09
October
2023
ඔක්තෝබර් 9 දිනට යෙදුනු "ලෝක තැපැල් දිනය" ලොවපුරා සාමාජික රටවල් 192ක් සමඟින් උත්සවාකාරයෙන් සමරන ලදී. ලෝක තැපැල් දින මෙවර තේමාව "විශ්වාසය සඳහා එකට: සුරක්ෂිත හා සම්බන්ධිත අනාගතයක් සඳහා සහයෝගීතාවය"(Together for trust: Collaborating for a safe and connected future) යන්නයි.
වසර 1874 දී විශ්ව තැපැල් සංගමය (Universal Postal Union-UPU) නිර්මාණය කිරීමේ සංවත්සරය සිහිපත් කිරීමක් ලෙස 1969 ටෝකියෝ හි පැවති විශ්ව තැපැල් සම්මේලනය විසින් ලෝක තැපැල් දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි අරමුණ වන්නේ එදිනෙදා ජීවිතයේදී තැපැල් භූමිකාව පිළිබඳව මහජන දැනුම්වත්භාවය වැඩි දියුණු කිරීමයි.
ලෝක තැපැල් දිනයට සමගාමීව සියළු රටවල් එකහා සමානව නිකුත් කිරීමට නිර්දේශිත සමරු මුද්දරයක් නිකුත් කරන අතර, මෙවර නිකුතුව ඉතා විශේෂිත වේ. එහි ඇති චිත්‍රය බැලූ බැල්මට අපැහැදිලි සහ හොදින් සකසන ලද සිතුවමක් නොවන බව පැහැදිලිව දක්නට ඇත. නමුත්, එය සැබවින්ම විශ්ව තැපැල් සංගමයේ අති ශූර සන්නිවේදන මෙහෙවරේ තවත් එක් නිර්මාණාත්මක පියවරකි.
අපුර්ව තේමාවක් සහ ඊට ගැලපෙන දෘශ්‍ය සංකලනයක් සහිත මේ සමරු මුද්දරය කියවීමෙන් තොරව ඔබට හඳුනාගත නොහැක.
එහෙයින්, එන්න මෙම මුද්දරය කියවන්න .....
මෙම සමරු මුද්දරයේ සිතුවමේ දැක්වෙන්නේ සහයෝගීත්වය පෙන්නුම් කරන අත් දෙකකි. එහි ඇති සිතුවම අපැහැදිලිය. මෙය අඩු පික්සල් (Pixel) ප්‍රමාණයක් සහිත ඩිජිටල් සිතුවමකි. පික්සලයක් යනු ඩිජිටල් උපාංගයක් මත ප්‍රදර්ශනය කළ හැකි සහ නිරූපණය කළ හැකි ඩිජිටල් රූපයක හෝ චිත්‍රකයක කුඩාම ඒකකයයි. පරිගණක තිරයක්, රූපවාහිනි හෝ ජංගම දුරකතන තිරයක් මත සම්පූර්ණ රූපයක්, වීඩියෝවක්, පෙළක් හෝ ඕනෑම දෘශ්‍යයක් සෑදීමට පික්සල ඒකාබද්ධ කෙරේ. සාමාන්‍යයෙන් පික්සල ප්‍රමාණය මත එම රූපයේ පැහැදිලි හා තියුණු බව තීරණය වේ.
සමරු මුද්දරයේ අපැහැදිලි ලෙස දැකීමට අපට බල කිරීමේ හරය වන්නේ පික්සල් ප්‍රමාණය මත එම රූපයේ පැහැදිලි සහ තියුණු වීමේ ක්‍රියාවලියයි. එය විශ්ව තැපැල් සංගමයේ ඩිජිටල් මුලපිරිම(Digital Initiative) පිළිබඳව අදහස ලෝකයට ගෙන යයි.
මුද්දරයේ නිරූපිත අත් දෙකෙන් එකමුතුකම සහ හවුල්කාරීත්වය සංකේතවත් කරයි. එමෙන්ම, මෙම සිතුවමේ ඇති සෑම පික්සල් එකක්ම ලොව පුරා විසිරී ඇති තැපැල් කාර්යාල නියෝජනය කරයි. විශ්ව තැපැල් සංගමයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝකයේ තැපැල් කාර්යාල 650,000න් 100,000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් අන්තර්ජාල යටිතල පහසුකම් නොමැති අතර, ඒවාට ඩිජිටල් නාලිකා හරහා සැපයිය හැකි සේවාවන් සීමා කරයි.
නිර්මාණශීලීත්වය, ප්‍රඥාව සහ එකමුතුකමට සමාන වර්ණයක් වන දම් පාට තුලින් විශ්වාසදායක සහ බලගතු තැපැල් පද්ධතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාවයේ ප්‍රධාන භූමිකාව ශක්තිමත් කර දක්වයි. ගෝලීයව නිකුත් කරන සෑම මුද්දරයක අදාල වර්ණයේ දෘශ්‍ය ගුණය පවත්වාගත යුතු නිසා ඔවුන් ඒ සදහා නියමිත වර්ණ ගොනුව (colour scheme) සහ වර්ණ ප්‍රතිශතද ලබාදෙනු ලබයි.
මෙම සමරු මුද්දරය හොඳින් නිරීක්ෂණය කරන විට, මෙහි ඇති සෑම පික්සලයක් සේම, සෑම තැපැල් කාර්යාලයකම අත්‍යවශ්‍ය දායකත්වය පිළිබඳ සාක්ෂියක් ඇති බව ඔබට පෙනෙනු ඇත. එමෙන්ම ලෝකයේ සියලුම තැපැල් කාර්යාල ඩිජිටල් පද්ධතිය සමඟ එක්වූ විට, නැතහොත් පික්සල් වැඩි ප්‍රමාණයක් එක්වූ විට එම පින්තුරය හොදින්ම දෘශ්‍යමාන වන්නේය. එපමණක්ද නොව, තම ඇස් මායිමෙන් ඈතට ගොස් සමස්තයක් ලෙස රූපය බැලීමේදී පමණක් මෙම පික්සල, විශාල පින්තූරයට ඒකාබද්ධ වන බව පැහැදිලිව පෙනෙනු ඇත. එය එකමුතුව වැඩ කිරීමේ වැදගත්කම අලංකාර ලෙස සහ නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ලද දෘශ්‍ය ප්‍රයෝගයකි. සම්බන්ධතා ප්‍රමුඛ වන ලෝකයක, සහයෝගීතාවය සහ එකමුතුකම වැලඳ ගැනීමෙන් සහ විශ්වාසයේ බැඳීමෙන් අපිව ශක්තිමත් කරන බව මෙම සමරු මුද්දරය අපට මතක් කිරීමක් සිදුකරයි.
සෑම දිනකම බිලියන අටකට ආසන්න පිරිසකට නවීන සහ ආරක්ෂිත සේවාවන් සමඟින් සේවා සපයන ආරක්ෂිත සහ සම්බන්ධිත ගෝලීය ජාලයක් ගොඩනැගීමට කැපවූ හවුල්කරුවෙකු ලෙස විශ්ව තැපැල් සංගමය කටයුතු කරන අතර, පුළුල් පරාසයක ඩිජිටල්, මූල්‍ය සහ සමාජ ඒකාබධකිරීමේ සේවාවන් සියලුම පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට උරුම කරදීම සඳහා ඔවුන්ගේ connect.post ඩිජිටල් මුලපිරීම හරහා අභිලාෂකාමී ඉලක්කයක් තබා ඇත. 2030 වන විට සෑම තැපැල් කාර්යාලයක්ම අන්තර්ජාලයට සම්බන්ධ කිරීම විශ්ව තැපැල් සංගමයේ අදිටනයි. තමන් සේවය කරන ප්‍රජාවන් තුළ සිටින පුරවැසියන් සහ ඇති ව්‍යාපාර අර්ථවත් ඩිජිටල් ක්‍රියාවලියකට ඇතුළත් කිරීම වෙනුවෙන් වන මෙම connect.post මුලපිරීම, ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ එක්සත් ජාතීන්ගේ පොදු න්‍යාය පත්‍රයට අනුගතව සංවර්ධනය කර ඇත.
අනාගතය වෙනස් කිරීමේ ඉලක්කයක් සඳහා වර්තමානයේ ක්‍රියා කිරීම නැතිනම් "වර්තමානය ඉතිහාසය බවට පත් වේ" (The present becomes history) යන්න තේරුම්ගෙන කටයුතු කිරීම සැබෑ සන්නිවේදකයකුගේ නිර්මාණාත්මක වගකීමයි.
2023 ලෝක තැපැල් දින සමරු මුද්දරය අපට කියාදෙන්නේ එවැනි අපුර්ව පාඩමකි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com