kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


02
January
2024

මුද්දරයේ දේශපාලනය කියවන සුබ අලුත් අවුරුද්දක් වේවා !!

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් මහතාගේ මඟ පෙන්වීම යටතේ වැවිලි ක්ෂේත්‍රයේ ශ්‍රම හමුදා ලෙස ප්‍රථම වරට 1823 දී ඉන්දියානු කම්කරුවන් නිල වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගත්හ. මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉඳි කිරීම, කෝපි වගාව (1824) සහ පසුව තේ වගාව (1867) සඳහාද වූ මෙම ලාබ ශ්‍රමය වතුහිමියන්ට ඉමහත් පහසුවක් ගෙන දුනි. දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පා ගමනින් මෙම ජනයා ගෙන එනු ලැබූ අතර, මෙම ගමන කොතෙක් දුෂ්කර වූයේදයත්, පැමිණි අයගෙන් විශාල පිරිසක් ලෙඩ රෝග හා විවිධ ගැටලු නිසා මියගිය බව අතීත වාර්තාවල සඳහන් වේ. මූලික මිනිස් අයිතීන් පවා නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් යටත්විජිත සමයේ හා ඉන් පසුවත් මෙම වතුකරයේ දෙමළ ජනයා දුෂ්කරතාවලට මුහුණ පා ඇත.

ලාංකීය ආර්ථිකයේ සවිමත් පදනම වන වැවිලි කර්මානත්යේ උන්නතිය උදෙසා සියවස් දෙකක කාලයක් කැපකළ ඉන්දියානු ශ්‍රමය වෙනුවෙන් සමරු මුද්දරය නිකුත් කල යුතුව තිබුනේ ශ්‍රී ලංකාවේ තැපැල් සේවය වන නමුදු, මුද්දරයේ දේශපාලනය වටහා නොගැනීම නිසා ඒ අවස්ථාව 2023 වසරේදී අපගෙන් ගිලිහුණි.

එනමුදු, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා වෙහෙසුනු ඉන්දීය සම්භවයක් සහිත දමිළ ජනයාගේ මෙහෙවර ඇගයීම සඳහා අගනා සමරු මුද්දරයක් ඉන්දීය තැපැල් අමාත්‍යාංශය 2023 දෙසැම්බර් 30 වැනි දින නිකුත් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත සහ තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයේ සභාපති කේ. අන්නමලෙයි මහතාගේ එකඟතාවය මත තමිල්නාඩුවේ එම පක්ෂ මූලස්ථානයේදී මෙම සමරු මුද්දරය මුලින්ම පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන් මහතා වෙතයි. අන්නමලෙයි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වසරක සමරුව වෙනුවෙන් තැපැල් සමරු මුද්දරයක් නිකුත් කිරීම, වැවිලි කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා ඔවුන් දැරූ වෙහෙස පිළිගැනීමක්" ලෙසටයි.

දිවයිනේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ යහපැවැත්මට ආධාර කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නොපසුබට සහයෝගය ලබා දෙන අතර, භාරතීය ජනතා පක්ෂය ඔවුන්ගේ සමෘද්ධිය සහතික කිරීමට උත්සාහ කරමින් සිටින බව පැවසීම හුදු ජනතාවාදී ප්‍රකාශයක් පමණක් නොවන බව වටහාගැනීමට විශාල දේශපාලන දැනුමක් අවැසි නොවේ.

මුද්දර නිකුත් කිරීම නිශ්චිත දේශපාලන සන්දර්භයක් තුළ ජාතික දේශපාලන එකඟතාවය පිළිබිඹු කරන මෙම නිදසුන මුද්දරයේ අරුත තේරුම් ගැනීම සඳහා එහි සංකේතවාදය සහ සංකේතාත්මක තත්වය අපට ඉතා හොඳින් පැහැදිලිකර දෙයි. ජාතිකත්වයේ සහ රාජ්‍යත්වයේ පරමාදර්ශ සම්ප්‍රේෂණය කිරීමට රාජ්‍යයන් එදිනෙදා වස්තු පරාසයන් භාවිතා කරයි. මුදල් සහ තැපැල් මුද්දර වැනි කෝටඩියන් (Quotidian) වස්තූන් දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ට රාජ්‍යයේ වටිනාකම්, මතවාදයන්, අභිලාෂයන් සහ පරමාදර්ශ නිරූපණය කිරීමට මාධ්‍යයක් සපයා තිබේ (States utilize a range of everyday objects to transmit ideals of nationhood and statehood. Quotidian objects such as currency and postage stamps have provided a means through which to portray to domestic and international audiences the values, ideologies, aspirations, and ideals of the state). (මූලාශ්‍රය:Hammett, D. (2014))

තැපැල් මුද්දර යනු එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ලිපියක් සහිත ලියුම් කවරයක් ප්‍රවාහනය කිරීම සඳහා යවන්නාගෙන් මුදල් අයකිරීමේ පරමාර්ථයෙන් යුතුව නිමවන තැපැල් සේවාවේ අධාරක වස්තූන් පමණක් නොව දේශපාලන හා මතවාදී පණිවිඩ ප්‍රවාහකයන් බවට අපට කියා දෙන ඉන්දියානු තැපැල් සේවයට අපගේ උපහාරය පුදකල යුතුය.

මෙම වසර තැපැල් මුද්දරවල ඇති දෘෂ්ථිවාදාත්මක පණිවිඩ තුලින් ජාතික පරිකල්පනයන් නිර්මාණය කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීම සඳහා මුද්දරය කියවීම අත්‍යවශ්‍ය බව මුද්දර බලධාරීන්ට සහ මුද්දර ලෝලීන්ට අවබෝධ වන, සහ මුද්දර කියවීමට හැකියාව ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com