21
December
2023
මොරටුව විශ්ව විද්‍යාලයේ 50 වන සංවත්සරය (1972-2022) වෙනුවෙන් රු 50.00ක වටිනානමක් සහිත සමරු මුද්දරයක් නිකුත් කිරීම 2023 දෙසැම්බර් 13 දින තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරුණි. සමරු මුද්දරය නිකුත් කිරීමේ උත්සවය තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ඩී. පී. චන්ද්‍රසේකර මහතා වෙත ප්‍රථම මුල්දින කවර ප්‍රදානය කරන ලදී.
මෙම වසරේ මෙතෙක් නිකුත් කරන ලද සමරු මුද්දර පිළිබඳව විමසීමේදී මොරටුව විශ්ව විද්‍යාලයේ 50 වන සංවත්සර සමරු මුද්දරය පැවති ඒකාකාරී රටාවෙන් මිදුණු නැවුම් අශ්වාදයක් මුද්දරලෝලීන්ට ලබාදී ඇත.
බොහෝ දෙනෙක් මෙම මුද්දර නිර්මාණය, සැලසුම්කරණය සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම පිළිබඳව ඉතා ප්‍රසන්න හැගීමකින් යුතුව කතා කරන අතර, මුද්දර නිකුතුවට සමගාමීව මුද්දර විස්තර පත්‍රිකාව තවමත් නිකුත් කර නොමැති නිසා මෙහි නිර්මාණාත්මක පසුතලය පිළිබදව මුද්දරලෝලීන්ට ඇත්තේ කුකුසකි .
එහෙයින්, මෙම කෙටි සටහන මොරටුව විශ්ව විද්‍යාලයේ 50 වන සංවත්සරය සමරු මුද්දරයේ පසුබිම් කතාවේ මා දන්නා සහ නිර්මාණකරුවන්ගේ අදහස් සම්මිශ්‍රණයකි.
මොරටුව විශ්වවිද්‍යාලය 1972 පෙබරවාරි 15 වැනි දින විශ්වවිද්‍යාල තත්ත්වය ලබා ගනිමින් 2022 දී සිය 50 වැනි සංවත්සරය සමරනු ලැබිණි. ස්වරණ ජයන්ති උත්සවයේ එක් ප්‍රදාන අංගයක් වූයේ සමරු මුද්දරයක් එළිදැක්වීමයි.
සමරු මුද්දරය නිකුත් කිරීමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යයන අංශයේ ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මියට පැවරුණු අතර, එතුමිය මීට පෙර මුද්දර නිර්මාණය සහ සැලසුම්කරණය පිළිබඳව මුද්දර කාර්යංශය සහ "කියවන මුද්දර" අප සමඟ ද බොහෝ සමීපව කටයුතු කරන කාර්යශූර චරිතයකි. විශේෂ සමරු මුද්දරයකට සීමාවන්නට සැලසුම් කර තිබුණු මොරටුව විශ්ව විද්‍යාලයේ 50 වන සංවත්සර මුද්දරය, සැබෑ මුද්දරයක් බවට පත්වුණේ එතුමියගේ මැදිහත්වීමෙනි.
2022 වසරේ ජනවාරියේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ අනුස්මරණ මුද්දර සහ ලාංඡනය තරඟය (Commemorative Stamp & Logo Competition) පිළිබඳව දැන්වීමක් පළකර, ඕනෑම අධ්‍යයන අංශයක වත්මන් සහ අතීත සිසුන්ට එම තරඟය විවෘත කරන ලදී. තරඟයට ප්‍රතිචාර වශයෙන් ලද නිර්මාණ කීපයක් තෝරාගෙන ඒවා තවදුරටත් නිශ්චිත සහ තීව්‍ර කිරීම සඳහා විශ්ව විද්‍යාලයේම දක්ෂතා ඇති නිර්මාණ කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කෙරිණි.
එහෙත්, විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සමරු උත්සවය 2022 දෙසැම්බර් 29 දින පවත්වන ලද නමුදු, සමරු මුද්දරය නිකුත් කිරීමට නොහැකි විය. එහිදී
2023 ජනවාරි මාසයේදී ස්වර්ණ ජයන්ති සමරු මුද්දරය සහ පළමු දින කවරය එළිදැක්වීමේ පුවත බෙදා ගන්නා ලද අතර, මුද්දර සහ ලාංඡනය තරඟයට සහභාගීවූවන් සහ අවසාන නිර්මාණ කණ්ඩායම වෙත ඇගයීමක්ද සිදුකරන ලදී.
කවුරුත් අද කතා කරන මොරටුව විශ්ව විද්‍යාලයේ ස්වරණ ජයන්ති සමරු මුද්දර නිකුත් කිරීමට හැකි වුනේ 2023 දෙසැම්බර් 13 දිනයි. නිකුත් කල දිනයේ සිට එහි නිර්මාණාත්මක වටිනාකම ගැන බොහෝ මුද්දරලෝලීන්ගේ අදහස් සමාජ මාධ්‍යය තුලින් අප දැක ගතිමු. එහි ඇති වර්ණ සංයෝජනය, රූපමය සාක්ෂරතාවය සහ සමබරතාවය පිළිබඳව බහුතරයක් මුද්දරයට ආදරය කරන්නන් සතුටට පත්ව ඇති බව එම ප්‍රතිචාර පෙන්නුම් කරයි.
මුද්දරයේ ප්‍රධාන දෘශ්‍ය අංගයන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පැරණිතම සහ සංකේතාත්මක ගොඩනැඟිල්ල වන සුමනදාස ගොඩනැඟිල්ල, වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කළ අමිල දැනුම නියෝජනය කිරීම සඳහා උපාධිධාරීන් දෙදෙනෙක්, දශක පහක විශිෂ්ඨත්වය නියෝජනය කරන 50 වැනි සංවත්සර ලාංඡනය සහ විශ්ව විද්‍යාලයේ දැක්ම සහ තාක්ෂණය පදනම් වූ විශ්ව විද්‍යාලයක් ලෙස එහි අනාගත ප්‍රවේශය සංකේතවත් කරණා ලාංජන මෙම මුද්දරයේ දැකිය හැක.
භූ දර්ශන වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ බාහිර කතිකාචාර්යවරයක් ලෙස කටයුතු කරනා සහ එහි ආදී විද්‍යර්ත්යෙක් වන අරුණ වෙලගෙදර මහතා විසින් සුමනදාස ගොඩනැගිල්ලේ සැලසුම සම්පාදනය කළේය. වාස්තු විද්‍යාත්මක චිත්‍රවලට අනන්‍ය වූ දෘශ්‍ය ශෛලියකින් චිත්‍රයේ ගුණාත්මකභාවය ඉහල නැවීම සඳහා පෑන් සහ දියසායම් උපයෝගී කරගෙන තිබේ. ඒකාබද්ධ නිර්මාණ දෙපාර්තමේන්තුවේ උපධිධාරිනියක වන එරංගි සෙනවිරත්න මහත්මිය ෆෝල්ඩරය සඳහා භාවිත කර තිබෙන ටෙනිස් පිටිය, ව්‍යායාම ශාලාව, එළිමහන් රංග පීඨය සහ අවට භූ දර්ශනය වැනි අනෙකුත් වාස්තු විද්‍යාත්මක අංගයන් එකම දෘශ්‍ය ශෛලියකින් නිරූපණය කිරීමට වෙහෙසිණි .එම දෙපාර්තමේන්තුවේම උපධිධාරිනියක වන සමුද්‍රා ද සිල්වා මහත්මිය ලාංඡනය සහ සමස්ත චිත්‍රක සංයුතිය හරහා මුද්දර නිර්මාණයට ගතික හැඟීම එක් කිරීමට කටයුතු කළාය. මෙම යථාර්ථවාදී ශෛලියෙන් මුද්දරයට නවීනත්වයක් ගෙන ඒමේ හැකියාව ලැබුණු අතර, විශ්ව විද්‍යාලයේ පීඨවල වර්ණ නියෝජනය කරන වර්ණ අනුක්‍රමයක් භාවිත කර ඇත. ඒකාබද්ධ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමන්ත්‍රී සමරවික්‍රම මහත්මිය විසින් මුද්දරයේ නිර්මාණ ක්‍රියාවලිය මෙහෙය වූයේ සාම්ප්‍රදායික නොවන ප්‍රතිඵලයක් සහතික කරමිනි. මුද්දරයේ අවසන් එකඟතාවය සඳහා මාස 6 ක දීර්ඝ ක්‍රියාවලි කාලයක් ගතවී තිබේ.
මෙම මුද්දරය සමඟින් පළමු දින කවරය සහ විශේෂ අවලංගු කිරීමේ තැපැල් සලකුණක් නිර්මාණය කර ඇත. මුද්දරය සහ පළමු දින කවරය රඳවා තැබීම සඳහා අලංකාර ෆෝල්ඩරයක් ද ඒ සමඟ නිර්මාණය කර ඇත. තනි මුද්‍රණ මතුපිටක් මත විවිධ හැඩ සහ මෝස්තර ඉස්මතු වන ආකාරයෙන් Spot Varnish වැනි ක්‍රමවේදයක් උපයෝගී කරගෙන ෆෝල්ඩරය මත කැපී පෙනෙන හැඟීම ජනිත වන අයුරින් මෙහි මුද්‍රණ කටයුතු සිදු කර ඇත. එහි මුද්‍රණ කටයුතු කල Printcare (PVT) Ltd විසින් අදාල නිදර්ශකය 2023 Global Print Awards තරඟාවලියට යොමුකර විශේෂ ජයග්‍රහණයක් ලබාගෙන තිබීමද සමස්තයක් ලෙස මෙම නිර්මානාත්මක කාර්යයේ ජීව ගුණය පිළිබඳ ලද ජ්‍යාතන්තර ඇගයීමකි.
තරුණ නිර්මාණකරුවන්ට හොඳ සහ විශිෂ්ඨවීමට බලපෑම් කරමින්, ඔවුන්ගේ සිතුවිලි, අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගන්නා, සිත් ඇදගන්නා, මඟ පෙන්වන්නන් සමඟ කටයුතු කිරීමේ පරිසරයක් තුල සැබෑ නිර්මාණ බිහිවන බව අවිවාදිතය. දෘශ්‍ය සන්නිවේදනය හරහා ජාතික සාමූහිකත්වය (National collectiveness through visual communication) ගොඩනැංවීමේ කාර්යභාරය සඳහා නූතන දෘශ්‍ය සංස්කෘතික මෙවලමක් ලෙස තැපැල් මුද්දරයේ අගය හඳුනාගැනීම සඳහා මෙම මොරටු විශ්ව විද්‍යාල මුද්දරය සැබෑ මඟ පෙන්වීමක් වනු ඇත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com