kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


11
December
2023

යූරි ගගාරින්ගේ ලංකා සංචාරයේ මුද්දර මතක මංපෙත .....

පෘතුවි වායුගෝලය පසුකරමින් අභ්‍යවකාශය වෙත ගමන් කරන ලද ප්‍රථම මානවයා වීමේ ගෞරවය හිමිකර ගත්තේ යූරී ඇලෙක්සවිච් ගගාරින් (Yuri Alekseyevich Gagarin) ය. ඔහු අභ්‍යවකාශ කතන්දරයේ සුවිශේෂී චරිතයකි. ඔහු 1960 අප්‍රේල් 12 වැනිදා රුසියාවේ වේලාවෙන් පෙරවරු 10.07 ට වොස්ටෝක් (Vostok) යානාවෙන් පොළොවේ සිට කි. මී. 302 ක් දුරින් පැයට කි. මී. 28260 ක් වේගයෙන් මිනිත්තු 108ක් කක්ෂගතව නැවතත් නිරුපද්‍රිතව රුසියානු මධ්‍යස්ථානය වෙත පැමිණියේය. ඒ මොහොතේ සිට අභ්‍යවකාශ තරණයට දොර විවරවූ අතර, එයින් මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළිණි.

රුසියානු සමූහ ගොවිපලක වඩු කාර්මිකයකු වශයෙන් සේවය කල ඇලෙක්ස් සහ ඇනා යුවලගේ පවුලේ තෙවැනි දරුවා වශයෙන් 1934 මාර්තු 9 වැනිදා උපත ලද යූරි ගගාරින් ගේ ළමා කාලය එතරම් සුන්දර නොවීය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟින් තම උපන් ගම්බිම් අතහැර යාමට සිදුවූ ගගාරින්ගේ පවුලේ සැමට නැවතත් තම උපන් ගමට පැමිණීමට හැකි වනුයේ 1946 දී මිත්‍ර හමුදාව යුද්ධය ජය ගැනීමත් සමගිනි. 1949 දී සිය අධ්‍යයන කටයුතු සඳහා කාර්මික තාක්ෂණ පාසලට එක්වූ ගගාරින්, 1951 දී අභ්‍යවකාශ විද්‍යා සංගමයට එක්වූයේ අහසේ තරු රටාවල විශ්මයෙන් ඔහු වශීවී සිටි බැවිනි. උපන්ගෙයි දක්ෂයෙකු වූ ගගාරින්ව පාසලේ ගුරුවරුන් රුසියානු යුධ හමුදාව වෙත නිර්දේශ කරන ලදී. රුසියානු ගුවන් හමුදාවට එක්වූ ගගාරින් ගුවන් යානා තාක්ෂණය පිළිබඳ කීර්තිමත් සිසුවකු බවට පත් වූ අතර, මිග් ප්‍රහාරක යානා පැදවීමේ සූරයෙක් බවටද පත්විය.1960 දී ඔහු අජටාකාශ භට කණ්ඩායමට තෝරා ගනු ලැබිණි.

අභ්‍යවකාශය ජය ගැනීම සඳහා ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර පැවති සීතල යුද්ධයෙන් ජයගත්තේ රුසියාවයි. යූරි ගගාරින් එහි බලවේගයයි. එම අභීත ක්‍රියාව වෙනුවෙන් ඔහු "සෝවියට් සංගමයේ වීරයා" සම්මානයෙන් පුද ලද අතර, ලොව වටා ජනතාවගෙන් ගලා ආ ප්‍රසාදය නිමාවක් නොවීය. ජනතා සුභාසිංශන මධ්‍යයේ යූරි ගගාරින් ලොව වටා සංචාරය කරන්නට විය.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1956 දී ආරම්භ වූයේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ නායකත්වය යටතේ 1957 පෙබරවාරි 19 දින දෙරට අතර තානාපති සබඳතා පිහිටුවීමත් සමඟය. රුසියාවේ ප්‍රථම ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද්දේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ය.

1890 නොවැම්බර් හිදී ලංකාවට පැමිණි ශ්‍රේෂ්ඨ රුසියානු ගත්කතුවර ඇන්ටන් චෙකොෆ් ගේ සංචාරක සටහන් තුලින් රුසියානුවන් කියවාගත් ලංකාවට 1961 දෙසැම්බර් 7 වැනිදා රත්මලාන ගුවන් තොටින් ලංකාවට යූරි ගගාරින් සැපත් විය. එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුවිය.

ගගන වීරයා සහ ඔහුගේ බිරිඳ පිළිගැනීම සඳහා අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා, අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍ය බදියුදීන් මුහම්මද් ඇතුළු සම්භාවනීය පිරිසක් ගුවන් තොටේ රැස්වී සිටිය අතර, තවත් වීරවරියක් ඔවුන් සමඟ මඟ බලා සිටියාය. ඇය විජේලමගේ මැගිලින් නෝනාය. එවකට ඇය "වීර මැගිලින්" යන නාමයෙන් රට පුරා ජනප්‍රියත්වයට පත්ව සිටියාය. කොළඹ දිස්ත්‍රිකයේ දියගම ග්‍රාමයේ පිහිටි දියගම ඇලේ ගසා ගෙන ගිය හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ ජීවිත බේරා ගැනීම සඳහා ජල රකුසා සමඟින් පොරබඳින ලද එවකට පාසල් දැරියකවූ 15 හැවිරිදි මැගිලින්ගේ වික්‍රමය නිසා ඒ සියළු දෙනාගේම දිවි බේරුනි. විශ්වය ජයගත් වීරයා පිළිගැනීමට වීරවරියක් යොදාගැනීම පිළිබඳව එවකට කාගෙත් පැසසුමට ලක්විය.

රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රයට පැමිණි යුරි ගගාරින් සහ ඔහුගේ බිරිඳ වැලන්ටිනා මහත් හරසරින් පිළිගෙන රිය පෙරහරකින් කොළඹට රැගෙන ආහ. සංචාරයේදී දේශපාලන ප්‍රභූ නියෝජිතයින්ගේ සිට කම්කරුවන් හා ගොවීන් දක්වා සියළු ජනයා ඔවුන්ව සාදරයෙන් පිළිගත්හ. "ලංකාව ගැන භූගෝලීය ශාස්ත්‍ර පොත් වලින් බොහෝ දේ දැන සිටියත්, මෙහි පැමිණ මාගේ ඇසින්ම ලංකාවේ සිරි දැක ගැනීමට ලැබීම ගැන අතිශය ප්‍රීතියට පත්වුනෙමි. ඒ අවස්ථාව ලබාදීම ගැන ලංකා රජයටත්, ජනතාවටත් කෘතඥ වෙමි. රුසියානු ජනතාවගේ සුභපැතුම් සමඟ ලංකාවට පැමිණි මම, ලංකාවේ ජනතාවගේ සුභපැතුම් ආපසු රුසියාවට රැගෙන යමි" යනුවෙන් තමා නැරඹීමට පැමිණි ජනතාව අමතා ගගාරින් කෙටි ප්‍රකාශයක් සිදු කලේය.

දෙසැම්බර් 8 වන දින, ගගාරින් දිවයිනේ දකුණට සංචාරයක් සඳහා එක්විය .කොළඹ සිට මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, වැලිගම, මාතර සහ තංගල්ල යන ප්‍රදේශවල සංචාරය කරන ලද අතර දකුණේදී ඔහුව පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂ මහතා විසිනි.

දෙසැම්බර් 9 වන දින ගගාරින් කැලණිය, යක්කල, හොරගොල්ල, කෑගල්ල, මාවනැල්ල, මහනුවර, මාතලේ සහ කුරුණෑගල සංචාරය කරමින් දිවයිනේ මධ්‍යම ප්‍රදේශයට පිටත් විය. මෙම පළමු සෝවියට් අභ්‍යවකාශගාමියා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ කහ සරකා ගසක් සිටුවීය. අශෝක ගසට මහනුවර ක්වීන්ස් හෝටලයේදී අදහස් දක්වමින් ගගාරින් ප්‍රකාශ කළේ ලංකාව සහ සෝවියට් සංගමය අතර ද්විපාර්ශ්වික සබඳතා තමන් රෝපණය කළ ගස මෙන් වර්ධනය වනු ඇති බවයි.

දෙසැම්බර් 10 වන දින සෝවියට් අභ්‍යවකාශගාමියා අනුරාධපුර පුරාණ නගරයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහු ශ්‍රී මහා බෝධි විහාරස්ථානය වන්දනා කළේය.

දෙසැම්බර් 11 දින යුරි ගගාරින් රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයට පැමිණි බව අතීත වාර්තා පෙන්වාදෙනු ලබයි. විද්‍යා අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් එකම පාසල වූ සීවලියට මෙම අවස්ථාව ඉතාමත් සුවිශේෂී විය. එම සංචාරය සිහිපත් කිරීම සඳහා ඔහු රෝපණය කරන ලද කොස්ගොන්න ශාකය තවමත් පාසල් භුමියට සිසිල ගෙනඑයි. ගගාරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ ලංකා-සෝවියට් මිත්‍රත්ව සංගමයේ මන්දිරයේ නැවතී සාකච්ඡා හා රැස්වීම්වලට සහභාගී විය. එදින සවස් වරුවේ මාධ්‍යවේදීන් සමඟ කතා කිරීමෙන් අනතුරුව ගාලු මුවදොර හෝටලයේදී ඔහු ට සමු දීමේ උත්සවයක්ද පැවැත්විණි.

ලංකාවේ සංචාරයේ යූරි ගගාරින්ගේ නවාතැන වූ ගෝල්ෆේස් හෝටලයේ ආගන්තුක සත්කාර ඔහුගේ සිත් ගත් බව කියැවේ. අභ්‍යවකාශ තරණයේ 50 වැනි සමරුව යෙදුන වර්ෂ 2011දී සෝවියට් තනාපති කාර්යාලය, හෝටල් පාලනාධිකාරිය සමඟ එක්ව ගගාරින්ගේ ආලේඛ්‍ය සිතුවමක් සහ මූර්තියක් ගෝල්ෆේස් හෝටලයේ ප්‍රදර්ශනයට තබනු ලැබිණි. නැවත වරක් ගගාරින්ගේ මූර්තියක් 2019 ජනවාරි 25 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී නිරාවරණය කරන ලදී.

ප්‍රථම මානව අභ්‍යවකාශ තරණයේ 50 වැනි සංවත්සරය නිමිති කොට ගෙන 2011 අප්‍රේල් 26 වැනි දින මුද්දර කාර්යාංශය මඟින් වටිනාකම රු 5.00 ක්වූ වෘත්තාකාර (circle) තැපැල් මුද්දරයක් එලි දැක්වුණි. මෙහි නිර්මාණකරු ප්‍රවීන මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ වික්‍රමසිංහ මහතාය. මෙය වෘත්තාකාර මුද්දරයක් වුවද, බැලූ බැල්මට සමචතුරශ්‍ර හැඩයක් දක්නට ලැබේ. එහි කෙලවර හතරේ ජාතික ධජය, රුසියානු ධජය, ගගාරින්ගේ සිතුවමක් සහ අභ්‍යවකාශ ෂටලය සිතුවම් කර ඇත. එනමුදු ඒවා මුද්දරය සමඟ සම්බන්ධයක් නැත. වඩාත් හොඳින් පිරික්සූ විට මුද්දරයේ විදමන් (Perforation) වෘත්තාකාරව යොදා ඇති බව සහ හතරැස් කොටුවෙන් මුද්දරය කඩා ගැනීම සඳහා අතිරේක විදමන් දෙකක් මුද්දරයේ ඉහලින් සහ පහලින් යොදා ඇති බව පෙනේ. මුද්දරයේ නිමිත්ත වඩාත් කැපී පෙනෙන අයුරින් මතු කිරීමට මෙම සුවිශේෂී හැඩය උපකාරී වී තිබේ.

වර්ෂ 1968 මාර්තු 27 වැනිදා ගුවන් අනතුරකින් ලොවින් සමුගත් යූරි ගගාරින්ගේ උදාර සහ අභීත මෙහෙය ලෝකවසීන්ට කිසි දිනෙක අමතක නොවනු ඇත. ඔහුගේ පුරෝගාමී මෙහෙවරට ගෞරවය පුදකරමින් චන්ද්‍රයාගේ ආවාටයක් යූරි ගගාරින් නමින් නම් කර ඇති අතර, ඔහු අභ්‍යවකාශ ගත වූ අප්‍රේල් 12 වැනිදා "ජාත්‍යන්තර අභ්‍යවකාශ පියාසර දිනය" (International day of human space flight) යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් නම් කර තිබේ.

යූරි ගගාරින් නව අභ්‍යවකාශ යුගයේ යුග පුරුෂයා විය. වර්තමානයේදී අභ්‍යවකාශය තුළ වසර ගණන් ගත කරන ගගනගාමීහු සිටිති. එහෙත් මේ සියළු මිනිසුන්ගේ සදාකාලික විරුවා යූරි ගගාරින්ය. යූරි ගගාරින් නම් වීර තරුවේ ස්වයං චරිතාපදානය "Road to The Stars'' ලෙස ප්‍රකාශයට පත්විය. ලංකාවේ විශිෂ්ඨතම පරිවර්තකයකු වන චූලානන්ද සමරනායකයන් විසින් මේ මාහැඟි කෘතිය ''තරු මඟට පිවිසුනෙමි'' ලෙස සිංහලයට නඟා අපට තිළිණ කර ඇත. 5 ශ්‍රේණිය සිංහල කියවීම් පොතේ ඊ. ආර්. එරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද "තරු මඟ" කෘතියේ යුරි ගගාරින්ගේ මෙම උදාන වාක්‍යය සටහන් කර ඇත: "ගින්න බල සම්පන්නය ; ජලය ගින්නට වඩා බලසම්පන්නය; පෘතුවිය ජලයට වඩා බල සම්පන්නය; මිනිසා ඒ සියල්ලටම වඩා බලසම්පන්න ය".

යූරි ගගාරින් මිනිස්‌ ඉතිහාසය තුල සදානුස්‌මරණීය වීරයෙකි. අදින් වසර 62කට පෙර මේ අසහාය වීරයාගේ ලංකාගමනය අපි සමරු මුද්දර මුලාශ්‍ර කරගෙන මෙසේ කියවන්නේ ඉතිහාසය ඉගෙනගැනීම සහ ඉගැන්වීම සඳහා තැපැල් මුද්දරය කෙතරම ප්‍රයෝජනවත් ඉගෙනුම් අධාරකයක්ද යන්න ඔබට පැහැදිලි කරදීමේ අදිටනිණි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com