හොදින් සහ සැලසුම් සහගතව සිදු කෙරිණි. ඒ තුලින් බර්නිස් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කීර්තිය මෙම කාර්යයේදී උපයා ගත් බව විචාරක මතයි.
මහජන සම්බන්තා සවිමත් කිරීමේ මෙවලමක් ලෙස තැපැල් මුද්දරය භාවිතා කිරීම පිළිබඳව ලෝකයට ප්‍රථම නිදසුන ලබා දූන්නේ එම විෂය නූතන ලෝකයට හඳුන්වා දුන් බර්නිස් විද්වතාය. 20 වන සියවසේ වඩාත්ම බලගතු ඇමරිකානුවන් 100 දෙනා අතර කෙනෙක් ලෙස "Life Magazine" බර්නිස්ව නම් කරන ලද්දේ මහජන සම්බන්ධතා විෂය කෙරෙහි ඔහුගේ වූ අමිල දායකත්වයට ගරු කිරීමක් ලෙසිනි.
මහජන සම්බන්ධතා විෂය හදාරන විද්‍යර්ත්යින්ට එකී මුද්දරයේ මහජන සම්බන්ධතා ගුණය ගැන ශාස්ත්‍රීය විශ්ලේෂණයක් සහ එය මූලික දෘශ්‍ය සම්පතක් ලෙස භාවිතා කිරීම පිළිබඳව කියාදීමට "කියවන මුද්දර" අපි පෙරමුණ ගන්නෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com